ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – පළමු කොටස
ශ්‍රී ලංකාවේ සාහිත්‍ය මූලාශ්‍ර ඔස්සේ හමුවෙන ජනප්‍රවාද, ජනස්‍රැති සහ වංශ කතා වලට අනුව බුදුරජාණන් වහන්සේ තුන්වරක් ශ්‍රී ලංකාවට වැඩම කරලා තියෙනවා. පළවෙනි වතාවේ බුද්ධත්වයෙන් පළවෙනි වර්ෂයේත්, දෙවෙනි වතාවේ බුද්ධත්වයෙන් 5 වන වර්ෂයේත්, තුන්වෙනි වතාවේ බුද්ධත්වයෙන් 8 වන වර්ෂයේත් අපේ රටේ පිළිවෙලින් මහියංගනය, නාගදීපය, කැළණිය ඇතුළු ස්ථාන 13කට වැඩම කරලා, එම ප්‍රදේශවල හිටපු රජවරු, නායකයන් සහ ජන කොට්ඨාස සැදැහැවත් බෞද්ධයන් පිරිසක් බවට පත් කරනවා.
ලංකාවේ ගිරිහඩු සෑය, මහියංගන ස්තූපය, නාගදීප ස්තූපය, කැළණි චෛත්‍යය, කිත්සිරිමෙවන් ස්තූපය වැනි ස්තූප ගණනාවක්ම ජීවමාන බුදුරදුන්ගේ කාලයේ නිර්මාණය වුණා කියලා සාහිත්‍ය මූලාශ්‍ර වල සඳහන් වෙනවා. නමුත් උන්වහන්සේගේ අවසන් ලංකාගමනයෙන් පස්සෙ ලංකාවේ බුදු දහම කෙමෙන් කෙමෙන් තුරන් වෙලා ගියා. මීට බලපෑ ප්‍රධානතම සාධකය නම් සංඝ සමාජයක් නොසිටීමයි. උන්වහන්සේ අපේ රටට තුන්වතාවක් වැඩම කළාට සංඝ සමාජයක් නිර්මාණය කළේ නෑ.
ධර්මය ව්‍යාප්ත කරන්න සංඝ සමාජය අත්‍යවශ්‍යයි. ගිහියන් විදිහට අපි ධර්මය ඇසුවත්, ඇසූ ධර්මය වෙනත් අයට කියා දෙන්නේ නෑ. ඒත් හාමුදුරුවරු කියන්නේ මේ අසිරිමත් ධර්මය ලෝකයාට දේශනා කරන්නම කැප වුණු පිරිසක්. උන්වහන්සේලා සියලු ගිහි සැප අතහැර දාලා, අනගාරිකත්වයට ඇතුළත් වුණේ අන්න ඒ නිසයි. ධර්මය කියා දෙන්න භික්ෂූන් නොසිටි නිසා, ධර්මය අපේ රට තුළ ව්‍යාප්ත වුණේ නෑ. බුද්ධ ධර්මය පිළිබද දන්නා අය, තම තමන්ගේ සිත් තුළම, එය තබා ගෙන හිටියා. අපේ රටේ සංඝ සමාජය ඇති වෙන්නේ මහින්දාගමනයෙන් පසුවයි.
* ශාසනය නොමැති කල භික්ෂුව නොමැත. භික්ෂුව නොමැති කල ශාසනය නොමැත *
මහින්දාගමනය යනු 3 වන ධර්ම සංගායනාවේ ප්‍රතිඵලයක්. බුද්ධ පරිණිර්වානයෙන් වසර 218කට පස්සේ, පැළලුප් නුවර අශෝකාරාමයේදී, මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන්, ධර්මාශෝක රජුගේ අනුග්‍රහයෙන්, මහ තෙරුන් 1000කගේ සහභාගීත්වයෙන් මාස 9ක් පුරාවට 3 වන ධර්ම සංගායනාව පැවැත්තුවා. මේ සදහා බලපාපු ප්‍රධානතම සහ ආසන්නතම හේතුව තමයි ලාභ ප්‍රයෝජන ලබා ගැනීමේ පටු පරමාර්ථයෙන් බොහෝ පිරිසක් ශාසනයට ඇතුළත් වෙලා, ශාසනය අපිරිසිදු කරමින් සිටීම.
