මිහින්තලා ආරාම සංකීර්ණය – පළමු කොටස
අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ අනුරාධපුර මිහින්තලා ආරාම සංකීර්ණය ගැනයි. මිහින්තලා පූජා භූමියේ ඉතිහාස කතාව ඔයාලා දැනටමත් දන්නවා.
ඒ කියන්නෙ මේ භූමියේ තියෙන මිස්සක පව්ව මතට ඉන්දියාවේ ධර්මාශෝක රජතුමාගේ පුත්‍රයා වුණු මහින්ද මහා රහතන් වහන්සේ ඇතුළු ඉට්ඨිය, උත්තිය, සම්බල, බද්දසාල, සුමන හිමිවරු සහ භණ්ඩුක උපාසකතුමා පැමිණියා කියලත්, දේවානම්පියතිස්ස රජතුමා ඇතුළු පිරිවරට ධර්මය දේශනා කළා කියලත්, බුදු දහම ලංකාවේ හරියාකාරව ස්ථාපනය වීමේ ආරම්භය ඒ අවස්ථාවෙදි වුණා කියලත්, දේවානම්පියතිස්ස රජතුමා මේ භූමිය පූජා භූමියක් බවට පත් කරලා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා කියලත් අපි අහලා තියෙනවා.
මිහින්තලය කිව්වම අපි හුග දෙනෙක්ට මතක් වෙන්නෙ විශාල ගල් පර්වතයක් විතරයි. මේ ස්ථානය වන්දනා කරන්න යන්න තියෙන මාර්ගයේ පිහිටලා තියෙන නිසා ගොඩක් අය අම්බස්ථල චෛත්‍යය වගේ වටපිටාවේ තියෙන ගොඩක් අංග ගැන උඩින් පල්ලෙන් හරි අවධානය යොමු කළත්, මේ පූජා භූමිය අක්කර ගණනාවක් යනකන් සුවිශාල ආරාම සංකීර්ණයක් විදිහට විසිරිලා පැතිරිලා තියෙනවා කියලා අවබෝධ කරගන්නෙ බොහොම සුළු පිරිසක්.
මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක් අය අනුරාධපුරයේ ගියාම සම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එක. ඉතින් අපි තීරණය කළා මිහින්තලා ආරාම සංකීර්ණයේ මිස්සක පව්ව ආශ්රිත ප්‍රදේශය හැරුණු කොට, මේ පූජා භූමියේ අපිට වර්තමානයේ දැක බලා ගන්න පුලුවන් අනිත් අංග සහ ස්ථාන වලින් “කිහිපයක්” ගැන තොරතුරු ගෙන එන්න. අපි එහෙනං ඒවා එකින් එක බලමු.
01. මිහින්තලේ කටු සෑය
මිහින්තලේ හංදියෙන් හැරිලා, යාපනය – මහනුවර පාරේ මීටර 850ක් යනකොට, පාර කෙලවරේ දකුණු අත පැත්තෙන් “කටු සෑය” දැක ගන්න පුලුවන්. කටුසෑය කියන්නෙ හතරැස් වේදිකාවක නිර්මාණය කරලා තියෙන, කුඩා ප්‍රමාණයේ ගරා වැටුණු චෛත්‍යයක්. මේ චෛත්‍යයේ ධාතු ගර්භයෙන් උඩ කොටස දකින්න නෑ. පාදම කළු ගලින් නිර්මාණය කරලා තිබුණට, උඩ කොටස් නිර්මාණය කරලා තියෙන්නෙ ගඩොල්වලින්.
ජනප්‍රවාද කතාවලට අනුව මේ සෑයේ, මිහින්තලා ආරාමය නිර්මාණය කරන්න ප්‍රයෝජනයට ගත්ත කම්හල් උපකරණ සහ ආයුධ නිධන් කරලා තියෙනවා. 19 වෙනි සියවසේ මුල් භාගයේ කරපු කැණීම්වලදි ක්‍රිස්තු වර්ෂ 8 – 9 සියවස්වල සිංහල සහ සංස්කෘත භාෂාවලින් ලියපු මහායාන සූත්‍ර ඇතුළත් තඹ තහඩු එහෙමත් මෙතනින් හොයාගෙන තියෙනවා.
