ථූපාරාම විහාර සංකීර්ණය
අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ ථූපාරාම විහාරය ගැනයි. ථූපාරාම චෛත්‍යයේ ඉතිහාස කතාව ඔයාලා දැනටමත් දන්නවා.
මහින්දාගමනයෙන් පස්සෙ ලංකාවේ නිර්මාණය වුණු පළවෙනි චෛත්‍යය කියලත්, චෛත්‍යයේ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කළා කියලත්, දේවානම්පියතිස්ස රජතුමා රාජ්‍ය අනුග්‍රහය ලබා දුන්නා කියලත්, මුල් ආකෘතිය ධාන්‍යාකාර ආකෘතියක් කියලත්, වටදාගෙයකින් සමන්විත වෙලා තියනවා කියලත් අපි අහලා තියෙනවා.
ථූපාරාමය කියන නම නිර්මාණය වෙලා තියෙන්නෙම ස්තූප + ආරාම කියන වචන දෙක එකතුවෙලයි. ඒත් ථූපාරාමය කිව්වම අපිට මතක් වෙන්නෙම චෛත්‍යයක් මිසක් චෛත්‍යයක් ඇතුළු ආරාම සංකීර්ණයක් නෙවේ.
මේකට ප්‍රධානම හේතුව වෙන්නෙ අපේ ගොඩක් අය අනුරාධපුරයේ ගියාම සම්ප්‍රදායික අටමස්ථාන වන්දනාවට විතරක් කොටු වෙලා ඉන්න එක. ඉතින් අපි තීරණය කළා ථූපාරාම ආරාම සංකීර්ණයේ ථූපාරාම චෛත්‍යය හැරුණු කොට, ආරාම සංකීර්ණයේ අපිට වර්තමානයේ දැක බලා ගන්න පුලුවන් අනිත් අංග සහ ස්ථාන වලින් “කිහිපයක්” ගැන තොරතුරු ගෙන එන්න. අපි එහෙනං ඒවා එකින් එක බලමු.
01. පාද ලාංඡන චෛත්‍යය
අනුරාධපුර ථූපාරාම චෛත්‍යය වන්දනාමාන කරන්න යන ගොඩක් බැතිමතුන්ගේ අවධානයට පාත්‍ර නොවෙන චෛත්‍යයක් තමයි “පාද ලාංඡන ස්තූපය” කියන්නෙ. මේ ස්තූපය පිහිටලා තියෙන්නෙ ථූපාරාමයට දකුණු පසින්, එම ස්ථානයේමයි. මේ චෛත්‍යය “ශිලා චෛත්‍යය”, “දීඝ ස්තූපය” වගේ නම් වලිනුත් හදුන්වනවා.
ජනප්රවාදයට අනුව ගෞතම බුදුන් වහන්සේ 3 වෙනි ලංකා ගමනේදී, උන්වහන්සේ අවසන් වරට වැඩම කරන්නෙ වර්තමානයේ ථූපාරාමය පිහිටි ස්ථානයටයි. නැවත උන්වහන්සේ ඉන්දියාව බලා සෘද්ධියෙන් වැඩම කරනවා. එහෙම වැඩම කරද්දි අවසන් වරට උන්වහන්සේගේ සිරි පතුල, ලංකා පොළොවේ ස්පර්ශ වුණු ස්ථානය මත තමයි මේ චෛත්‍යය නිර්මාණය කරලා තියෙන්නෙ. ඒ මොහොතේ සමනළ කන්දේ වගේම මෙතනත් උන්වහන්සේගේ සිරි පතුල සටහන් වුණා කියලා කියනවා.
චෛත්‍යය නිර්මාණය කරන්න අනුග්‍රහය දක්වලා තියෙන්නෙ සද්ධාතිස්ස රජතුමාගේ පුත්‍රයෙක් වෙච්ච ලජ්ජතිස්ස රජතුමා. මේ චෛත්‍යය වටේ පරණ මුරගල්, කොරවක්ගල්, සදකඩ පහණ් සහ මල් ආසන කිහිපයක්ම දැක ගන්න පුලුවන්. ථූපාරාම චෛත්‍යය වන්දනාමාන කරන සෑම අයෙක්ම අනිවාර්යෙන්ම දැක බලා ගත යුතු / වන්දනාමාන කළ යුතු ස්තූපයක් තමයි “පාද ලාංඡන චෛත්‍යය” කියන්නෙ.
02. නාගලු ළිඳ
“නාගලු ළිඳ” කියලා හදුන්වන ළිඳ ථූපාරාම විහාරයේ පිළිම ගෙය ආසන්නයේ දකින්න පුලුවන්. මේ ළිඳ ථූපාරාම විහාරයේ වැඩ සිටි භික්ෂුන්ගේ ජල පහසුකම් සපුරාලන්න නිර්මාණය කරපු ළිඳක්. ළිඳ වටේ තියෙන අත්තිවාරම් පරික්ෂා කළාම, මේ ළිඳ ශාලාවක් ඇතුළේ නිර්මාණය කරලා තිබුණා කියලා මතයකට එළඹෙන්න පුලුවන්.
