නිරීක්ෂකයන්ගේ බලාපොරොත්තු කඩ කළ WT1190F

2015 ඔක්තෝබර් 3 වනදා ඇරිසෝනාවේ පිහිටි කැටලිනා ආකාශ වස්තු නිරීක්ෂණාගාරයේ සේවයේ නියුතු විද්‍යාඥයෝ පෘථිවිය දෙසට ඇදී එමින් ඇති හඳුනා නොගත් ආකාශ වස්තුවක් (UFO) නිරීක්ෂණය කළහ. මෙම ආකාශ වස්තුව මීට පෙරද 2009 හා 2013 වසරවලදී දුරේක්ෂවලට හසුවී තිබුණු අතර ඒ ඒ අවස්ථාවන්හිදී පිළිවෙලින් 9U01FF6, UDA34A3 සහ UW8551D ලෙස නම් කෙරී තිබිණි.

නමුත් ඒ අවස්ථාවලදී පෘථිවිය වටා දුරස්ථ හා ආරක්ෂිත කක්ෂයක ගමන් කරමින් සිටි මේ ආගන්තුකයා විද්‍යාඥයන්ගේ එතරම් අවධානයකට පාත්‍ර වූයේ නැත. UW8551D යනු කුමක්දැයි සොයාබැලීම ආරම්භ වූයේ එය තම ගමන් මාර්ගය වෙනස් කොට පෘථිවිය දෙසට ඇදී ඒමට පටන් ගැනීමත් සමග ය.

අත්භූත ආකාශ වස්තුව නැවත WT1190F ලෙස නම් කෙරිණි. (මෙය කඩා වැටෙමින් ඇති ආකාශ වස්තුව කුමක්දැයි හරිහැටි හඳුනාගත නොහැකි නිසා WTF යන අර්ථයෙන් යොදන ලද කේත නාමයකි.) වස්තුවේ දිග හා පළල වැනි මාන ගණනය කිරීම ඇරඹුණු අතර එය සාමාන්‍ය ග්‍රහකයක් මෙන් නොව දීප්තිමත් මතුපිට පෘෂ්ඨයකින් යුක්ත වන බව සොයාගන්නා ලදී.

පෘථිවිය දෙසට වේගයෙන් කඩා වැටෙමින් තිබෙන්නේ ග්‍රහකයක් හෝ වෙනත් එවැනි ස්වභාවික වස්තුවක් නොවන බව විද්‍යාඥයින් මුල් වරට තහවුරු කර ගනු ලැබුවේ එහි මාන පිළිබඳව දත්ත විශ්ලේෂණය කිරීමෙන් පසු ය. මීටර් දෙකක හෙවත් අඩි හතක පමණ දිගකින් යුතු WT1190F හි හැඩය පරිපූර්ණ සිලින්ඩරාකාර ය. එනම් මෙය කෘතීම නිෂ්පාදනයක් මිස ස්වභාවික වස්තුවක් නොවේ.

මෙම තොරතුරත් සමග විවිධ පුද්ගලයින් විසින් මෙම අත්භූත වස්තුව පිළිබඳව ආකර්ෂණීය (එහෙත් සිදුවීමේ සම්භාවිතාව ඉතාම අඩු) අදහස් දැක්වීමට පටන් ගත්හ. සමහරුන් මෙය පිටසක්වළින් පෘථිවිය වෙත පැමිණෙමින් ඇති යානාවක් ලෙස අර්ථ දැක්වූ අතර තවත් සමහරුන් මෙය කාල තරණය කිරීමකින් අනාගතය හරහා වර්තමානය වෙත පැමිණෙමින් සිටින යමක් ලෙස අර්ථ දැක්වූහ.

විද්‍යාඥයන් විශ්වාස කළ පරිදි මෙය මිනිසා විසින්ම අභ්‍යවකාශගත කරන ලද යම්කිසි අභ්‍යවකාශ යානාවක සුන්බුන් කැබැල්ලකි. වසර ගණනාවක් තිස්සේ පෘථිවිය වටා පරිභ්‍රමණය වෙමින් තිබූ මෙම සුන්බුන් කැබැල්ල දැන් ගුරුත්වාකර්ෂණ ක්ෂේත්‍ර වෙනස්වීමක් හෝ වෙනත් සංසිද්ධියක් නිසා තම කක්ෂයෙන් බැහැර වී පෘථිවි පෘෂ්ඨය වෙතට කඩා වැටීම අරඹා තිබේ.

