T Rex නොහොත් Tyrannosaurus Rex යනු Jurassic Park චිත්‍රපට මාලාව හරහා ලොකු කුඩා සෑම අයෙකුගේම සිත් තුළ තදින් සටහන් වූ ඩයිනෝසෝරයෙකි. අද සටහනින් අප ඔබව දැනුවත් කිරීමට බලාපොරොත්තුවන්නේ, Jurassic Park චිත්‍රපට මාලාවේ T Rexගෙන් ඔබ්බට ගොස් පුරාවිද්‍යාඥයන් සහ විද්‍යාඥයන් විසින් තහවුරු කරගන්නා ලද කරුණු කිහිපයක් පිළිබඳවයි.

Jurassic Park චිත්‍රපටයේ සිටින T Rex ඩයිනෝසෝරයන්ගේ පෙනීමේ හැකියාව, සාමාන්‍ය පෙනීමකට වඩා වෙනස් මුහුණුවරකින් යුක්තවේ. Jurassic Park චිත්‍රපට මාලාවේ තාප සහ උෂ්ණත්ව වර්ණ පමණක් පෙනෙන ඔවුන්ගේ ඇසට චලනය නොවන වස්තූන් දර්ශනය නොවේ. Jurassic Park 01 චිත්‍රපටයේ ආචාර්ය ඇලන් ග්‍රාන්ට් සහ ලෙක්ස්, T Rexගෙන් බේරීම සඳහා චලනය නොවී ගල් ගැසී සිටින දර්ශනය මීට කදිම නිදසුනක් ලෙස දැක්විය හැක.

නමුත් T Rex හිස් කබල්වල හැඩය, ඇස් කුහරවල පිහිටීම, නාස් කුහරය සහ ඇස් කුහරය අතර දුර ප්‍රමාණය, නාල ආශ්‍රිතව වසර ගණනාවක් පරීක්ෂණ කළ විද්‍යාඥයන්ගේ නිරීක්ෂණ සහ නිගමන වාර්තා අනුව සැබෑ T Rex ඩයිනෝසෝරයෙකුගේ පෙනීමේ හැකියාව වඩාත් තියුණු මට්ටමක පැවතුනු බව දක්වා තිබේ. විද්‍යාඥයන්ගේ පරීක්ෂණවලට අනුව සැබෑ T Rex ඩයිනෝසෝරයෙකුගේ ඇස් බෝල, Jurassic Park චිත්‍රපටයේ T Rex ඩයිනෝසෝරයන්ගේ ඇස් බෝලවලට සාපේක්ෂව විශාල වන බවත් තහවුරු වී තිබේ.

එපමණක්ද නොව, සැබෑ T Rex ඩයිනෝසෝරයෙකුගේ පෙනීමේ ශක්තිය උකුස්සෙකුගේ පෙනීමේ ශක්තියට වඩා අධික වන බවත්, රාජාලියෙකුගේ පෙනීමේ ශක්තියද අභිබවා ගමන් කරන බවත්, මිනිසෙකුගේ පෙනීමේ ශක්තිය මෙන් 13 ගුණයක් විශාල වන බවත්, තැනිතලාවකදී කිලෝ මීටර 6ක දුරක් පැහැදිලිව දර්ශනය වන බවත් තහවුරු කර තිබේ.

T Rex ඩයිනෝසෝරයන්ගේ ඇටකටු මදක් ගැඹුරට හෑරීමකට ලක් කර, තියුණු අන්වීක්ෂ ඔස්සෙ අධ්‍යනය කරන ලද විද්‍යාඥයන්, T Rex ඩයිනෝසෝරයන්ගේ වර්ණක සොයා ගැනීමට සමත් වූවා. එම වර්ණක ආධ්‍යනයන් ඔස්සේ විද්‍යාඥයන්, T Rex ඩයිනෝසෝරයන්ගේ සම කළු හෝ දුඹුරු හෝ ලා පැහැති තීරුවලින් (Colour Patches) යුක්ත වූ බවටත්, T Rex ඩයිනෝසෝරයන්ගේ ඇහි බැම ආශ්‍රීත ප්‍රදේශයන් තැඹිලි පැහැති බවටත්, ශරීර උෂ්ණත්වය පාලනය කිරීම සඳහා හිසේ සිට පිට ප්‍රදේශය දක්වා කුරුළු පිහාටුවලට මදක් සමාන වූ රෝම කූප තිබී ඇති බවටත් හෙළිදරව් කර ඇත.

