Titanic? Dunkirk? මොකක්ද සම්බන්ධය?

December 14, 2019

Titanic සහ Dunkirk කියන්නේ ලෝකයේ ගොඩාක් චිත්‍රපට රසිකයන්ගේ ආදරය දිනා ගත්ත චිත්‍රපට දෙකක්. අද ලිපියෙන් අපි හෙළිකරන්න බලාපොරොත්තු වෙන්නේ මේ චිත්‍රපට දෙක අතරේ ඉලක්ක වෙන සිදුවීම් දෙකේ එක්තරා සම්බන්ධයක් ගැනයි.

අපි මුලින්ම පළවෙනි පින්තූරය බලමු. පළවෙනි පින්තූරයේ ඉන්නෙ Titanic චිත්‍රපටයේ “චාර්ල්ස් ලයිටෝලර්”ගේ චරිතයයි. චාර්ල්ස් ලයිටෝලර් කියන්නේ Titanic නෞකාවේ සේවය කරපු දෙවෙනි නිළධාරීවරයයි (2nd Officer).

1912 අවුරුද්දේ අප්‍රේල් මාසයේ 14 වෙනිදා අයිස් කන්දක වැදිලා, මුහුද මැද්දෙ ගිලෙමින් තිබුණු Titanic නෞකාවෙන් මගීන් පිට කරන මෙහෙයුමේදී, නෞකාවේ වම් පැත්තෙ හිටපු මගීන්ව සුරක්ෂිතව බෝට්ටුවලට දැමීම චාර්ල්ස්ට පැවරුණු රාජකාරියයි. තමන්ට පැවරුණු රාජකාරිය අකුරටම ඉටු කරන්න චාර්ල්ස් සමත් වුණා. ඒ වගේම නෞකාවේ හිටපු උසස් නිළධාරීවරයෙක් වුණත් නෞකාව සම්පූර්ණයෙන්ම මුහුදුබත් වෙනකන්, අනිත් මගීන් එක්ක චාර්ල්ස් නෞකාවේම රැදී ඉදලා තියෙනවා.

දැන් අපි එමු දෙවෙනි ඡායාරූපයට. දෙවෙනි ඡායාරූපයේ ඉන්නෙ Dunkirk චිත්‍රපටයේ ඩොව්සන් මහත්මයයි (Mr.Dawson).

1940 අවුරුද්දේ මැයි, ජූනි මාසවල, ඒ කියන්නෙ දෙවන ලෝක යුද්ධ සමයේ ප්‍රංශයේ Dunkirk ප්‍රදේශයේ බ්‍රිතාන්‍ය, ප්‍රංශය වගේ ගොඩාක් මිත්‍ර හමුදාවල සෙබළුන් යන එනමං නැතුව කොටුවෙලා හිටියා. ජර්මානුවන් විසින් මුහුදට සහ මුහුදු වෙරළට කාල තුවක්කු සහ මෝටාර් ප්‍රහාර එල්ල කරපු නිසා, බ්‍රිතාන්‍ය නාවික හමුදාවෙන් Dunkirkවල කොටුවෙලා හිටපු සෙබළුන්ව බේරා ගැනීමේ මෙහෙයුම තාවකාලිකව නතර කළා.

එහෙම වෙලාවක, ඒ සොල්දාදුවන් බේර ගන්න විශ්‍රාම සුවයෙන් හිටපු ඩොව්සන් මහත්මයා ඉදිරිපත් වෙනවා. තමන්ගේ බෝට්ටුවත් (Sundowner) අරගෙන, තමන්ගේ පුතා එක්ක බ්‍රිතාන්‍යයේ ඉදලා ප්‍රංශයේ Dunkirk මුහුදු සීමාවට ඇතුළු වෙන ඩොව්සන් මහත්මයා, තමන්ට පුලුවන් විදිහට සෙබළුන්ව බේරා ගන්නවා. ඒ, “යන්න එපා” කියන බ්‍රිතාන්‍යයේ නාවික හමුදාවේ අණ ගැන කිසිම තැකීමක් නොකරයි. ඒ වගේම ජර්මානු කාල තුවක්කු ප්‍රහාර සහ ගුවන් ප්‍රහාර මැදින්.

මේ නිසා Dunkirk මෙහෙයුමේදී ප්‍රංශයට ගියපු පළවෙනි සිවිල් බෝට්ටුව පැදවීමේ ගෞරවය මේ මහත්මයට හිමි වෙනවා. බෝට්ටුවේ මගීන් 21කට විතරක් ඉඩකඩ තිබුණත්, ඩොව්සන් මහත්මයා Dunkirkවල ඉදලා බ්‍රිතාන්‍යයට එන්නෙ සෙබළුන් 130කට ආසන්න ප්‍රමාණයක් අරගෙනයි.

දැන් තමයි හොදම හරිය… මේ චිත්‍රපටයේ ඩොව්සන් මහත්මයා කියන අනුවර්ත නාමයෙන් පෙනී ඉන්න චරිතය තමයි, Titanic නෞකාවේ හිටපු චාර්ල්ස් ලයිටෝලර් කියන දෙවෙනි නිළධාරීවරයා.

අමතර යමක් කියනවා නම් චාර්ල්ස් ලයිටෝලර්, පළවන ලෝක යුද්ධ සමයේ බ්‍රිතාන්‍ය නාවික හමුදාවේ ඉහළ නිළධාරීවරයෙක් විදිහට යුධ නෞකා ගණනාවකම සේවය කරලා තියෙනවා. ඒ වගේම බ්‍රිතාන්‍ය සබ්මැරීනයක අණදෙන නිළධාරීවරයෙක් විදිහටත් සේවය කරලා තියෙනවා.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූප : www.sosyalforum.org , www.onthisday.com , www.amazon.com , www.oscarfavorite.com
* ඡායාරූපය 01 : www.sosyalforum.org
* වීඩියෝව 01 : Stay Classy | YouTube Channel
* ඡායාරූපය 02 : www.imdb.com
* වීඩියෝව 02 : KMs Edits | YouTube Channel
* ඡායාරූපය 03 : www.encyclopedia-titanica.org
* ඡායාරූපය 04 : www.jvcullan.blogspot.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.