රාජාලියෙකුගෙන් ජීවිතයට උපදෙස් 5ක්

ආයුබෝවන්… අපිට අපගේ ජීවිතය සඳහා වන ආදර්ශ ලබා ගැනීම සඳහා මනුෂ්‍ය ලෝකයේ උදාහරණ පමණක් නොව සත්ව ලෝකයෙන් ද උදාහරණ විශාල ප්‍රමාණයක් ලබාගත හැක. අද මම කතා කිරීමට බලාපොරොත්තු වන්නේ අපි හැමෝම දන්න සත්ව ලෝකයේ තියුණුම ඇසක් හිමි රාජාලියාගේ ජීවිතයෙන් මනුෂ්‍යයන් ලෙස අපිට ලබා ගන්නට පුළුවන් පාඩම් පහක් ගැනයි… එකින් එක ඒ පාඩම් 5 ගැන අපි කතා කරමු.

01. හුදකලාවේ වුවත් තමන්ගේ ගමන තනිවම ගමන් කරයි

රාජාලියා තනිවම හැසිරෙන සත්වයෙක් බව අපි හැමෝම දන්නවා කාරණාවක්. රාජාලියා කොච්චර තනියම ජීවත් වුවත් එම සත්වයා කවදාවත් ප‍ාත්තයන්ස මඟ එකට වාසය කිරීම නොකරයි. ඒ මන්දයත් ඔහු ඔහුගේ ඉලක්කයට ගමන් කරන්නේ සැලසුම් අනුවය.ඔහුගේ ගමන ඔහු කවුරුත් එනතුරු බලා ප්‍රමාද නොකරයි. ඔහු තමන්ගේ අරමුණු උදෙසා තවත් අයගේ උදව් උපකාර බලාපොරොත්තු නොවේ. තමන්ට පුළුවන් ආකාරයෙන් තමන්ගේ ඉලක්ක වෙත තනිවම ගමන් කිරීමට තරම් ශක්තියක් රාජාලියා සතුව පවතින බව කිව යුතුයි.

ඒ රාජාලියා සතු ලක්ෂණය අපේ ජීවිතයට ආදේශ කලොත් අපි අපගේ ඉලක්ක කවුරුන් හෝ උදව් කරන තාක්,කවුරුන් හෝ ක්‍රියාවට නංවන තෙක් බලා හිඳීම තුළින් අපි අපගේ කාලය කෙතරම් නාස්ති කරනවා ද? අපිටත් පුළුවන් නේද රාජාලියෙකු වෙන්න. තවත් කෙනෙකු මත තම ඉලක්ක රඳවන්නේ නැතුව යම් සැලැස්මක් අනුව ක්‍රියාවට නැංවීමට කටයුතු කරන්න පටන් ගනිමු.

02. කුණාටුව පවා තමන්ගේ වාසියට හරවා ගැනීම

අපි හැමෝම දන්න කාරණාවක් තමයි ඒ. කුණාටුවක දි රාජාලියා කිසිවිටෙක පසුබසින්නේ නෑ. කුණාටුව තුළදී සුළඟේ වේගය භාවිතා කරමින් තම ගමනාන්තයට යාමට රාජාලියා ක්‍රියා කරයි.වැහි වලාකුළු වලට ඉහළින් ගමන් කරමින් සුළගේ වේගය උපයෝගීකර තමන්ගෙ ඉලක්ක වෙත යාමට තරම් රාජාලියා උත්සාහවන්ත වෙයි. මේ ලක්ෂණය අපට අපගේ දෛනික ජීවිතයේ දී භාවිතා කිරීමට පුළුවන්. ඒ කොහොමද කියලා අපි කතා කරමු.

