බෞද්ධ දේශපාලන දර්ශනය – 01

තථාගත බුදුරජාණන් වහන්සේ මංගල සූත්‍රයේදී දක්වා තිබෙන්නේ ධර්මයේ හැසිරීමට නම් පතිරූප දේශයක, එනම් ඊට උචිත පරිසරයක් ඇති රාජ්‍යයක වාසය කිරීම යහපත් බවයි.පතිරූප දේශයක් ලෙස ගැනෙන්නේ සාමකාමී, සෞභාග්‍යවත්,සමාජය ධාර්මික; රාජ්‍යයකි. මෙහිලා එවැනි රාජ්‍යයක ස්වභාවය බුදුවදනට අනුකූලව විග්‍රහ කර ගැනීම වැදගත් වනු ඇත.

රාජ්‍යය පිළිබඳ සමාජ සම්මුති න්‍යාය අනුව අසංවිධිත මිනිස් රංචුව කෙමෙන් ආරක්ෂක හා අනෙකුත් අවශ්‍යතා වෙනුවෙන් සංවිධානය වෙමින් සමාජ සම්මුතියකින් රාජ්‍යය පිහිටුවා ගනී. තථාගත බුදුරජාණන් වහන්සේ —අග්ගඤ්ඤ සූත්‍රය˜ තුළ පැහැදිලි කරන පරිද්දෙන් මානව සමාජයේ ප්‍රාථමික අවධියේදී ඇති වූ ගැටුම් සමනය කිරීම උදෙසා මහා සම්මතයෙන්, එනම් සියල්ලන්ගේ පොදු එකඟතාවයෙන්, —මනු රජතුමන්˜ රාජ්‍ය පාලකයා කරගනී. ඒ අනුව කිපිය යුතු තැන කිපී ,යුක්තිය ඉටුකළ යුතු තැන යුක්තිය ඉටුකරමින්, වරදකරුවන්ට දණ්ඩනය ක්‍රියාත්මක කොට සමාජය ස්ථාවර කිරීමේ වගකීම රජු වෙත පැවරුණි.

බුදුරදුන් දස රාජ ධර්මයන්, දස සක්විතිවත් හා සප්ත අපරිහානීය ධර්මයන් යන ප්‍රතිපත්ති රාමුන් හඳුන්වා දෙන්නේ රාජ්‍ය පාලනය අනිසි බලය යෙදවීමෙන් හා අදැහැමි දණ්ඩනය වෙත යොමුවීමෙන් වළකන්නටය. නූතන බලතල බෙදීමේ න්‍යායයෙන්ද සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන්නේ මේ අරමුණමය. (ව්‍යවස්ථාදායක – විධායක- අධිකරණ ආයතන ත්‍රිත්වයකට රාජ්‍ය බලතල බෙදීම )

දස රාජ ධර්මයෝ ජාතක පාලියේදී තථාගත සම්මා සම්බුදුරජාණන් විසින් දේශනා කොට අනුදැන වදාළ සේක. ඒවා නම්,
01. දානය
02. පරිත්‍යාගය
03. ශීලය
04. තපස
05. අහිංසාව
06. අක්‍රෝධය
07. සෘජුභාවය
08. මෘදුභාවය
09. ඉවසීම
10. අවිරෝධතාව

දස සක්විතිවත් මේවාය. (චක්කවත්තී සීහනාද සූත්‍රය – දීඝ නිකාය -26)

[1] “පුත්‍රය, නුඹ ධර්මයෙහි පිහිටා ධර්මයට සත්කාර කරමින් ධර්මය ගරු කරමින්, ධර්මය ප්‍රිය කරමින්, ධර්මය පුදමින්, ධර්මය වඳිමින්,
ධර්මය ද්වජය කොට ගෙන, ධර්ම ලකුණකොට,ධර්මය අධිපති කරගෙන ගෙන, සිය අඹුදරුවන්ට ධාර්මික රැකවරණය සහ ආරක්ෂාව පිළියෙළ කරව.