4 වෙනි මිහිදු රජ්ජුරුවන්ගේ මිහින්තලා පුවරු ලිපියෙත් මේ සෑය ගැන විස්තර ඇතුළත් වෙනවා. ඒ විස්තරවලට අනුව මේ ස්ථානය වෙනුවෙන් ඉඩකඩම් එහෙමත් විශාල ප්‍රමාණයක් පූජා කරලා තිබිලා තියෙනවා.
02. මිහින්තලේ ඉදිකටු සෑය
මේ පූජා භූමිය තියෙන්නෙ, කටු සෑය නිර්මාණය කරලා තියෙන ස්ථානයට අල්ලපු වැටේ. හැබැයි මේ ස්ථානය පාරට පේන්නෙ නෑ. ඒකට ප්‍රධානතම හේතුව තමයි, මේ ස්ථානය ජන ශූන්‍ය කලාපයක තියෙන නිසා, ලදු කැළෑවලින් වැහිලා තිබීම. ජනප්‍රවාදය අනුව මේ සෑය නිර්මාණය කරලා තියෙන්නෙ, මිහින්තලා ආරාමයේ භික්ෂූන්ගේ චීවර මහන්න ප්‍රයෝජනයට ගත්ත ඉදිකටු තැන්පත් කරලයි. පෙනුමෙන් කටු සෑයට ගොඩක් සමානයි. හතරැස් වේදිකාවක් උඩ, ඒ ප්‍රමාණයටම, ඒ පෙනුමටම නිර්මාණය කරලා තියෙනවා.
උස අඩි 6යි. විෂ්කම්භය අඩි 20යි. පහළ කොටස කළු ගලින් නිර්මාණය කරලා, ඉහළ කොටස ගඩොලින් නිර්මාණය කරලා තියෙනවා. ඉතිහාසඥයන්ගේ මතය අනුව, මේ ස්තූපයෙන් මහායානික ලක්ෂණ පෙන්නුම් කරනවලු. මේ ස්ථානයේ චෛත්‍යයට අමතරව අක්කර ගණනාවක් විහිදිලා යන ආරාම සංකීර්ණයක නටබුන් දැක ගන්න පුලුවන්. අත්තිවාරම් කොටස්, ගල් කණු, මුරගල්, කොරවක්ගල්, සදකඩ පහණ්, පඩිපෙල් එහෙම අදටත් දෘෂ්යමානයි.
ගොඩක් කැටයම් අදටත් හොදින් ආරක්ෂාවෙලා තියෙනවා. මේ ගොඩනැගිලි අතරින් කුඩා රෝහලක් සහ ප්‍රතිමා ගෘහයක් එහෙම හදුනාගෙන තියෙනවා. ආරාමය කෙළවරේ තියෙනවා විශාල ප්‍රමාණයේ පොකුණක්. පොකුණට ඇතුල් වෙන්න පුලුවන් පඩිපෙලවල් තියෙන්නෙ එකයි. පඩිපෙල දෙපැත්තෙ පුන්කලස් දෙකක් එහෙමත් කැටයම් කරලා තියෙනවා. පොකුණට වතුර එන කාණුව සහ ඒ පද්ධතිය තාමත් ආරක්ෂාවෙලා තියෙනවා.
03. මිහින්තලා අට සැට ලෙන්
ඉදිකටු සෑය, කටු සෑය පහුකරගෙන මීටර 200ක් විතර ඉස්සරහට යනවත් එක්කම වම් අත පැත්තට හැරෙන්න පාරක් තියෙනවා. මේ පාර දිගේ ඉස්සරහට යනවත් එක්කම වම් අත පැත්තෙ ගල් ලෙන් ටිකක් දකින්න හම්බවෙනවා. එතන හදුන්වන්නෙ “අට සැට ලෙන්” කියලයි. මහා වංශයේ තියෙන විදිහට මෙතන ලෙන් 68ක් තියෙනවා. ඒ ලෙන් 68, දේවානම්පියතිස්ස රජ්ජුරුවො මිහිදු මහ රහතන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයට භාවනා කටයුතු වෙනුවෙන් පූජා කරනවා. හැම ලෙනකම කටාරමට පහළින් බ්රාහ්මී අක්ෂර කොටලා තියෙනවා.
04. මිහින්තලේ සිංහ පොකුණ
හිටගෙන ඉන්න ඉරියව්වෙන් සිංහයෙක්ව කැටයම් කරලා තියෙන නිසා තමයි, මේ ස්ථානයට සිංහ පොකුණ කියන නම හැදිලා තියෙන්නෙ. සිංහයාට උඩින් තියෙන ගලේ, ලස්සන සිංහ රූප පේළියක් සහ ලළනා රූප පේළියක් කැටයම් කරලා තියෙනවා දකින්න පුලුවන්.