අපි අපිට එන අභියෝග වලදී ඒ අභියෝගවලට අභියෝග කරමින් අපගේ ඉලක්ක වෙත ගමන් කිරීමට ශක්තිමත් වෙන්නට පුළුවන් නේද? අද වහිනවා, අද හරි රස්නෙයි, අද කම්මැලියි, තනියම වැඩ කරන්න බෑ….වගේ තමන්ගේ අභියෝගයට මුහුණ නොදී ඒවායෙන් පලායාමට අපි සිතනවා නේද? සත්වයකු වුවත් රාජලියා මනුෂ්‍ය සිතට වඩා ඉදිරියෙන් සිටිනවා බව මගේ මතයයි. අපිට අපගේ ඉලක්ක වෙත යන අවස්ථාවේදී එන අභියෝග වලට රාජාලියෙකු ලෙස මුහුණ දීමට හැකි නම් අපිට ඉලක්ක වෙත යාමට එතරම් අමාරු නැහැ. අපි යමු ඊළඟ ලක්ෂණය මොකක්ද කියලා බලන්න.

03. රාජාලියාගේ දැක්ම ඉතා තියුණුයි

රාජාලියාගෙ තියෙන තියුණු දැක්ම ගැන ආයෙත් අමුතුවෙන් කතා කිරීමට අවශ්‍ය නැහැ නේද? ජලය යට සිටින මාළුවෙකු වුවත් එක එල්ලේ දඩයම් කිරීමට තරම් ඔහු ඉතාම දක්ෂ දඩයක්කාරයෙකි. කෙතරම් උසක සිටියත් ඔහුට මෙම එල්ලය වරදින්නේ නම් නැහැ. අසුරු සැණකින් ඉතා වේගයෙන් මාලුවාටවත් හිතා ගන්නට බැරි ඉක්මනින් ගොදුර ඩැහැගැනීමට තරම් සමත්කම් කියන මේ සත්වයා ඇත්තටම අපිට ලොකු පාඩමක් උගන්වයි. ඒ තමයි කොච්චර දුරක තිබුනොත් අපේ ඉලක්ක ඉක්මනින් සඵල කරගැනීමට අපි තුළ ඉතා තියුණු දැක්මක් තිබිය යුතුයි.

දැක්ම කොච්චර දුරක තිබෙන ඉලක්කයක් වුවද ඉතා ඉක්මනින් අපට යථාර්ථයක් කර දීමට තරම් වැදගත් වෙයි. අපි හැමෝටම ජීවිතයේ ඉලක්ක තියෙනවා. නමුත් අපිට නැත්තේ එක දැක්මක්, තියුණු දැක්මක්. අද ලෝකයේ තම ඉලක්ක වෙත ගිය සියලුම පුද්ගලයන් හෝ ආයතන සතුව තියුණු දැක්මක් තිබිලා තියෙනවා. ඔවුන්ගේ ගමන ගැන කතා කළොත් ඔබට මට ඒක උදාහරණ සහිතව බලාගන්න පුළුවන්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

පහත උදාහරණ කිහිපය පෙ‍ාඩ්ඩක් බලන්න. මේ ලෝකයේ නමක් දෑරූ ආයතන කිහිපයක දැක්මන් ය.

* Google: “To provide access to the world’s information in one click”

* Uber: “We ignite opportunity by setting the world in motion”

* Microsoft: “To help people throughout the world realize their full potential”

* LinkedIn: “Create economic opportunity for every member of the global workforce”

* BBC: “To be the most creative organization in the world”


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ ලෝකය දිනු පුද්ගලයන් කිහිපයකගේ දැක්මන් කිහිපයක්…

* Denise Morrison, Former CEO of Campbell Soup Company -“To serve as a leader, live a balanced life, and apply ethical principles to make a significant difference.”

* Maya Angelou – “Not merely to survive, but to thrive; and to do so with some passion, some compassion, some humor, and some style.”

* Oprah Winfrey – “To be a teacher. And to be known for inspiring my students to be more than they thought they could be.”

