සැබෑ Velociraptor

Jurassic Park චිත්‍රපට මාලාවේ දක්නට ලැබෙන ඉතාමත් ජනප්‍රිය ඩයිනෝසෝරයෙක් ලෙස Velociraptor ඩයිනෝසෝරයන්ව හැදින්විය හැක. අද සටහනින් අප බලාපොරොත්තුවන්නේ Jurassic Park චිත්‍රපට මාලාවෙන් මදක් ඔබ්බට ගොස් සැබෑ Velociraptor ඩයිනෝසෝරයන් පිළිබඳව සටහනක් තැබීමටයි.

නිර්මාණ සැලසුම් අනුව Jurassic Park චිත්‍රපට මාලාවේ Velociraptor ඩයිනෝසෝරයන්ගේ උස මීටර 2ක් වන අතර හිසේ සිට වලිගය දක්වා දිග මීටර 5කි.

එනමුත් මෙතෙක් සොයා ගන්නා ලද ඇටසැකිළි අනුව සැබෑ Velociraptor ඩයිනෝසෝරයෙකුගේ උස සහ හිසේ සිට වලිගය දක්වා දිග පිළිවෙලින් මීටර 0.5ක් සහ මීටර 2කි. එනම් සාමාන්‍ය මිනිසෙකුටත් වඩා ඉතාමත් කුඩා සත්වයෙකි. විද්‍යාඥයන් මෙම කුඩා ඩයිනෝසෝරයාගේ උස සමාන කරනුයේ කළුකුමෙකුටයි.

එම සමාන කිරීම සඳහා මෙම ඩයිනෝසෝරයන්ගේ ශරීර ප්‍රමාණය මෙන්ම, ශරීර අවයවද බලපා තිබේ. මෙම ඩයිනෝසෝරයන් උරගයින්ට වඩා පක්ෂීන්ට නෑකම් කියන බවට විද්‍යාඥයන් සොයාගෙන තිබෙන අතර මොවුන්ගේ ශරීරය වැසෙන සේ පිහාටු තිබී ඇති බවත්, අත් තටු තිබී ඇති බවත් නිගමනය කර ඇත.

එනමුත් Velociraptor ඩයිනෝසෝරයන්හට පියෑඹීමේ හැකියාවක් තිබී නොමැති අතර මෙම වර්ගයේ ඩයිනෝසෝරයන්ගේ ආදීතම මුතුන් මිත්තන්හට පියෑඹීමේ හැකියාව පැවති බවටත්, පසු කාලීන Velociraptor ඩයිනෝසෝරයන් තමන්ගේ අත් තටු ප්‍රදර්ශනය සඳහා (විරුද්ධ ලිංගිකයන්ගේ ආකර්ශනය වෙනුවෙන්), කැදලි ආවරණය කිරීම සඳහා, කදු නැගීමේ අවශ්‍යතාවය සඳහා භාවිතා කළ බවට මතයන් ඉදිරිපත් වී ඇත.

මෙම කරුණු හෙළි කිරීම සඳහා විද්‍යාඥයන්හට උපකාරී වී තිබෙන්නෙ, Velociraptor ඇටසැකිළි නිරීක්ෂණය කිරීමේදී හමු වූ කුඩා කුඩා ගැටිති (Quill Knobs) මගිනි.

Jurassic Park චිත්‍රපට මාලාවේ මෙම වර්ගයේ වැඩුණු ඩයිනෝසෝරයන්ගේ ශබ්දයන් නිර්මාණය කර තිබෙනුයේ අශ්වයෙකු ශ්වසනය කරනා ශබ්දයන්, පාත්තයෙකු කෑ ගසන ශබ්දයන්, පිරිමි සහ ගැහුණු ඉබ්බන් දෙන්නෙකු ලිංගික සංසර්ගයේ යෙදෙන විට පිට කරන ශබ්දයන් සහ ඩොල්ෆින් මසුන්ගේ ශබ්දයන් ආශ්‍රයෙනි.

සැබෑ Velociraptor ඩයිනෝසෝරයන් පක්ෂීන්ට නෑකම් කියනා බැවින්, එම සතුන්ගේ ශබ්දය පක්ෂියෙකුගේ ශබ්දයකට සමාන ශබ්දයක්වීමට බොහෝ සෙයින් ඉඩකඩ ඇති බවට විද්‍යාඥයන් සැක පහළ කරයි.

Jurassic Park චිත්‍රපට මාලාවේ Velociraptor ඩයිනෝසෝරයන් සහ සැබෑ Velociraptor ඩයිනෝසෝරයන් අතරේ විශාල වෙනසක් ඇති බව අපට මෙම කරුණු ඔස්සේ පැහැදිලි වෙයි.

නමුත් Jurassic Park පළමු චිත්‍රපටයේ Velociraptor ඩයිනෝසෝරයන්ගේ සැබෑ පෙනුම පිළිබඳව, චිත්‍රපටය නරඹන ප්‍රේක්ෂකයන්ට ඉගියකින් ලබා දෙයි.

එනම් චිත්‍රපටයේ ආරම්භක අවස්ථාවේදී මහාචාර්ය ඇලන් ග්‍රාන්ට්, Velociraptor ඇටසැකිල්ලක අංග ලක්ෂණ, කුරුල්ලෙකුගේ අංග ලක්ෂණවලට සමාන කිරීමේ දර්ශනයයි. එමෙන්ම කුඩා දරුවෙකු එම Velociraptor ඇටසැකිල්ල, අඩි හයක කළුකුමෙකුට සමාන කරනු ලබයි.

ඉහත මතයන් සහ විද්‍යාත්මක නිගමන සළකා බැලීමේදී Velociraptor ඩයිනෝසෝරයන්ගේ සැබෑ පෙනුම, මෙම සටහනේ ඡායාරූපයේ සිටින ඩයිනෝසෝරයාගේ පෙනුමට සමාන පෙනුමකින් යුක්තවේ.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.thejurassicfiles.wordpress.com
* ඡායාරූපය 02 : Velociraptor Wikipedia Article
* ඡායාරූපය 03 : www.aminoapps.com
* වීඩියෝව : King Rexy | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.