[2] හමුදා බල සෙනඟටද ධාර්මික රැකවරණය සහ ආරක්ෂාව පිළියෙළ කරව.

[3] රාජකීය ක්ෂත්‍රියයන්ටද ධාර්මික රැකවරණය සහ ආරක්ෂාව පිළියෙළ කරව.

[4] බ්‍රාහ්මණ ගෘහපතීන්ටද ධාර්මික රැකවරණය සහ ආරක්ෂාව පිළියෙළ කරව.

[5] නිගම ජනපද වාසීන්ද රැක ගැනීම කරව.

[6] මහණ බමුණන්ද රැක ගැනීම කරව.

[7] සිවුපාවුන් හා කුරුල්ලන්ද, ජීවිත දානයෙන් ආරක්ෂා කරව.

[8] සිය රටෙහි අධර්මක්‍රියා නොපවත්නා ලෙස කටයුතු කරව.

[9] සිය රටෙහි ජීවත්වන දුප්පතුන්ට ධනය දෙව.

[10] පුත්‍රය, සිය රටෙහි ආසා ආදි මදයෙන් හා පඤ්චකාම ගුණයෙන් වෙන්වූ ඉවසීමෙහි හා කරුණාවන්ත භාවයෙහි පිහිටියාවූ රාගාදිය දමනය කළ, සමනය කළ විනාශ කළ යම් මහණ බමුණු කෙනෙක් වෙත්ද, ඔවුන් කරා කලින්කල පැමිණ ‘ස්වාමීනි, කුශලය නම් කුමක්ද? අකුශලය නම් කුමක්ද? වරද නම් කුමක්ද? නිවරද නම් කුමක්ද? කුමක් සේවනය කළ යුතුද? කුමක් සේවනය නොකළ යුතුද? කුමක් කරනු ලබන්නාවූ මට බොහෝ කලක් අහිත පිණිස දුක් පිණිස වන්නේද? කුමක් හෝ කරනු ලබන්නාවූ මට හිත පිණිස, සැප පිණිස වන්නේදැ”යි ප්‍රශ්න කළ යුතුයි. මෙසේ උන්වහන්සේලාගෙන් අසා යමක් අකුසල්ද එය අත්හැරිය යුතුයි. යමක් කුසල්ද එය පිළිගෙන පැවතිය යුතුයි. පුත්‍රය, නිවැරදි සක්විතිවත් මේවායි’ කීය.

බුදුරදුන්ගේ සමයේ රාජාණ්ඩු මෙන්ම සමූහාණ්ඩු ද තිබුණි. එනම් එක බලවත් රජෙක් නොමැතිව රාජ්‍යයේ රාජකීය ක්ෂත්‍රීයයන් සාමූහිකව එක්රැස් වී සාකච්ඡා කොට තීන්දු තීරණ ගන්නා ආණ්ඩුක්‍රමයකි. මෙය වර්තමාන නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය හා තරමක් සමාන අතීත ආණ්ඩු ක්‍රමයකි. වජ්ජි ජනපදයේ ලිච්ඡවීන් සතුව තිබුණේ එබඳු සමූහාණ්ඩු ක්‍රමයකි. ඔවුන් අරඹයා බුදුන්වහන්සේ “සප්ත අපරිහාණිය ධර්ම” දේශනා කොට වදාළහ. මහා පරිනිබ්බාන සූත්‍රයේ ඒවා විස්තර වේ. සප්ත අපරිහාණිය ධර්ම සාමූහිකව, සමගිව, ප්‍රජාතන්ත්‍රවාදීව කටයුතු කිරීමේ ලා ඉතා වැදගත්ය.

01. රටේ පාලකයන් නිතර රැස්විය යුතුය.