* Malala Yousafzai, Nobel Prize laureate and activist – “I want to serve the people. And I want every girl, every child to be educated”

* Mahatma Gandhi – “I shall not fear anyone on Earth. I shall fear only God. I shall not bear ill will toward anyone. I shall not submit to injustice from anyone. I shall conquer untruth by truth. And in resisting untruth, I shall put up with all suffering.”

අපි යමු අපේ මාතෘකාවෙ හතරවෙනි ලක්ෂණයට. ඒ ගැන අපි කතා කරමු.

04. රාජාලියා දවසක් පරණ,නරක් වූ හෝ නැවුම් නොවූ මස් ආහාරයට ගන්නෙ නෑ

රාජාලියා, සිංහයා වැනි සතුන් කිසිම විටෙක අනුන් දඩයම් කළ හෝ තමා දඩයම් කළ පරණ මස් ආහාරයට ගන්නා සතුන් නොවේ. ඔවුන් තමන්ගේ ආහාර වේල ලෙස එදින තුළ තමා විසින් දඩයම් කළ මස් පමණක් පරිභෝජනයට ලබා ගනී. දැන් ඔයාලා හිතනවා ඇති කොහොමද මේක අපේ ජීවිතේට වැදගත් වෙන්නේ කියලා. ටිකක් ඉන්නකෝ. මම ඔයාලට විස්තර කරලා දෙන්නම්. මේ විදියට උදාහරණයකින් පටන් ගන්නම්කො.

අපි ආයතනයක සේවකයන් වැඩ කරන අවස්ථාවේදී අපි වැඩ නොකර ඉන්නව නම්, හැබැයි අපි වැටුප් ලබනවා නම් ඇත්තටම ඒක අපේ අනාගතයට, අපේ ඉලක්ක වලට යන ගමනට නම් සුදුසු නොවේ. අනුන් කරන දේවල් වලින් තමන් ලාභ ප්‍රයෝජන ලබනවා නම් ඒ තුළ තමන්ට ඉදිරියක් නැහැ. මුලින්ම සාර්ථකත්වය කරා යනවා නම් අපිට තිබෙන්න ඕන ලක්ෂණයක් තමයි තමන්ගෙ ඉලක්ක වෙනුවෙන් තමන් වැඩ කිරීම. ඒ කියන්නේ හරියට රාජාලියෙක් වගේ. තමන්ගෙ වැඩ අනුන් ලවා කර ගන්නේ නැතුව තමන්ම මහන්සි වෙලා අපේ ඉලක්ක වෙත ගමන් කිරීම තමයි මේ ලක්ෂණය දී වැදගත් වෙන්නේ.

හරි අපි ඊළඟට යොමු වෙමු අපේ අවසන් ලක්ෂණය ගැන කතා කරන්නට.

05. රාජ‍ාලියා පුහුණුව ඔස්සේ ඉහළට පියෑඹීමේ හැකියාව නිර්මාණය කර ගනියි

ඇත්තටම ඒක හරිම ලස්සන කතාවක්. මම ඒ විදිහට කෙටියෙන් ඔයාලට කියන්නම්. රාජාලියා චූටි කාලෙදි ඔවුන්ගේ මව විසින් ඔවුන්ව කූඩුවෙන් එළියට ඇද දමයි. ඔවුන් කූඩුවෙන් එළියට වැටෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් සමගයි. එලෙස රාජාලි මව ක්‍රියා කරන්නේ තම පැටවුන්ගේ අත්තටු ශක්තිමත් කර පියාඹීමට හුරු කිරීමට පෙර සූදානමක් ලෙසයි. ටිකෙන් ටික උස් තැන්වලට ගෙනගොස් අතඇරීම තුළින් ඔවුන් ක්‍රම ක්‍රමයෙන් පියෑඹීමට හුරු වේ. මෙලෙස ක්‍රම ක්‍රමයෙන් අත්තටු ශක්තිමත්ව පියාඹන රාජාලියා පසු කලෙක ඉහළ අහසට නැඟ වලාකුළු අතරින් පියෑඹීමට තරම් ශක්තිමත් අත්තටු සහිත පක්ෂියකු වෙනවා.