මිහින්තලා ආරාමයේ භික්ෂූන්ගේ ජල අවශ්‍යතා වෙනුවෙන් නිර්මාණය කරලා තියෙන මේ ස්ථානයට, වතුර සපයලා තියෙන්නෙ මිහින්තලා නාග පොකුණෙන්. ඒ, භූගත උමං මාර්ගයක් හරහා. මේ ස්ථානය වටේට පුන්කලස් මුරගල්, කොරවක්ගල්, ගල් කණු, අත්තිවාරම් සහිත ගොඩනැගිලි තුනක නටබුන් එහෙමත් දකින්න පුලුවන්.
05. මිහින්තලා මිහිදු පුවරු ලිපි
සිංහ පොකුණ පහුකරගෙන තවත් ඉස්සරහට යනකොට අපිට මිහින්තලා විහාර සංකීර්ණයේ පසුපස කොටස ළගට යන්න පුලුවන්. එතන ඉදලා මිහින්තලා විහාර සංකීර්ණයේ ප්‍රධාන සීමාවට තියෙන්නෙ බොහොම පුංචි දුරක්. පහළ ඉදලා මේ පරිශ්‍රයට කිසිම බාධාවක් නැතුව, වාහනයකින් එන්න පුලුවන්. ඒත් හුග දෙනෙක් තාමත් මේ පාර ගැන දන්නෙ නෑ. ඒ නිසා එයාලා ප්‍රධාන පිවිසුමේ තියෙන පඩිපෙල නැගගෙන සෑහෙන දුරක් පයින් කන්ද නගිනවා. මිහින්තලා විහාර සංකීර්ණයේ පසුපස කොටසින් අපිට මුලින්ම පේන්න තියෙන්නෙ “මිහිදු පුවරු ලිපි” ස්ථානගත කරලා තියෙන ස්ථානයයි.
මේ ස්ථානයට පිවිසෙන්න ලොකු පඩිපෙළක් තියෙනවා. ගරා වැටුණු කුඩා ප්‍රමාණයේ චෛත්‍යය කිහිපයක් පහුකරගෙන උඩට නැග්ගම තමයි පුවරු ලිපි දෙක දැක ගන්න පුලුවන් වෙන්නෙ. ක්‍රිස්තු වර්ෂ 10 වෙනි සියවසේදී 4 වන මිහිදු රජතුමා විසින් පිහිටවලා තියෙන මේ පුවරු ලිපි දෙක, අපේ රටේ සෙල්ලිපි අතරින් ඉතා වැදගත් සෙල්ලිපි දෙකක් වෙනවා.
මිහින්තලා විහාරාරාම පරිපාලනය, භික්ෂූන් වහන්සේලාට පනවපු නීති රීති, භික්ෂූන් වහන්සේලා කෙරෙහි රජයේ මැදිහත්වීම, ආරාමයේ සේවකයින්ගේ වේතන සහ දීමනා, ආරාමයට ආදායම් ලැබෙන ක්‍රම, ආරාමයේ එක එක පරිශ්‍රයන්වල දෛනික කටයුතු ගැන තොරතුරු මේ සෙල්ලිපිවල සදහන් වෙනවා.
06. මිහින්තලා සන්නිපත ශාලාව
මිහින්තලා පුවරු ලිපි ද්විත්වයට දකුණු අත පැත්තෙන් තමයි මිහින්තලා සන්නිපත ශාලාව පිහිටලා තියෙන්නෙ. ඒ කියන්නෙ මිහින්තල විහාර සංකීර්ණයේ භික්ෂූන් වහන්සේලා සාමූහිකව රැස්වීම් පවත්වපු ස්ථානය. ඒ වගේම මේක ධර්ම ශාලාවක් විදිහටත් ප්‍රයෝජනයට ගන්න ඇති කියලත් ඉතිහාසඥයන් සැක පහළ කරනවා. ශාලාවේ හරි මැදින් ප්‍රධාන ආසනය දැක ගන්න පුලුවන්. සතර දිශාවෙන්ම ඇතුල්වීමේ පහසුකම් තියෙනවා. ගල් කණු, පඩිපෙල්, සදකඩ පහණ් සහ කොරවක්ගල් අදටත් දෘශ්යමානයි.
