අන්තිම දුම් බටය බොරු එකක්…?????

ඈත අතීතයේ සිට මේ දක්වා ලෝකයේ නිර්මාණය කරන ලද නෞකා වර්ග අතරින් අතිජනප්‍රියතම නෞකා වර්ගය ලෙස, Four Funnel Liners නෞකා වර්ගය හැදින්විය හැක. මෙම වර්ගය නිර්මාණය කිරීම ආරම්භ වූයේ 1897 වර්ෂයෙන් පසුවයි. Four Funnel Liners යනුවෙන් හදුන්වනු ලබන්නේ, දහනය වන ගල් අගුරුවල දුමාරය පිට කිරීමේ දුම් බට (පයිප්ප) හතරකින් යුක්ත නෞකාය.

1900 වර්ෂය පසුවනවාත් සමගම විශාල ප්‍රමාණයේ නෞකා නිර්මාණය කිරීම ඇරඹී තිබෙන අතර එම යුගයේ නිර්මාණය වූ බොහෝමයක් විශාල නෞකා Four Funnel Liners වර්ගයට අයත් නෞකාය. බොහෝමයක් Four Funnel Liners වර්ගයේ විශාල නෞකා, භාහිර ස්වරූපය අනුව සමාන ලක්ෂණවලින් යුක්ත වූ අතර කුමන නෞකාවදැයි ක්ෂණයෙන් හදුනා ගැනීම මදක් අපහසුවිය.

Four Funnel Liners අතරින් වඩාත්ම ජනප්‍රියතම නෞකාව, Titanic නෞකාව බව නොරහසකි. නමුත් Titanic නෞකාවේ පළමු සැලසුම අනුව එය Three Funnel Liners හෙවත් දුම් බට තුනක් ඇති නෞකාවක් වූ අතර Titanic නෞකාවේ භාහිර පෙනුමට අතිශය අලංකාරයක් එකතු කිරීමේ අරමුණින්, හතරවෙනි දුම් බටයක් සවි කරමින් එය Four Funnel Liners වර්ගයේ නෞකාවක් බවට පරිවර්තනය විය (එහි හතර වන දුම් බටය අක්‍රීය එකකි).

Titanic හැරුණු කොට Four Funnel Liners වර්ගයට අයත් වන “ජනප්‍රියතම” නෞකා කිහිපයක් ඇත. ඒවා අතරින් Titanic නෞකාවේ වැඩිමහළු නිවුන් සහෝදරිය වන Olympic නෞකාවට හිමි වන්නේද අතිජනප්‍රිය ස්ථානයකි. වසර 25ක් සමුද්‍ර ප්‍රවාහන ක්ෂේත්‍රයේ නියැලුනු මෙම නෞකාව 1935 වසරේදී ඉතාමත් ගෞරවාන්විත ලෙස විශ්‍රාම ගන්නා ලදී.

Titanic නෞකාවේ බාල නිවුන් සහෝදරිය වූ Britannic නෞකාව, පළමු ලෝක යුද්ධයේ ඇරඹුමත් සමගම වර්ණ වෙනස් කොට රෝහල් නෞකාවක් ලෙස යෙද වූ අතර පළමු ලෝක යුද්ධයේ ජර්මානු මුහුදු බෝම්බයකට හසු වී මුහුදුබත් විය.

පළමු ලෝක යුධ නාවික ඉතිහාසයේ අපකීර්තිමත්ම සිදුවීමේ කථානායකයා වූ Lusitania නෞකාවද සුප්‍රසිද්ධ නෞකාවක් වූ අතර එය ජර්මානු සබ්මැරීනයක් විසින් ගිල්වන ලදී.

Lusitania නෞකාවේ නිවුන් සහෝදරිය සහ ඥාති සහෝදරිය ලෙස පිළිවෙලින් Mauretania සහ Aquitania නෞකා හැදින්විය හැකි අතර එම නෞකාද Four Funnel Liners වර්ගයට අයත් සුප්‍රසිද්ධ නෞකා සඳහා නිදසුන්වේ.

මෙම කාලයේ එන්ගලන්තයේ ප්‍රධානතම නෞකා සමාගම් ද්විත්වයක් විය. එනම් White Star Line සහ Cunard Line යන සමාගම්ය. එකල මෙම සමාගම් අතරේ විශාල තරගයක් හෙවත් සීතල යුද්ධයක් ගොඩ නැගී තිබී ඇත. එබැවින් එම වාතාවරණය විශාල ප්‍රමාණයේ Four Funnel Liners වර්ගයේ නෞකා නිර්මාණයේ වර්ධනයක් සිදුවීමට බලපා තිබේ. ඒ, එක් සමාගමක් විශාල නෞකාවක් නිර්මාණය කළ විට අනිත් සමාගම විසින් එය පරයමින් තවත් විශාල නෞකාවක් නිර්මාණය කිරීම නිසාය.

White Star Line සමාගම විසින් Olympic නෞකාව නිර්මාණය කළ විට, ඊට පිළිතුරු ලෙස Cunard Line සමාගම විසින් Aquitania නෞකාව නිර්මාණය කරන ලදී. Cunard Line සමාගම විසින් Mauretania නෞකාව නිර්මාණය කළ විට, ඊට පිළිතුරු ලෙස White Star Line සමාගම විසින් Titanic නෞකාව නිර්මාණය කරන ලදී.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : Titanic නෞකාව : www.businessinsider.nl
* ඡායාරූපය 02 : Titanic නෞකාව (දකුණු පස) සහ Olympic නෞකාව (වම් පස) : Olympic-class ocean liner | www.wikipedia.com
* ඡායාරූපය 03 : Britannic නෞකාව : HMHS Britannic | www.wikipedia.com
* ඡායාරූපය 04 : Lusitania නෞකාව : RMS Lusitania | www.wikipedia.com
* ඡායාරූපය 05 : Mauretania නෞකාව : RMS Mauretania (1906) | www.wikipedia.com
* ඡායාරූපය 06 : Aquitania නෞකාව : RMS Aquitania | www.wikipedia.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.