මේක කොහොමද අපේ ජීවිතේට වැදගත් වෙන්නේ. ඔව්, ඒ ගැන පැහැදිලි කරන්නම්. අපේ ඉලක්කයක් වෙත ගමන් කිරීමේ දී ඒකට හොඳ පුහුණුවක් තිබිය යුතුයි. මං උදාහරණයක් කියන්නම්. ඔයාට ලොකු රේස් එකක් දුවන්න තියෙනවා කියලා හිතන්නකෝ. ඒ රේස් එක දුවන්න ඔයාව මුලින්ම රේස් එක තියෙන දවසට පිට්ටනියට හෝ රෙසින් පිටියට ගිහින් දැම්මොත්ඔ යාට රේස් එක කවදාවත් දිනන්න පුළුවන්ද? එක කවදාවත්ම ඔයාට කරන්න බෑ. ඒ නිසා ඔයාට ඒ රේස් එක දුවන්නට අවශ්‍ය නම් ඔයා මුලින්ම ටිකෙන් ටික ඔයාගේ කකුල් ශක්තිමත් කරගන්නට ඕනේ. ඒ කියන්නේ ඔයාගේ හොඳ පුහුණුවක් තියෙන්න ඕන. අන්න ඒක නිසා ඔයාගේ ඉලක්ක වලට යන්න නම් ඔයාට ක්‍රම ක්‍රමයෙන් පුහුණු වෙලා ඒ ඉලක්ක වෙත ඉක්මනින් යාමට කටයුතු කරන්න ඕන.

අපි දැන් කතා කරපු දේවල් සාරාංශයක් විදියට ගත්තොත්,
1. තමන්ගේ ගමන තනියම හෝ යන්න
2. අභියෝගවලට අභියෝග කරමින් ඉදිරියට යන්න
3. ඉතා තියුණු දැක්මක් පවත්වා ගන්
4. නැවුම් ලෙස තම ඉලක්ක වෙත යන්න සැලසුම් හදන්න
5. පුහුණුව තුළින් ජයග්‍රහණය කරන්න

මම හිතනවා මෙම රාජලියාගේ ජිවිත අත්දැකිම් අපි හැමෝටම ලොකු කතාවක් කියලා දෙනවා කියලා. මම මෙම ලිපි මාලාව තුළින් බලාපොරොත්තු වෙන්නේ අභියෝග හමුවේ ඉලක්ක අතහැර දාන මගේ යාළුවන්ට අභිප්‍රේරණයක් ලබා දීමයි. මෙමගින් එක් පියවරක් හෝ ඔබ ඉදිරියට යනවා නම් ඒක තමයි මගේ සාර්ථකත්වය.

මේ ලක්ෂණ තුළින් ඔබ සියලු දෙනාගේම අනාගතය සාර්ථක වේවායි මම ප්‍රාර්ථනා කරනවා!

ජාතික වෘත්තිය පුහුණු ආයතනය මගින් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳව ඩිප්ලොමාවක් හදාරා ඇති ෂර්මිලා බොවිතන්ත්‍රි, එම අංශයෙන්ම වැඩි දුරටත් උසස් අධ්‍යාපනය හදාරමින් eLearning.lk ආයතනයේ මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශයට සහ පාරිභෝගික සේවා අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි. ෂර්මිලා ඇයගේ ධනාත්මක චින්තන ලිපි තුළින් වැටුනු හදවත්වලට හුස්මක් දී නැවත ජවයෙන් නැගීසිටින්නට ඔවුන්ගේ හදවත්වලට කතා කරන්න සූදානම්... ඒ වගේම ඉතා සරලව ලාංකීය සහ ලෝක ඉතිහාසය ඇයගේම තෙලි තුඩෙන් වර්ණ ගන්වන්නත් සූදානම්....