Titanic අනාථ කළ Californian

1912 වර්ෂයේ අප්‍රේල් මස 14 වන දින “ස්ටැන්ලී ලෝර්ඩ්” කැප්ටන්වරයාගේ නායකත්වය යටතේ SS Californian නෞකාව, එන්ගලන්තයේ සිට ඇමරිකාව බලා යාත්‍රා කරමින් තිබිණි. Californian නෞකාව අයිස් කදුවල ගැටීමේ අවදානමක් තිබූ බැවින් රාත්‍රී 10.20ට පමණ නෞකාව පසුදින උදෑසන වන තුරු නවත්වා තැබීමට, කැප්ටන්වරයා තීරණය කළේය.

පැය කිහිපයකට පසු Californian නෞකාවේ කාර්යය මණ්ඩලයේ කිහිප දෙනෙකුහට ඈත ක්ෂිතිජයෙන් දිදුලන ආලෝකමත් එළියක් දක්නට ලැබිණි. ඔවුන් සියලු දෙනාම එම එළිය, ඈත නැංගුරම්ලා තිබෙන නෞකාවක් බව හදුනා ගත්තෝය. නමුත් ඔවුන් හදුනා නොගත් එක් දෙයක් ඇත. කිලෝ මීටර 32ක පමණ දුරකින් ඒ දිස්වන්නේ අයිස් කන්දක වැදී ගිලෙමින් තිබෙන සුප්‍රසිද්ධ Titanic නෞකාව බව ඔවුන් කිසි විටෙකත් සිතුවේ නැත.

Titanic නෞකාවේ “ජෝන් ස්ම්ත්” කැප්ටන්වරයා ඇතුළු Titanic නෞකාවේ ප්‍රධාන නිළධාරීන් ඒ වන විටත්, තමන්ට ඈතින් දිස්වන ආලෝකය (Californian නෞකාව) දැක තිබුණෝය. එහි ප්‍රතිපලයක් ලෙස Californian නෞකාවට පෙනෙන්නට දිගින් දිගටම මල් වෙඩි පත්තු කළ අතර (Distress Signals) පණිවිඩ යන්ත්‍ර හරහා සම්බන්ධවීමටද උත්සාහ කළෝය.

එසේ මල් වෙඩි භාවිතා කරනුයේ, ඉදිරියෙන් අයිස් කදු ඇති බවට අවට ඇති නෞකාවලට දැන්වීම සඳහා යැයි වරදවා වටහා ගත් Californian නෞකාවේ නිළධාරීන් ඒ පිළිබඳව එතරම් තැකීමක් සිදු නොකළ අතර ඒ වන විටත් Californian නෞකාවේ පණිවිඩ යන්ත්‍ර ක්‍රියා කරවන්නන්, පණිවිඩ යන්ත්‍ර ක්‍රියා විරහිත කර රාත්‍රී නින්දට ගොස් තිබිණි.

පසුදින උදෑසන 2.20 පමණ වන විට මෙම ආලෝකය සම්පූර්ණයෙන්ම අතුරුදහන් විය. Californian කාර්යය මණ්ඩලය, එම නෞකාව එම ස්ථානයෙන් යන්නට ඇතැයි සිතුවත් සැබැවින්ම සිදු වූයේ Titanic නෞකාව මුළුමනින්ම මුහුදු බත් වී අවසන්වීමය.

ඉන්පසු නැවත උදෑසන 4.00ට පමණ දකුණු දිශාවෙන් ආලෝක සංඥඥා මාලාවක් විටින් විට නිකුත් විය. සුළු වේලාවකට පසු තවත් නෞකාවක්, Californian නෞකාව පසු කරමින් වේගයෙන් ගමන් ගන්නා ලදී. ඒ, Titanic නෞකාවේ සහායට පැමිණි සුප්‍රසිද්ධ Carpathia නෞකාවයි (Titanic නෞකාව අනතුරට ලක් වන විට Carpathia නෞකාව පිහිටියේ කිලෝ මීටර 107ක දුරකිනි). පණිවිඩ යන්ත්‍ර හරහා Carpathia නෞකාව සම්බන්ධ කර ගත් Californian කාර්යය මණ්ඩලයේ නිළධාරීන්, සියලු විස්තර Carpathia නිළධාරී මණ්ඩලය හරහා දැන ගත්තෝය.

