Band of Brothers වැරදියි…?????

November 23, 2019

Band of Brothers යනු ස්ටීවන් ස්පිල්බර්ග්, ටොම් හෑන්ක්ස් වැනි අති දැවැන්ත චිත්‍රපට අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු කිහිප දෙනෙකුගේ එකමුතුවෙන්, වසර 5කට අධික පරිශ්‍රමයකින් නිර්මාණය කර 2001 වසරේදී එළිදක්වන ලද දෙවන ලෝක යුද්ධය සහ ඇමරිකානු 506 වන පාබල හමුදා සේනාංකයේ, 101 වන වාසර බලකායේ E බට කණ්ඩායම (Easy Company) මාතෘකා කර ගත් කොටස් 10ක කෙටි ටෙලි කතා මාලාවකි.

දෙවන ලෝක යුද්ධය පිළිබඳව උනන්දුවක් දක්වන අතිවිශාල පිරිසකගේ ආදරය දිනා ගත් මෙම ටෙලි කතා මාලාවෙහිද, ඉතිහාසය සම්බන්ධව නිර්මාණය වී ඇති ඇතැම් නිර්මාණවල සේම ඇතැම් ඓතිහාසික කරුණු පිළිබඳව යම් යම් අඩුපාඩු ඇත.

අද ලිපියෙන් අප හෙළිදරව් කිරීමට බලාපොරොත්තුවනුයේ මෙම ටෙලි කතා මාලාවේ තිබූ විශාලතම වැරදීම පිළිබඳවයි. එනම් මෙම කතා මාලාවේ තුන්වන කොටස නොහොත් ප්‍රංශයේ කැරෙන්ටන් නගරය නැවත අත්පත් කර ගැනීමේ සටන මාතෘකා කර ගත් කොටස පිළිබඳවයි. එම කොටස අවසානයේදී මෙලෙස සටහනක් ප්‍රදර්ශනය කෙරේ.

“ Albert Blithe never recovered from the wound he received in Normandy. He died in 1948 (ඇල්බර්ට් බ්ලයිත්, නෝමැන්ඩිහීදී සිදුවූ තුවාලවලින් කිසිදා සුව නොවිනි. ඔහු 1948දී මිය යන ලදී) “

නමුත් සැබෑ දත්ත සහ තොරතුරු අනුව ඇල්බර්ට් බ්ලයිත් මියගොස් ඇත්තේ 1948 වසරේදී නොව 1967 වසරේදීය.

Band of Brothers ටෙලි කතා මාලාවේ තුන්වන කොටසෙහි කතා නායකයා වන්නේ ඇල්බර්ට් බ්ලයිත්ය. තුන්වන කොටසෙහි වැඩිම දර්ශන වාර සංඛ්‍යාවක පෙනී සිට ඇත්තේද ඇල්බර්ට් බ්ලයිත්ය.

එවැනි අවස්ථාවකදී, මෙවැනි සාවද්‍ය තොරතුරක් ප්‍රදර්ශනය කිරීම, Band of Brothers ටෙලි කතා මාලාවේ නිර්මාණකරුවන්ගේ අතින් සිදු වූ විශාල වැරදීමක් ලෙස දැක්විය හැක.

එපමණක් නොව. Band of Brothers කතාවේදී එම වෙඩි උණ්ඩය බ්ලයිත්ගේ බෙල්ලට වැදුනද, සැබෑ ඉතිහාසයට අනුව එම වෙඩි උණ්ඩය වැදී තිබෙන්නෙ බ්ලයිත්ගේ උරහිසටය.

කැරෙන්ටන් ආශ්‍රිත ප්‍රදේශයකදී ජර්මානු ස්නයිපර් වෙඩික්කරුවෙකුගේ උණ්ඩයකට ගොදුරු වන ඇල්බර්ට් බ්ලයිත්, 1944 වර්ෂයේදී ඇමරිකාව බලා යවන අතර 1945 වර්ෂයේ දෙවන ලෝක යුද්ධය නිමාවීමෙන් පසුව ඇමරිකානු රෝහලෙන් මුදා හැර ඇත.

ඉන්පසුව නැවතත් ඇමරිකානු යුධ හමුදාවේ සේවයට එක්වන ඔහු, 187 වන වාසර බලකායට සම්බන්ධ වී කොරියානු යුද්ධයටද දායකත්වය ලබාදී ඇත. ඉන්පසුව ආරක්ෂක උපදේශකවරයෙක් ලෙස තායිවානයේ සේවය කර ඇති අතර ඉන්පසුව ජර්මනියේද සේවය කර ඇත.

ඇල්බර්ට් බ්ලයිත්ගේ මරණය සිදුවන්නේ 1967 වර්ෂයේ දෙසැම්බර් මස 11 වන දින ජර්මනියේදීය. ඒ, උදරයේ ඇති වූ රෝගී තත්වයක් හේතුවෙනි.

වඩාත්ම පුදුමසහගත කරුණ නම්, ඇල්බර්ට් බ්ලයිත් මිය යෑමට දවසකට පෙර, එනම් 1967 දෙසැම්බර් 10 වන දින ඔහු විසින් දෙවන ලෝක යුධ සටන් තදින්ම පැතිරුණු බැස්ටෝන් ප්‍රදේශයේ බල්ජ් සටන (Battle of Bulge) සිහිපත් කෙරෙන උත්සවයකටද සහභාගී වී තිබීමය.

මිය යන විට ඔහු 44 වන වියේ පසු වූ අතර දරුවන් දෙදෙනෙකුගේ සෙනෙහෙබර පියෙක් විය.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.themes.com
* ඡායාරූපය 01 : www.nostalgiazone.wordpress.com
* වීඩියෝව : Jesse Shipp | YouTube Channel
* ඡායාරූපය 02 : www.ww2awartobewon.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.