මිහිදු හිමියන් වැඩියෙ මැදවච්චියට…?????

A9 මාර්ගයේ මැදවච්චිය හරහා යන විට ඔබට ඉසින්බැස්සගල රජමහා විහාරය වෙත පිවිසිය හැක. අඩි 530ක් පමණ උසකින් යුතු විශාල ගල් තලාවක් මත පිහිටා තිබෙන, වසර 2300කට අධික ඈත ඉතිහාසයකට උරුමකම් කියන මෙම ඓතිහාසික ස්ථානයේ “ජනප්‍රවාද කතාව” ඉතාමත් රසවත් වූ එකකි.

මෙම ගල් තලාව භාවනා කටයුතු කිරීම සඳහා ඉතාමත් යෝග්‍ය වූ ගල් තලාවක් බවට, සිත දියුණු කර ගැනීමේ නුවණින් අවබෝධ කර ගත් ඈත අතීතයේ ඉන්දියාවේ සිටි සෘෂීන් වහන්සේලා සහ මහරහතන් වහන්සේලා, ඉන්දියාවේ උෂ්ණත්වය ඉහළ යන විට, මෙම ස්ථානය වෙත සෘද්ධියෙන් පැමිණ භාවනා කටයුතු සිදු කිරීමට පුරුදු වී සිටියෝය. ඉන්දියාවේ දේශගුණය නැවතත් සිසිල් වූ පසු මෙම සෘෂීවරු සහ මහරහතුන් නැවතත් සෘද්ධියෙන් ඉන්දියාව වෙත වැඩම කළෝය. එබැවින් එකල සිටම මෙම ස්ථානය ඉසිපතනාරාමය (සෘෂීන් පතිත වන ස්ථානය) ලෙසද, ඉසින්බැස්සගල (සෘෂීන් බහිනා ගල) ලෙසද ප්‍රකටව තිබී ඇත.

ඉන්දියාවේ ධර්මාශෝක අධිරාජ්‍ය සමයේ ලංකාව වෙත මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම ප්‍රචාරක කණ්ඩායමක් වැඩම කළ බව අප දනිමු. ජනප්‍රවාද අනුව එම කණ්ඩායම ලක්දිව ප්‍රථම වරට වැඩම කරන ලද්දේ ඉසින්බැස්සගල ගල් තලාව මතටය. ඊට හේතුව ලෙස ජනප්‍රවාදයේ සඳහන් වන්නේ ඉසින්බැස්සගල ගල් තලාවේ සිත දියුණු කර ගත් පිරිස් ගැවසීමත්, ඒ වන විටත් දේවානම්පියතිස්ස රජතුමා දඩයමේ යෑම අරභා නොතිබීමත් යන කරුණුය.

නියමිත කාලය පැමිණෙන තුරු මෙම ගල් තලාවේ සිටි මහරහතන් වහන්සේලා සහ සෘෂීන් සමග සුහද කතා බහක සහ අදහස් හුවමාරුවක නිරත වන මහින්ද මහ රහතන් වහන්සේ, දේවානම්පියතිස්ස රජතුමා දඩයමේ යෑම ආරම්භ කරනවාත් සමගම, ඉසින්බැස්සගල ගල් තලාවේ සිට මිහින්තලය ගල් තලාව වෙත සෘද්ධියෙන් වැඩම කළ සේක.

මහින්ද මහ රහතන් වහන්සේ ඇතුළු ධර්ම දූත කණ්ඩායම දේවානම්පියතිස්ස රජතුමාව මුණ ගැසී, රජතුමාව බෞද්ධයෙක් බවට පත් කළ අතර දේවානම්පියතිස්ස රජතුමා රාජධානිය අවට බෞද්ධ වෙහෙර විහාර ඉදි කිරීම ඇරඹුවේය. එහි ප්‍රතිපලයක් ලෙස ඉසින්බැස්සගල ගල් තලාව මතද විශාල සෑයක් තනවා, විහාර ආරාම නිර්මාණය කළේය. මෙම රජමහා විහාරය මත ඇති චෛත්‍යය, මහින්දාගමනයෙන් පසුව ලක්දිව නිර්මාණය වූ දෙවෙනි චෛත්‍යය ලෙසද හදුන්වනු ලබයි.

මහින්ද මහ රහතන් වහන්සේ ලක්දිව වෙත තබන ලද ප්‍රථම පාද ස්පර්ශය මෙම ස්ථානයේ ස්පර්ශ වූ බැවින්, මිහින්තලා පූජා භූමිය වෙත අප අවධානය යොමු කරන්නේ යම් සේද, එම අවධානය මෙම පූජා භූමිය වෙතද ලැබිය යුතුයි.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.