60 දශකයේදී නාසා ආයතනය විසින් සිදු කළ චන්ද්‍ර මෙහෙයුම් හෙවත් ඇපලෝ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වූයේ රොකට්ටුවල ආධාරයෙනි. ඇපලෝ 1 සිට 17 දක්වා මිනිසුන් රහිත හා සහිත චන්ද්‍රිකා Little Joe II, Saturn I, Saturn IB සහ Saturn V රොකට්ටු මගින් අභ්‍යවකාශගත කිරීම සිදු විය.

මෙවැනි රොකට්ටු අභ්‍යවකාශගත වීමේ විවිධ පියවරවලදී යානය උපරිම වශයෙන් සැහැල්ලු කරගැනීම සඳහා තමන්ගේ තවදුරටත් ප්‍රයෝජනවත් නොවන කොටස් ගලවා ඉවත් කිරීම සිදු කරයි. රොකට් බූස්ටර, හිස් ඉන්ධන ටැංකි ආදී වූ මෙවැනි කොටස් ඉහළ අභ්‍යවකාශයේදී රොකට්ටුවෙන් මුදා හැරෙන්නේ ආරක්ෂා සහිතව සාගරයට වැටෙන ලෙසට ක්‍රමලේඛගත කර ය. නමුත් බොහෝවිට මෙවැනි රොකට්ටු කොටස් පෘථිවි වායුගෝලයේදී ගිනිගෙන විනාශ වන අතර තවත් සමහර කොටස් පෘථිවියට නොවැටී ඒ වටා කක්ෂගතව පරිභ්‍රමණය වෙයි.


෴Apollo 17 අභ්‍යවකාශගත කළ Saturn V රොකට්ටුව෴

ශ්‍රී ලාංකිකයන් වන අපට වෙනත් ආකාරයකින් ද මේ ආකාශ වස්තු කඩා වැටීම ඉතා වැදගත් විය. මන්දයත්, මේ ආකාශ වස්තුව කඩා වැටෙන ස්ථානය ලෙස හදුනාගෙන තිබුණේ ශ්‍රී ලංකා මුහුදු සීමාව ඇතුළත වන බැවිනි.


Source : Daily Mail

සිදු කළ ගණනය කිරීම් අනුව 2015 නොවැම්බර් මස 13 වන සිකුරාදා උදෑසන 11.50ට පමණ ගාල්ලට කිලෝමීටර 65 – 100 ඈතින් ඇති මුහුදට මෙම වස්තුව කඩා වැටෙන බවත්, මෙය ප්‍රමාණයෙන් කුඩා වස්තුවක් වන බැවින් කඩා වැටීම හේතුවෙන් ගොඩබිමට කිසිදු බලපෑමක් නොවන බවත්, ඉහළ වායුගෝලය හරහා පැමිණීමේදී මෙය සම්පූර්ණයෙන්ම හෝ ඉන් වැඩි ප්‍රමාණයක් ගිනිගෙන විනාශ වී යන බවත්, මෙම කඩා වැටීම සිදුවන අවස්ථාවේදී ඒ අවට මුහුදේ ගැවසීම ඉතා අනතුරුදායක බවත් විවිධ මාධ්‍ය ඔස්සේද දැනුම් දුනි.

වස්තුව කඩා වැටෙන ස්ථානය තහවුරු කරගත් වහාම නාසා හා ඊසා අභ්‍යවකාශ ඒජන්සි විසින් අනතුරු ඇඟවීම් නිකුත් කළ අතර 2015.11.12 දින ශ්‍රී ලංකා ධීවර අමාත්‍යාංශය ද 2015.11.13 වනදා ගාල්ල අවට මුහුදේ මසුන් මැරීමට යාමෙන් වළකින්නැයි අනතුරු ඇඟවීමට පියවර ගත්තේය.