එම තොරතුරු අනුව මෙම සටහනේ අප පල කර තිබෙන ඡායාරූප, සැබෑ T Rex ඩයිනෝසෝරයෙකුගේ පෙනුමට බොහෝ දුරට සමාන වේ.

මේ වන විට එළිදක්වා තිබෙන Jurassic Park චිත්‍රපට අතරින් අවසාන කොටසේ හැර අන් සියලු කොටස්වලම T Rex ඩයිනෝසෝරයෙක් මිනිසුන්ව ලුහු බදින කොටස් අන්තර්ගත කර තිබෙන අතර එම ලුහු බැදීම්වලට ලක් වූ සෑම මිනිසෙකුම T Rex ඩයිනෝසෝරයන්ගෙන් බේරිණි. T Rex ඩයිනෝසෝරයෙකුගේ ශරීරයේ බර කිලෝ 15 000ක් පමණ වන බැවින්, එවැනි අධික බරක් ඇති සත්වයෙකුට, මිනිසෙකුගේ වේගය අභිබවා යා නොහැකි බවට අතීතයේ විද්‍යාඥයන් අතරේ මතයක් විය. නමුත් වර්තමානයේ විද්‍යාඥයන් ගණනය කිරීම් ඔස්සේ ලබා ගත් වාර්තා අනුව, T Rex ඩයිනොසෝරයෙකුට මිනිසෙකුගේ වේගය අභිබවා යෑමේ හැකියාවක් තිබී ඇත.

Jurassic Park ප්‍රධාන චිත්‍රපට පෙළෙහි සිටිනා T Rex ඩයිනෝසෝරයන්ගේ ශබ්දය නිර්මාණය කර තිබෙන්නේ කුඩා අලි පැටවෙකු සහ කොටියෙකු කෑ ගසන සහ කිඹුලෙකු සහ බලු පැටවෙකු ගොරවන ශබ්දයන් මිශ්‍ර කිරීමෙනි.

T Rex හිස්කබල්, ශබ්ද නාල, කට පෙදෙසවල් ආශ්‍රිතව T Rex ඩයිනසෝරයන්ගේ කට හඬ සහ ශබ්දය පිළිබඳව වසර ගණනාවක් පරීක්ෂණ සිදු කරන ලද විද්‍යාඥයන්, වසර මිලියන 66කට පමණ පසුව සැබෑ T Rex ඩයිනෝසරයෙකුගේ ශබ්දය නැවත ප්‍රති නිර්මාණය කිරීමට සමත් වූවා.

ඒ අනුව සැබෑ T Rex ඩයිනෝසෝරයන්ගේ ශබ්දය, Jurassic Park චිත්‍රපට මාලාවේ සිටින T Rex ඩයිනෝසෝරයන්ගේ ශබ්දයට වඩා ඉතාමත් අවම බව තහවුරු වූ අතර සැබෑ T Rex ඩයිනෝසෝරයන්ගේ මුඛය, Jurassic Park චිත්‍රපටයේ සිටින T Rex ඩයිනෝසෝරයන්ගේ මුඛය සේ පුළුල්ව විවර නොවන බවද හෙළි විය.


උපුටා ගැනීම් :
* ඡායාරූප : www.cbc.ca
* වීඩියෝව 01 : Movieclips | YouTube Channel
* වීඩියෝව 02 : DangerVille | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.