03. පොහොයගෙය
ථූපාරාම චෛත්‍යයට දකුණින් දකින්න පුලුවන් වෙන මේ පොහොය ගෙය භාතිකාභය රජතුමා හෝ භාතියතිස්ස රජතුමා නිර්මාණය කරන්නට ඇති කියලා ඉතිහාසඥයන් මත පල කරලා තියෙනවා. අද වෙනකොට මේ ස්ථානයේ දැක ගන්න පුලුවන් වෙන්නෙ පොහොය ගෙයෙහි උඩ කොටස දරාගෙන සිටි, පහළ කොටසේ තිබුණු ගල් කණු කිහිපයක් සහ ඇතුළ් වෙන ස්ථානයේ තිබූ කැටයම් නොකරපු ප්‍රාථමික මට්ටමේ සඳකඩ පහණක්, මුරගල් ද්විත්වයක් සහ කොරවක්ගලක් විතරයි.
04. රෝහල
ථූපාරාම චෛත්‍යයට බටහිරට වෙන්න නිර්මාණය කරලා තියෙන ගොඩනැගිලි සංකීර්ණය, ථූපාරාම විහාරයේ රෝහල විදිහට හදුනාගෙන තියෙනවා. රෝහලේ තිබුණු සමහරක් බෙහෙත් ඔරු, ගල් මංජුසා, වැසිකිළි සහ කැසිකිළි පද්ධති අදටත් දැක ගැනීමේ අවස්ථාව තියෙනවා.
ඒ වගේම පුරාවිද්‍යා කැණීම් වලින් ලෝහමය පිහි තල වගේ දේවලුත් හොයාගෙන තියෙනවා. අනුරාධපුර කිරිබත් වෙහෙරෙන් හොයා ගත්ත ටැම් ලිපියක, මේ රෝහලේ පාලනය සහ රෝහලේ ආදායම් ගැන සඳහන් වෙනවා.
05. පිළිමගෙය
ථූපාරාමයේ නිරිතදිග නිර්මාණය කරලා තියෙන ගොඩනැගිල්ල, ථූපාරාමයේ පිළිමගෙය කියලා හඳුනාගෙන තියෙනවා. මේ පිළිමගෙය අදියර දෙකක් විදිහට නිර්මාණය කළා කියන එක තමයි ඉතිහාසඥයන්ගේ මතය. පළවෙනි අදියරය නිර්මාණය වෙලා තියෙන්නෙ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලයෙදියි. සමහරක් අය මේ ස්ථානය ථූපාරාමයේ දළදා මන්දිරය විදිහටත් හදුන්වන්න පෙළඹිලා තියෙනවා. ඒත් ඒක වැරදි මතයක්.
සෙල්ලිපි විශේෂඥයෙක් වුණු ඩී.එම්.වික්‍රමසිංහ මහත්මයා රට ඉන්නකොට, එතුමාගේ පහළ නිළධාරීන් පිරිසක් අනුරාධපුර ඇතුළු නුවර දළදා මාළිගාවෙන් සොයා ගත්ත සෙල්ලිපියක් පිටපත් කරලා යවලා තියෙනවා. එහෙම යවලා තියෙන්නෙ ඒ සෙල්ලිපිය ථූපාරාමයෙන් හොයා ගත්තාය කියලයි.
ඒ සෙල්ලිපියේ තිබුණු දළදා මාළිගාව කියන වචන පරීක්ෂා කරපු වික්‍රමසිංහ මහත්මයා, මේ ගොඩනැගිල්ල ථූපාරාමයේ දළදා මාළිගාව විදිහට හඳුන්වනවා. පස්සෙ සිද්ධ වුණු වැරැද්ද ගැන දැන ගන්න වික්‍රමසිංහ මහත්මයා, ආයෙත් ඒ වැරැද්ද නිවැරදි කරලා, මේ ගොඩනැගිල්ල ථූපාරාමයේ දළදා මන්දිරය නෙවේ කියලා වැරැද්ද නිවැරදි කරගෙන තියෙනවා.
06. සංඝමිත්තා ස්තූපය
පාද ලාංඡන චෛත්‍යය වගේම ථූපාරාමය වන්දනාමාන කරන්න එන ගොඩක් බැතිමතුන්ට මග ඇරෙන ස්ථානයක් තමයි “සංඝමිත්තා ස්තූපය” පිහිටි ප්‍රදේශය. ථූපාරාමය චෛත්‍යයට බටහිරින් හතරැස් වේදිකාවක් උඩ, පැරණි මල් ආසන තුනක් සහ පඩිපෙළක් සහිතව ඉදි කරලා තියෙන මේ ස්තූපය උත්තිය රජතුමාගේ අනුග්‍රහය යටතේ නිර්මාණය වුණු චෛත්‍යයක්.
දැනට කරලා තියෙන පුරාවිද්‍යාත්මක සොයා ගැනීම් අනුව සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ පිරිනිවන් පෑ පසු ශ්‍රී දේහය ආදාහනය කරලා තියෙන්නෙ මේ ස්ථානයේ. සංඝමිත්තා ස්තූපයේ නිධන් කරලා තියෙන්නේ තෙරණින් වහන්සේගේ ධාතු කොටස්.
ලංකාවේ භික්ෂුණී ශාසනය ස්ථාපනය කිරීමත් එක්කම ථූපාරාම භූමිය, භික්ෂූණීන් වහන්සේලාගේ ආරාම භූමියක් වුණා කියලත් ඉතිහාසඥ මතයක් තියෙනවා. සංඝමිත්තා ස්තූපය, ථූපාරාම සීමාවේම නිර්මාණය කරලා තිබීමත්, ඒ මතය ගොඩනගන්න බොහෝ විට හේතු වෙන්න ඇති.
ඉතින් පේනවා නේද ථූපාරාමය කියන්නේ චෛත්‍යයකට සහ නමකට විතරක් සීමා නොවුණු දැවැන්ත ආරාම සංකීර්ණයක් කියලා?