02. රටේ පාලකයින් සමගිව රැස්වී සමගිව වැඩ කටයුතු කර සමගිව විසිර යා යුතුය. සමගිව රැස් වී කරන සාකච්ඡා වලින් බැසගන්නා නිගමන ක්‍රියාත්මක කිරීමට සමගිව පෙනී සිටිය යුතුය. ( අමාත්‍ය මණ්ඩලයක සාමූහික වගකීමේ නූතන සිද්ධාන්තය මින් නිරූපිතය. )

03. පවතින නීති නොකැඩීම. නීති දැඩිව පිළිපැදීම.

ශාසනයේ ආයුෂය විනය බවත්, රජයක ආයුෂය නීතිය බවත් බුදුරදුන් දක්වා ඇත. එහෙයින් දැහැමි පාලකයා සියල්ලටම ඉහළින් නීතියේ ආධිපත්‍යය රජ කරවිය යුතුවේ. නීතියේ අපක්ෂපාතිත්වය හා සාධාරණත්වය තහවුරු කරමින් එහි රැකවරණය සියල්ලන්ට සමව සැලැසිය යුතුය.

04. සමාජයේ සිටින වැඩිහිටියන්ට ගරු බුහුමන් කළ යුතුය. ඔවුන්ගේ උපදෙස් ගරු කළ යුතුය.

05. සමාජයේ සිටින කාන්තාවන්ට මනා ආරක්ෂාව හා රැකවරණය සැළසිය යුතුවේ. ඔවුනට බලහත්කාරකම් සිදුවීමට ඉඩ නොතැබිය යුතුය.

06. පැවිදි ශ්‍රමණ බ්‍රාහ්මණවරුන්ට සිවුපසයෙන් සහ අනෙකුත් අවශ්‍ය උපස්ථාන කළ යුතුය. ඔවුන්ගේ් ධර්මානුශාසනා සැළකිල්ලට ගත යුතුය.

07. පවතින පූජනීය ස්ථානයන්ට රැකවරණය සැළසිය යුතුය. නුවර ඇතුලතවූ හෝ නුවරින් පිටත්වූ හෝ පූජනීය ස්ථාන හා චෛත්‍යයෝ ඇද්ද ඒවාට පුද සත්කාර කළ යුතුය. ගරු බුහුමන් කළ යුතුය. ඒ චෛත්‍යයන් පුදත්ය කියාද, ඒ චෛත්‍යාදීන්ට පෙර දුන්නාවූද, පෙර කරණ ලද්දාවූද, ධාර්මික පූජා නොපිරිහෙලා ඉටු කළ යුතුය.

මහා පරිනිර්වාණ සූත්‍රය

මහාවංශයේ සඳහන් ලෙස, දේවානම්පියතිස්ස රජුට මිහිඳු මාහිමියන් දෙසූ පරිදී තම රාජ්‍යයේ වෙසෙන සියලු සත්ත්වයින්ට ආරක්ෂාව, රැකවරණය සැලසීමට පාලකයා බැඳී සිටින අතර එය ඔහුගේ පරම යුතුකම වෙයි. ”මහරජ සතා සීපාවාට හිංසා කිරීමට ඔබට අයිතියක් නොමැත. ඔබ මේ ලක් දෙරණ තලයේ හිමි කරු නොව භාරකරුය.’’ රාජ්‍ය බලය අයිතියක් නොව මහජනයා උදෙසා භාරයක් ලෙස දැරිය යුතු බව කියන නූතන Public Trust doctrine සංකල්පය, එදා මිහිඳු හිමි විසින් දේවානම්පියතිස්ස රජතුමාට දේශනා කෙරී තිබේ.