එනමුත්…

බොහෝදෙනා උනන්දුවෙන් බලා සිටි WT1190F මුහුදට කඩා වැටීම අවසානයේදී සිදු වූයේ නැත. විද්‍යාඥයන් ගණනය කළ දිශානතියෙන්ම, ගණනය කළ වේලාවට ආසන්න වේලාවකදීම පෘථිවි වායුගෝලයට ඇතුළු වූ මේ ආකාශ වස්තුව ඉහළදීම ගිනිගෙන විනාශ වී ගියේය.

මේ අතිශය දුර්ලභ අවස්ථාව දැක ගැනීමට බොහෝදෙනා ශ්‍රී ලංකාවේ දකුණු දිග වෙරළ තීරයට එක්රැස් වී සිටි අතර අම්බලන්ගොඩ, තංගල්ල යන නගරයන්හිත්, රුහුණු විශ්වවිද්‍යාලයේත් නිරීක්ෂණ කඳවුරු පිහිටුවා තිබුණි. ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ සහ ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරයේ නිළධාරීහු දේශීය නිරීක්ෂකයින් ලෙස මේවාට සහභාගී වී සිටියහ.

එමෙන්ම විදෙස් නිරීක්ෂකයන් ලෙස ඇමෙරිකානු අභ්‍යවකාශ ඒ්ජන්සිය (NASA) සහ යුරෝපීය අභ්‍යවකාශ ඒජන්සිය (ESA) ප්‍රධාන කොටගත් කණ්ඩායම් දෙකක්ද ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වූ අතර ඔවුන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් විශේෂ ජෙට් යානයකින් අඩි 40,000ක් පමණ ඉහළ අහසේ රැඳී සිටියහ.


෴විදෙස් නිරීක්ෂණ කණ්ඩායම ජෙට් යානය ඇතුළත෴ | Credits – http://impact.seti.org


෴විදෙස් නිරීක්ෂණ කණ්ඩායම ජෙට් යානය ඇතුළත෴ | Credits – http://impact.seti.org

ගාල්ල, මාතර හා හම්බන්තොට දිස්ත්‍රික්කවල කිහිපදෙනෙකු මධ්‍යහ්න දොළහට පමණ විශාල පිපිරීම් ශබ්දයක් ඇසුණු බව ට්විටර් අඩවිය හරහා වාර්තා කර තිබිණි. එය බොහෝවිට WT1190F කඩා වැටුණු අධික වේගය නිසා ඇති වූ උත්ස්වනික ගිගිරුමක් (sonic boom) හෝ එය පිපිරී ගිය ශබ්දය විය හැකිය.

ඉහළ අහසේ රැඳී සිටි විදෙස් නිරීක්ෂණ කණ්ඩායම ලබාගත් ආකාශ වස්තුවේ ඡායාරූප, එම අවස්ථාවේදී සජීවීව විකාශය වෙමින් පැවති Slooh මගින් ඉදිරිපත් කරන ලදී. ඒ අනුව කඩා වැටීම සම්බන්ධයෙන් විද්‍යාඥයින් විසින් කළ සියළුම ගණනය කිරීම් සාර්ථක බවත්, WT1190F ඉහළ අහසේදී ගිනිගෙන විනාශ වූ බවත් සනාථ විය.

තවත් තාරකා විද්‍යාව සහ අභ්‍යාවකාශ විද්‍යාව සම්බන්ධ ලිපි සඳහා : මණ්දාකිනියෙන් ඔබ්බට – www.beyond-the-galaxy.blogspot.com

2013 වසරේ සිට "මන්දාකිණියෙන් ඔබ්බට" බ්ලොග් අඩවිය ලියූ අශාන් ද කොස්තා මහතා, සම්මානිත තාරකා හා අභ්‍යාවකාශ විද්‍යා බ්ලොග් රචකයෙකි. වෘත්තියෙන් මෘදුකාංග ඉංජිනේරුවරයෙක් වන ඔහු චක්‍රායුධ සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායන ශිල්පියා සහ පද රචකයා වශයෙන්ද කටයුතු කරයි.