නත්තලේ විරාමය

අද අපි කියන්න යන්නෙ 1914 අවුරුද්දෙ දෙසැම්බර් මාසයේ 25 වෙනිදා, ඒ කියන්නෙ නත්තල් දවසේ වුණු ඓතිහාසික සිදුවීමක් ගැනයි.

මේ කාලය වෙනකොට පළවෙනි ලෝක යුද්ධය ආරම්භ වෙලයි තිබුණෙ. පළමු ලෝක යුද්ධයේ මුල් කාලයේදී ජර්මානු හමුදාව බෙල්ජියම හරහා ප්‍රංශය ආක්‍රමණය කිරීම ආරම්භ කළා. මේත් එක්කම ප්‍රංශ හමුදාවට සහාය වෙන්න, බ්‍රිතාන්‍ය හමුදාව ආවා. ඊට පස්සෙ මේ පාර්ශවයන් අතරේ දරුණු විදිහට සටන් ඇවිලෙන්න ගන්නවා. 

එක් පාර්ශවයක් දිනාගෙන එනකොට අනිත් පාර්ශවයට පහු බහින්න සිද්ධ වුණා. පහු බැහැපු පාර්ශවය දිනාගෙන එනකොට, අනිත් පාර්ශවය පහු බහිනවා. මේ නිසා කාලයෙන් කාලයට මිත්‍ර හමුදා සහ ජර්මානු හමුදාවල් අතරේ තිබුණු දේශ සීමාවන් වෙනස් වෙනවා.

ගොඩක් වෙලාවට දේශ සීමා විදිහට නිර්මාණය වුණේ විශාල තැනිතලා ආශ්‍රිත ප්‍රදේශයි. මේ ප්‍රදේශවල දීර්ඝ කාලයක් තිස්සෙ දෙපැත්තෙන්ම වෙඩි හුවමාරු වුණත්, කිසිම පාර්ශවයක් තැනිතලා හරහා අනිත් පාර්ශවය ඉන්න ප්‍රදේශයට ඇතුළු වෙන්න උත්සාහ කළේ නෑ. ඒ, තැනිතලා හරහා ගමන් කරනකොට පහසුවෙන් ඉලක්කගත වෙන්න පුලුවන් නිසයි. ඉතින් මේ තැනිතලා, No Mans Land එකක් බවට පත් වුණා. ඒ කියන්නෙ කිසිම කෙනෙක්ට අයිති නැති භූමියක්. මේ භූමිය හරහා ගමන් කළොත් කෙලින්ම ප්‍රහාර එල්ල වෙනවා.

Trench Warfare ලක්ෂණය, පළවෙනි ලෝක යුද්ධ කාලයේ කරලියට ආපු එකක්. ඒ කාලයේ බොහෝමයක් හමුදා, තමන්ගේ දේශසීමා තහවුරු කරගන්න, කිලෝ මීටර් ගණන් යනකන් යුධ අගල් කැපුවා. මේ කාලයේ ස්ථාපනය කරලා තිබුණු බටහිර පෙරමුණෙත් (Western Front), මේ ලක්ෂණම දකින්න තිබුණා. ජර්මානු සහ මිත්‍ර හමුදා යුධ අගල් කපලා තමන්ගේ මායිම තර කරගෙන තමයි හිටියෙ.

1914 දෙසැම්බර් මාසය ලබනවත් එක්කම, ටිකෙන් ටික සාමයේ, සතුටේ සහ සෞභාග්‍යයේ පණිවිඩය කියවෙන නත්තල් කාලය උදා වෙන්න ගන්නවා. ඒ නිසා ලෝක යුද්ධය සඳහා නායකත්වය දෙන සියලුම රටවල නායකයින්ගෙන්, ඒ කාලයේ හිටපු පාප් වහන්සේ විශේෂ ඉල්ලීමක් කළා. ඒ, නත්තල් කාලයේ සටන් විරාමයකට යන්න කියලයි. ඒත්, ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප වුණා.

