හිම වලසුන්ගෙම මස් කන හිම වලසුන්

March 2, 2020

වර්තමානය වෙනකොට උතුරු අර්ධගෝලයේ ජීවත් වෙන හිම වලසුන්, තමන්ගෙම වර්ගයේ අයව මරා දාලා ආහාරයට ගන්නවා කියලා රුසියානු විද්‍යාඥයන් පිරිසක් හොයාගෙන තියෙනවා. ඒ අයගේ පරීක්ෂණ අනුව හිම වලසුන්ගේ ඒ වෙනස් වීමට බලපාලා තියෙන්නෙත් මිනිස් ක්‍රියාකාරකම්ම තමයි.

මේ වෙනකොට හිම වලසුන් එක්තරා ප්‍රදේශ කිහිපයකට කොටු වෙලයි ඉන්නෙ. මිනිස් ක්‍රියාකාරකම් නිසා උෂ්ණත්වයත් දවසින් දවස ඉහළ යනවා. ඒ නිසා අයිස් දිය වෙන්න පටන් ගෙන තියෙනවා (පහුගිය අවුරුදු 25 ඇතුළත ආක්ටික් ප්‍රදේශයේ අයිස් මට්ටම 40%කින් අඩු වෙලා තියෙනවා). ඒ වගේම සමහරක් කාර්මික සමාගම් හිම වලසුන්ගේ දඩයම් ප්‍රදේශ ආක්‍රමණය කරලා තියෙනවා.

විශේෂයෙන්ම ෆොසිල ඉන්ධන ගවේෂණය කරන සහ ඒවා පොළොව මතුපිටට පොම්ප කරන සමාගම්. විශේෂයෙන්ම ඒ සමාගම් ප්‍රවාහන කටයුතු සිද්ධ කරන්නෙ හිම වලසුන්ගෙ දඩයම් භූමි හරහයි. ඒවායේ ප්‍රතිපල විදිහට මේ ප්‍රදේශ වල තව තවත් අයිස් කැඩෙමින්, කැබලි වලට වෙන් වෙමින්, අයිස් වතුර උඩට එමින් පවතිනවා.

ඒ නිසා හිම වලසුන්, එයාලගෙ සාම්ප්‍රදායික දඩයම් භූමි සහ වාසස්ථාන වලින් ඈත් වෙලා යන්න පටන් ගෙන තියෙනවා.

මේ අතරේ දඩයම් කරන්න භූමිය අහිමි වෙලා තියෙන නිසා සමහර හිම වලසුන්, අලුතෙන් දඩයම් භූමි ගවේෂණය කරන්නෙ නැතුව, තමන්ගෙම වර්ගයේ හිම වලසුන්වම මරලා ආහාරයට ගන්න පුරුදු වෙලා ඉන්නවා.

එයිනුත් වැඩි හරියක්ම මරණයට පත් වෙන්නෙ කුඩා හිම වලස් පැටවුන් සහ ගැහැණු හිම වලසුන්. මොකද එයාලා වැඩුණු පිරිමි හිම වලසුන්ට වඩා ගොඩක් දුර්වලයි.

ඔයාලා දන්නවද? උතුරු අර්ධගෝලයේ හිම වලසුන්ට ජීවත් වෙන්න අයිස් මතුපිටක් අත්‍යාවශ්‍යයි. හිම වලසුන් ප්‍රධාන වශයෙන්ම දඩයම් කරන්නෙ රැවුල් සහිත සීල් මත්ස්‍යයන්. ඒ සත්තු ඉන්නෙ අයිස් වතුරෙ.

ඉතින් හිම වලසුන්ට ඒ ප්‍රදේශ වලට ළං වෙන්න නම්, ඒ අවට ප්‍රදේශ වල අයිස් මතුපිටවල් තියෙන්න ඕන. එහෙම නැති වුණොත් හිම වලසුන්ගේ දඩයම් කිරීම ගොඩක් දුෂ්කර වෙනවා.

හිම වලසුන්ට තියෙන්නෙ ගොඩක් අඩු ප්‍රජනන අනුපාතයක්. එයාලා බිහි කරන උපරිම පැටවුන් ගණන දෙකක්.

* වැඩි විස්තර සඳහා : https://www.dailymail.co.uk/sciencetech/article-8053241/Polar-bears-forced-CANNIBALISM-climate-change-humans-scientist-reveals.html


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.dailymail.co.uk

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.