අවුරුදු 27ක් වයස කළලයෙන් ආපු පුංචි බබා

December 9, 2020

තාමත් මාස දෙකක්වත් වයස නැති මෝලී කියන මේ පුංචි බබා, දැනටමත් ලෝක වාර්තාවක් තියලා තියෙනවා කිව්වොත් විශ්වාස කරන්න පුලුවන්ද?

මෝලී ඉපදිලා මාස දෙකක් වුණාට, එයාගෙ වයස අවුරුදු 27යි.

මොකක්ද ඒ කතාව?

මෝලි කියන්නෙ අවුරුදු 27ක් පරණ කළලයකින් උපත ලබපු දරුවෙක්. මෝලි ඉපදුණු කළලය අධික ශීතලක් සහිතව ගබඩා කරලා තියෙන්නෙ 1992 අවුරුද්දෙ ඔක්තෝබර් මාසයේ. 1992 ඉදලා 2020 පෙබරවාරි වෙනකන්ම ඒ කළලය ආරක්ෂාකාරීව ගබඩා කරලා තිබිලා තියෙනවා. මේ තමයි ලෝකයේ වැඩිම කාලයක් ගබඩා වෙලා තිබ්බ කළලයකින් බිහි වුණු දරුවා.


Photo Credits – www.bbc.com

මෝලිගෙ දෙමාපියන් තමයි බෙන් ගිබ්සන් (36) සහ ටීනා ගිබ්සන් (29) කියන්නෙ. සයිබර් ආරක්ෂක විශ්ලේෂකවරයෙක් වන බෙන්, ඇමරිකාවේ ක්නොක්ස්විල් වල National Embryo Donation Center (NEDC) එකට සම්බන්ධවත් කටයුතු කරනවා. ඒ කියන්නෙ ඒ ප්‍රදේශයේ තියෙන කිතුණු ලාභ නොලබන ස්වේච්ඡා මධ්‍යස්ථානයක්. මේ මධ්‍යස්ථානයේ අධික ශීතලකින් යුතුව කළල ගබඩා කරලා තියෙනවා.

පරිත්‍යාගශීලීන් විසින් ලබා දෙන ඒ කළල, දරුවන් නොලැබීමේ සෞඛ්‍යමය ගැටලු තියෙන පවුල් වලට භාවිතා කිරීමේ හැකියාව තියෙනවා (කළල වලින් එකක් හදාගෙන ඒවාට ජානමය වශයෙන් සම්බන්ධ නොවන දරුවෙකු බිහි කිරීමේ හැකියාව). ඇමරිකාවේ මේ වෙන කොට මේ වගේ භාවිතයට නොගත් ශීත කළ මිනිස් කළල, මිලියනයක් විතර ගබඩා කරලා ඇති කියලා ඇස්තමේන්තු කෙරෙනවා.


Photo Credits – www.usatoday.com

මීට අවුරුදු 17කට කලින් ආරම්භ කරපු මේ National Embryo Donation Center එකෙන්, කලල දරුකමට හදා ගැනීම සහ දරු උපත් 1000 කට වැඩි ප්‍රමාණයක් සඳහා පහසුකම් සපයලා තියෙනවා.

ඒ වගේම දැන් හැම අවුරුද්දකම කළල හුවමාරු කිරීම් 200 ක් පමණ වෙනවා කියලත්, සාම්ප්‍රදායික දරුකමට හදා ගැනීමේ ක්‍රියාවලියකට සමානවම යුවළයන්ට මේ කළල දරුකමට හදා ගැනීමේ අවස්ථාව තියෙනවා කියලත්, අදාළ යුවල කැමති නම් විතරක් අදාළ කළල පරිත්‍යාගයන් කළ පවුල් එක්ක සම්බන්ධකම් පවත්වන්න අවස්ථාව දෙනවා කියලත් National Embryo Donation මධ්‍යස්ථානය ප්‍රකාශ කරනවා.


Photo Credits – www.unilad.co.uk

ඉතින් ගිබ්සන් යුවලටත් මේ අවස්ථාව ලැබෙන්නෙ National Embryo Donation මධ්‍යස්ථානය හරහායි. මෙයාලා මේ කළලය තෝරාගෙන තියෙන්නෙ, කළල පරිත්‍යාගශීලීන්ගේ වාර්තා 300ක් විතර කියවලා, ඒ ඒ පරිත්‍යාගශීලීන්ගේ පවුල් වල ජාන විකාශන ඉතිහාසය ගැන අධ්‍යනය කරලයි. ගිබ්සන් යුවල කියන විදිහට එයාලා දෙන්නම මිටි නිසා, ජානමය වශයෙන් ටිකක් මිටි පරිත්‍යාගශීලියෙක්ගේ කළලයක් තෝරාගන්න මෙයාලට උවමනා වෙලා තියෙනවා.

ගිබ්සන් යුවල මේ විදිහට කළල රූපයක් දරුකමට හදාගන්න පළවෙනි අවස්ථාව මේක නෙවේ. මීට කලින් එක අවස්ථාවකත් මේ විදිහටම කරලා තියෙනවා. එයාට නම තියලා තියෙන්නෙ එමා කියලයි.

මේ ප්‍රවෘත්තියේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි 2017දි ඒ විදිහට ලබා ගත්ත පළවෙනි දරුවා සහ මේ අලුතින් ඉපදුනු දරුවා, එකම පවුලකින්, එකම මොහොතේ පරිත්‍යාග කරපු කළල වීම. ඒ කියන්නෙ ගිබ්සන් යුවලගේ දරුවන් දෙදෙනාම, ජානමය වශයෙනුත් සහෝදරියන් වෙනවා. ඒ වගේම තවත් රසවත් සිද්ධියක් තියෙනවා. ඒ තමයි මේ කළල දෙකම, මේ මධ්‍යස්ථානයට පරිත්‍යාග කෙරෙනකොට, ටීනා ගිබ්සන්ගේ වයස….. අවුරුදු දෙකයි.

මූලාශ්‍රය : BBC

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.