නත්තල් සමයෙත් යුද්ධය දරුණුවටම ඇවිලුණත්, නත්තල් දවස උදාවෙනකොටම ලෝකවාසී සියලුම ජනතාව පුදුම කරමින් සුවිශේෂී සිද්ධියක් සිදු වුණා. ඒ තමයි බටහිර පෙරමුණට අයිති බොහෝ ප්‍රදේශවල දෙපාර්ශවය අතරේ වුණු වෙඩි හුවමාරුව නතර වුණු එක. ඒ විතරක් නෙවේ, සමහරක් ප්‍රදේශවල මිත්‍ර හමුදාවන් තමන්ගේ යුධ අගලේ ඉදලා ජර්මානුවන්ගේ යුධ අගලටත්, සමහරක් ජර්මානු හමුදා තමන්ගේ යුධ අගලේ ඉදලා මිත්‍ර හමුදාවල යුධ අගලටත් අවි ආයුධ නැතුව, නිරායුධව ගමන් කළා. 

ඒ වගේම තවත් සමහරක් ප්‍රදේශවල පාර්ශව දෙකේම හමුදාවන් No Mans Land එකේදි එකිනෙකාව මුණ ගැහුණා.

මේ විදිහට බටහිර පෙරමුණේ හිටපු බ්‍රිතාන්‍ය සහ ජර්මානු හමුදා සෙබළුන් 100,000ක් විතර තම තමන්ගේ යුධ අගල්වල ඉදලා, තැනිතලාවට ඇවිත් “නිළ නොවන තාවකාලික සටන් විරාමයක් ඇති” කළා. මේ සටන් විරාමයේ පළවෙනි වෙඩි මුරය එල්ල කළේ බෙල්ජියමේ යෙප්‍රෙස් ප්‍රදේශයේ සහ ශාන්ත ඉවෝන් ප්‍රදේශයේ හිටපු බ්‍රිතාන්‍ය සහ ජර්මානු හමුදාවන්.  

ජර්මානුවන් එයාලගෙ අගල්වල සහ නත්තල් ගස් මත ඉටිපන්දම් එල්ලලා, බ්‍රිතාන්‍යන්ට ඇහෙන්න නත්තල් කැරොල් ගායනා කරනවා. බ්‍රිතාන්‍යයන් ඊට ප්‍රතිචාර විදිහට, එයාලගෙම කැරොල් ගීත ගායනා කරනවා. ඊට පස්සෙ දෙපාර්ශවයන් අතරේ පොත්පත්, පුවත්පත්, ආහාර ජාති (චොකොලට්, හැම්, බිස්කට්), දුම්කොළ, සුරුට්ටු, කබා, තොප්පි, මත් පැන්, දුම් පයිප්ප සහ පුංචි පුංචි තෑගි සහ සිහිවටන හුවමාරු වෙන්න ගන්නවා. සිහිවටන විදිහට දෙන්න දෙයක් නැත්නම්, තමන්ගේ කබායේ තියෙන බොත්තම් දෙක තුනක් හරි ගලවලා, තමන්ගේ ප්‍රතිවාදී සෙබළුන්ට දෙන්න මේ අය කටයුතු කරනවා.

මේ වෙනකොට බටහිර පෙරමුණ හරිම සන්සුන්. කිසිම කාල තුවක්කුවක හෝ වෙඩිල්ලක ශබ්දයක් ඇහෙන්නෙ නෑ. දෙපාර්ශවයේම නත්තල් සුබ පැතුම්වලින් සහ කැරොල් ගායනාවලින් මුළු බටහිර ආරක්ෂක වළල්ලම පිරිලා ඉතිරෙනවා.

මේ වෙනුවෙන් දෙපාර්ශවයේම ඉන්න සාමාන්‍ය සෙබළාගෙ ඉදලා උසස්ම නිළධාරියා වෙනකන් ඉන්න හැම කෙනෙක්ම, තමන්ගේ නිළයන් ගැන තැකීමක් නොකර, හැම කෙනෙක්ගෙම කරට අතදාගෙන, ආගිය තොරතුරු සහ ප්‍රතිවාදී සෙබළුන්ව අතට අත දීලා දැන හදුනාගනිමින් ඉදලා තියෙනවා.

ඒ වගේම දෙපාර්ශවයේම සෙබළුන් අතින් මිය ගිය හමුදා සෙබළුන්ව, ගෞරවණීය විදිහට භූමදානය කිරීමේ කෙටි උත්සව එහෙමත් පැවැත්වෙන අතරේ තම තමන්ගේ භාරයේ හිටි ප්‍රතිවාදී සෙබළුන්, එහෙමත් නැත්නම් ප්‍රාණ ඇපකරුවන්ව මුදා හැරලා තියෙනවා.