පැය කිහිපයකට පසුව Carpathia නෞකාවට සහාය දැක්වීමට, Californian නෞකාවේ කාර්යය මණ්ඩලය තීරණය කළ අතර ඒ බව Carpathia නෞකාවේ කාර්යය මණ්ඩලයට දන්වන විට Carpathia නෞකාවෙන් අවසන් Titanic මගියාත් බේරාගෙන අවසන් කර තිබිණි. ඉන්පසුව Carpathia නෞකාව ඇමරිකාව බලා පිටත් වන අතර Carpathia නෞකාවේ නියෝග මත Californian නෞකාව, Titanic අනතුර සිදු වූ ස්ථානයට ගමන් ගත්තේය. නමුත් ඒ වන විටත් ඉතිරිව තිබී ඇත්තේ මුහුදේ පාවෙමින් පැවති හිස් ජීවිතාරක්ෂක බෝට්ටු කිහිපයක් සහ ලී කොටස් කිහිපයක් පමණි.

එදින Californian නෞකාව, Titanic නෞකාවේ මගීන් මුදවා ගැනීමට පියවර ගත්තේ නම්, මිය ගිය Titanic මගීන් 1500න් විශාල ප්‍රමාණයක් බේරා ගැනීමට අවස්ථාව තිබිණි. එබැවින් මෙම සිද්ධිය හේතු කොට, ඇමරිකානු සෙනෙට් මණ්ඩලය සහ එන්ගලන්ත රජය විසින් Californian නෞකාවට විරුද්ධව පරීක්ෂණ දියත් කරන ලදී.

එහිදී Californian නෞකාවේ කැප්ටන්වරයා සහ පණිවිඩකරුවන් ප්‍රකාශ කර සිටියේ තමන් Titanic නෞකාව අනතුරට ලක්වීමට මිනිත්තු 10කට පෙර Titanic නෞකාවේ පණිවිඩකරුවන් වෙත අයිස් කදු අවදානම සම්බන්ධ පණිවිඩ ලබා දුන් බවටත්, එහිදී Titanic නෞකාවෙන් “Shut up, shut up! I am busy (කට වහගන්න. කට වහගන්න. මම කාර්යබහුලයි)” යනුවෙන් පිළිතුරක් ලද බවත්ය. එමෙන්ම Titanic නෞකාවට තමන්ද ආලෝක සංඥඥා නිකුත් කළ බව ප්‍රකාශ කළෝය.

කෙසේ නමුත් Californian නෞකාවේ නිළධාරීන් සහ Carpathia නෞකාවේ නිළධාරීන් ලබා දුන් පිළිතුරු සහ ප්‍රකාශන අතරේ පරස්පර විරෝධී කරුණු විශාල ප්‍රමාණයක් පැවති අතර අවසානයේදී Californian නෞකාවේ නිළධාරී මණ්ඩලය වැරදිකරුවන් බවට නම් කරන ලදී.

SS Californian යනු 19 වන සියවසේ අග භාගයේදී බ්‍රිතාන්‍යයේ Leyland Line නෞකා සමාගම විසින් ස්කොට්ලන්තයට භාර දෙන ලද කොන්ත්‍රාත්තුවක් මත ස්කොට්ලන්තය විසින් එවකට නිර්මාණය කරන ලද විශාලතම නෞකාවයි. 1901 වසරේ සිට භාණ්ඩ ප්‍රවාහන සේවාවට එක්ව තිබෙන මෙම නෞකාවේ දිග මීටර 136ක් වන අතර 55ක කාර්යය මණ්ඩලයකට සහ මගීන් 47 දෙනෙකුහට ගමන් කිරීමේ හැකියාව තිබී ඇත.

SS Californian නෞකාව මෙන්ම, මෙම සටහනේ සඳහන් කර ඇති Carpathia නෞකාවද, පළමු ලෝක යුද්ධය අතර තුර ජර්මානු සබ්මැරීන ප්‍රහාරවලින් විනාශයට පත් වී තිබේ.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : jamesparrott.bandcamp.com
* වීඩියෝව 01 : Lord Kayoss | YouTube Channel
* ඡායාරූපය 02 : www.coolerinsights.com
* වීඩියෝව 02 : SP. Kiwiyum | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.