07. මිහින්තලා දාන ශාලාව
මිහින්තලා ආරාම සංකීර්ණයේ දාන ශාලාව පිහිටලා තියෙන්නෙ, මිහිදු ලිපි ද්විත්වය පිහිටලා තියෙන පරිශ්‍රයට වම් අත පැත්තෙන්. අපේ රටේ දාන ශාලා අතරින් ඉපැරණිම දාන ශාලවක් වන මේ ශාලාවේ බත් ඔරු, ධ්‍යාන ඔරු, ගබඩා කාමර, මුළුතැන්ගෙවල් එහෙම තිබිලා තියෙනවා. මුළුතැන්ගෙයට වතුර අරගෙන තියෙන්නෙ ග්‍රැනයිට්වලින් හදපු වතුර ටැංකියකින්.
08. කළු දිය පොකුණ
මිහින්තලේ පියගැට පෙළට ඇතුළුවෙන ස්ථානය පහු කරගෙන ටික දුරක් ඉදිරියටම ගියාම, පාරේ වම් පැත්තට වෙන්න ගල් පඩිපෙලක් හමු වෙනවා. මේ පඩිපෙල දිගේ උඩට නැග්ගම තමයි කළුදිය පොකුණ ආරාම සංකීර්ණයට පිවිසෙන්න පුලුවන් වෙන්නෙ. මේ ආරාම සංකීර්ණය 4 වන කාශ්‍යප රජතුමා විසින් ධර්මරුචි නිකායික භික්ෂූන් වහන්සේලාට පූජා කරපු “හදසුණ්හ විහාරය” කියලා අනුමාන කරනවා.
ආරාමයේ විශාල පොකුණ වටේ තියෙන ගල් පර්වත සහ ගස්වැල්වල ඡායාව වැටිලා, පොකුණේ ජලය අදුරු පැහැයට හැරිලා තියෙන නිසා තමයි මේකට “කළුදිය පොකුණ” කියලා කියන්නෙ. පොකුණේ දිග අඩි 200ක් වෙනවා. පළල අඩි 70යි.
ආරාම සංකීර්ණය පුරාවටම නටබුන් දැක ගන්න පුලුවන්. ඒ අතර ගල් තලාවක් මත නිර්මාණය කළ පුරාණ චෛත්‍යයක් සහ ශිලා ලිපියක් ඇතුළත්. මේ ශිලා ලිපියේ යුව සහ බෝධි කියලා පුද්ගලයන් දෙදෙනෙක් විසින් විහාරයට කරලා තියෙන පරිත්‍යාගයන් ගැන සදහන් වෙනවා. ගණන් බලලා තියෙන විදිහට මේ සෙල්ලිපිය ක්‍රි.ව 7 – 8 සියවස්වල නිර්මාණය කරපු එකක්.
ඊට අමතරව පුරාණ ගොඩනැගිලි ගණනාවකම අත්තිවාරම් කොටස් ගණනාවක් දැක ගන්න පුලුවන්. සමහරක් ඒවායේ පහළ කොටස් විද්‍යාමානව තියෙනවා. ගල් කණු, කැටයම් නොකරපු සදකඩ පහණ් සහ මුරගල්, ප්‍රාථමික මට්ටමේ කැටයම් වලින් යුක්ත කොරවක්ගල්, වතුර පීලි, පියගැට පෙළවල්, ගලින් නිමවූ වාහල්කඩවල්, කුඩා පාරවල් මේ හැම තැනකම අන්තර්ගතයි. ඊට අමතරව ආරාමයේ කෙලවර ගල් ලෙනක් දැක ගන්න පුලුවන්. ගල් ලෙනට ඇතුල් වෙන ස්ථානයේ ගලින් නිමවූ බිත්තියක්, ජනේල කිහිපයක් සහ මධ්‍යම ප්‍රමාණයේ වාහල්කඩක් දැක ගන්න පුලුවන්.
ඉතින් පේනවා නේද මිහින්තලය කියන්නේ ගල් පර්වතයකට විතරක් සීමා නොවුණු දැවැන්ත ආරාම සංකීර්ණයක් කියලා? ලිපිය තවම ඉවර නෑ. අපි තව නොබෝ දිනකින් දෙවෙනි කොටසකින් හමු වෙමු !