බෙල්ජියම් සෙබළුන්ට, ජර්මානුවන් අත්පත් කර ගත්ත බෙල්ජියමේ ප්‍රදේශවල ඉන්න තමන්ගේ පවුල්වල අයට ලියුම් යවන්න තාවකාලික අවසරයක් ලැබෙනවා.

මේ දවසේ වුණු වැඩියෙන්ම කැපී පෙනුණු සිදුවීම වුණේ ජර්මානු සහ බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් අතරේ පවත්වපු පා පන්දු තරඟ මාලාවයි. මේ අවස්ථාවට මුල පුරලා තියෙන්නෙ, තමන්ගේ යුධ අගලෙන් පා පන්දුවක් උස්සන් ආපු බ්‍රිතාන්‍ය ජාතික සෙබළෙක්. යුද්ධයෙන් හෙම්බත් වෙලා හිටපු හැම සෙබළෙක්ටම, මේ තරඟාවලිය විශාල ජීවයක් සහ සතුටක් ලබා දුන්නා.

ඉතින් 1914 දෙසැම්බර් මාසයේ ඇති වුණු මේ නිළ නොලත් නත්තල් සටන් විරාමය, සාමය අගයන ගොඩක් මිනිස්සුන්ගෙ ප්‍රශංසාවට හේතු වුණා. ලෝක මානව ඉතිහාසයේ සුවිශේෂිතම සාමයේ සළකුණක් විදිහටත් මේ සිදුවීම හඳුන්වන්න පුලුවන්.

සමහරක් ප්‍රදේශවල මේ විරාමය නත්තල් දවසට විතරක් සීමා වුණත්, තවත් සමහරක් ප්‍රදේශවල මේ විරාමය, උදාවීමට නියමිත 1915 නව වර්ෂයේ පළවෙනි දවස වෙනකන්ම තිබුණා. බ්‍රිතාන්‍ය සහ ජර්මානු හමුදා අතරේ මේ විදිහට සටන් විරාමයක් පැවතුණත්, ප්‍රංශ හමුදා සහ ජර්මානු හමුදා අතරේ දිගින් දිගටම යුද්ධය ගිහින් තියෙනවා.

ඒ කාලයේ ජර්මානු හමුදාවේ 16 වෙනි බාර්වේරියන් රෙජිමේන්තුවේ සේවය කරපු තරුණ ඇඩොල්ෆ් හිට්ලර්, මේ නත්තල් සටන් විරාමය වර්ජනය කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. බටහිර පෙරමුණ එහෙම වෙනකොට, නැගෙනහිර පෙරමුණේ හිටපු රුසියානු සහ ඔස්ට්‍රියා-හංගේරියා සෙබළුත් යුධ අගල්වලින් එළියට ඇවිත්, එකට එකතු වෙලා සාමයෙන් නත්තල සමරනවා.

මේ සිදුවීම වෙලා හරියටම අවුරුද්දකට පස්සෙ, ඒ කියන්නෙ 1915 අවුරුද්දෙ දෙසැම්බර් මාසයේදිත් දෙපාර්ශවයේම ඉන්න සෙබළුන් මේ විදිහටම සටන් විරාමයක් ඇති කරලා, එකට එකතු වෙලා නත්තල සමරන්න සැලසුම් කරනවා. ඒත් දෙපාර්ශවයේම ඉහළින් ආපු දැඩි නියෝග නිසා ඒක ක්‍රියාත්මක කරන්නෙ නෑ. හැබැයි ඉහළ නිළධාරීන්ට හොරෙන්, තහනම නොතකා, දෙපාර්ශවයේම අය බොහොම සුළුවෙන් මේ සැමරීම කළා කියලා වාර්තා වෙනවා. 

1916 සහ 1917 අවුරුදුවල නත්තල් සටන් විරාම සාකච්ඡා අසාර්ථක වෙලා තියෙනවා. 1918 අවුරුද්දේ නත්තලට මාසයක් තිබිලා පළමු ලෝක යුද්ධය අවසන් වෙනවා.


උපුටා ගැනීම් : 
* ඡායාරූපය 01 : www.edu.glogster.com
* ඡායාරූපය 02 : www.britannica.com
* ඡායාරූපය 03 : www.blogs.kent.ac.uk
* ඡායාරූපය 04 : www.warandmedia.org
* ඡායාරූපය 05 : www.expressandstar.com
* වීඩියෝව : Jemyao | YouTube Channel

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.