බුදුරදුන් දීඝ නිකායේ කූට දන්ත සූත්‍රයේ දේශනා කර ඇති අන්දමට රාජ්‍ය බලය හැඳින්වෙන්නේ ‘ඉන්ද්‍රඛීලය’ ලෙසිනි. මොනයම් හේතුවක් නිසා හෝ මේ ‘රාජ්‍ය බලය’ නම් ඉන්ද්‍රඛිලය බිඳ වැටුණහොත් ඒ හා සමඟම ඊට පහළ මට්ටමේ ඇති දස්සුඛීලය එනම් දාසයන්ගේ බලය නොඑසේ නම් සූත්‍ර අටුවාවේ කියැවෙන ලෙස චෞරයන්ගේ බලයෙහි නැඟීම ඇතිවේ. (දස්සු ඛීලයන්ති චෝර ඛීලං) අප රටේ පැවති තත්ත්වයට මෙය අදාළ කරගතහොත් රට තුළ ත්‍රස්තවාදී බලයේ නැඟීමෙන් පෙනී ගියේ ඉන්ද්‍රඛීලයේ, නොහොත් රාජ්‍ය බලයේ බිඳ වැටීම හා දස්සු ඛීලයේ නැඟීමයි.මේ සූත්‍රය අනුව යමින් දස්සුඛීලය මුලිනුපුටා දැමීමට නම් මූලික වශයෙන් සිදුකළ යුත්තේ මනා සුබසාධනයක් ඇති ආර්ථික ක්‍රමයක් ඇති කිරීම තුළින් දිළිඳුකම පිටුදැකීමයි. සමාජ සාධාරණත්වය ඇති කර සංවර්ධනයේ ප්‍රතිලාභ සියල්ලන් අතර බෙදී යාමට සලස්වා ධනය බෙදී යාම විධිමත් කොට සමාජ අසහනය පිටු දැකිය යුතු වෙයි.

පහත සූත්‍රයේ ඉගැන්වීම් මෙහිලා වැදගත්ය.

අඞ්ගුත්තරනිකායො

චතුක්ක නිපාතය

5. පඤ්චම පණ්ණාසකය

(26) 6. අභිඤ්ඤා වර්‍ගය

5. මහා කුල සූත්‍රය

’’මහණෙනි, යම්කිසි කුලයක් (ජන සමූහයක් ) භොගයන්ගෙන් මහත්‍වයට පැමිණියාහු බොහෝ කල් නොසිටින්නාහු වෙත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් හෝ එක්තරා එකකින් වේ.

’’කවර සතරකින්ද යත්, නැතිවූදේ නොසොයත්ද, දිරූයේ ප්‍රතිසංස්කරණය නොකරත්ද, ප්‍රමාණ රහිත ආහාර පාන ඇත්තේද, දුශ්ශීලවූ ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් හෝ අධිපතිභාවයෙහි තබත්ද, මහණෙනි, යම් ඒ කුලයෝ භොග යන්හි මහත්‍වයට පැමිණියාහුද, එය බොහෝ කල් නොපවතිත්ද, ඒ සියල්ල මේ සතර කාරණයෙන් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් හෝ විනාශ වේ.

’’මහණෙනි, යම් ඒ කුලයෝ (ජන සමූහ) භොගයන්ගෙන් මහත්‍වයට ගියාහුද, බොහෝ කල් පවතිත්ද, ඒ සියල්ල කරුණු සතරකින් හෝ මොවුන්ගෙන් එක් කරුණකින් වේ.

’’කවර සතරකින්ද යත්, නැතිවූදේ සොයයිද, දිරූ දෙය ප්‍රතිසංස්කරණය කරයිද, ප්‍රමාණවත් ආහාර භෝජන ඇත්තේද, සිල්වත් ධාර්මික ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් අධිපති බැව්හි තබයිද, මහණෙනි, යම් ඒ කුලයක් භොගයන්හි මහත්‍වයට පැමිණියාහුද, බොහෝ කල් පවතිත්. ඒ සියල්ල මේ සතරින් හෝ මොවුන්ගෙන් එක්තරා කරුණකින් හෝ වෙත්.’’

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.