ධර්ම සංගායනාවේ අවසානයත් එක්කම එවැනි පිරිස් 60 000 නැවත ගිහිබවට පත් කළා. ඊට අමතරව මේ සංගායනාවේදී තවත් වටිනා කියන පියවරක් ගන්නවා. ඒ තමයි නව රට සසුන්ගත කිරීමේ ව්‍යාපෘතිය. ඒ අනුව රටවල් 9කට මේ සද්ධර්මය, ධර්මදූතකයන් වහන්සේලා ලවා ව්‍යාප්ත කිරීමට තීරණය කරනවා (පසු කාලවල්වල සමස්ථ ඉන්දියාවෙන්ම බුදු දහම තුරන් වූවත්, සමස්ථ ලෝකයෙන්ම බුදු දහම තුරන් වූයේ නැත්තේ මේ නිසා).
ඒ අනුව පහළින් තියෙන රටවල් 9ට බුදු දහම ව්‍යාප්ත කරනවා.
* මහා රට්ඨ (නූතන ඉන්දියාව – මධ්‍යම)
* අපරන්ත දේශය (නූතන ඉන්දියාව – ගුජරාටය)
* වනවාසි රට (නූතන ඉන්දියාව – තමිල්නාඩු)
* මහීස මණ්ඩල (නූතන ඉන්දියාව – මයිසූර්)
* කාශ්මීර් (නූතන පාකිස්ථානය සහ ඇෆ්ගනිස්ථානය)
* යෝනක රට්ඨ (පාකිස්ථානය – පංජාබ්)
* හිමවන්ත ප්‍රදේශය (නේපාලය සහ හිමාලය ආශ්රිත)
* ස්වර්ණභූමි (බුරුමය)
* තම්බපණ්ණි (ශ්‍රී ලංකාව)
මේ අතරින් ශ්‍රී ලංකාවේ බුදු දහමේ ව්‍යාප්තිය කියන්නේ අමතක කරන්න බැරි මාතෘකාවක්. අතීතයේ වගේම වර්තමානයෙත් ථේරවාදී බුදු සසුනේ කේන්ද්‍රස්ථානය ලෙස විරුධාවලිය ලබා ඇති ශ්‍රී ලංකාවේ බුදු දහම හරියාකාරව ස්ථාපිත වෙන්නේ ක්‍රි.පූ 250දී. ලංකාවට බුදු දහම පැමිණීම දෙරටේ රාජ්‍ය නායකයන් අතර පැවති දීර්ඝ කාලීන මිතුදමක ප්‍රතිඵලයක් කියලා කියන්න පුලුවන්. ඒ වෙනකොටත් රජවරු දෙදෙනාම ධූත පිරිස් සහ ලිපි හරහා දෙරටේ රාජ්‍ය සබදතා සහ මිතුදම් ශක්තිමත් කරමින් සිටියා. ඒ නිසාම ලංකාවට දහම් පණිවිඩය රැගෙන යන්න භාර කරන්නේ මහින්ද හිමියන්ට. ඒ කියන්නේ ධර්මාශෝක රජුගේ එකම පුත්‍රයා.
ඊට පස්සෙ පොසොන් පුර පසළොස්වක පෝය දවසෙ අශෝක රජතුමාගේ පුත්‍රයා වුණු මහින්ද මහරහතන් වහන්සේ ඉට්ඨිය, උත්තිය, සම්භල, භද්දසාල, සුමන මහ රහතන් වහන්සේලා සහ භණ්ඩුක උපාසකවරයා එක්ක මිහින්තලා කදු මුදුනට වැඩම කරලා, දේවානම්පියතිස්ස රජතුමාව මුණ ගැහෙනවා.
“මහ රජ අපි ධර්ම රාජ වූ බුදුන් වහන්සේගේ ශ්‍රාවකයෝ. දඹදිව් තලය කසාය වස්ත්‍රයෙන් බබළයි. තවත් මේ වගේ සෘද්ධිමත්, පරසිත් දන්නා, දිවකන් දන්නා මහ රහතන් වහන්සේලා දහස් ගණනක් දඹදිව වැඩ සිටියි”.
දේවානම්පියතිස්ස රජතුමා බුදුන් දහම් සගුන් සරණ ගිහින් බෞද්ධ උපාසකයෙක් වෙනවා. මහින්දාගමනයෙන් පස්සෙ අපේ රටේ බුදු දහම වැළදගත්ත පළවෙනි පාලකයා තමයි දේවානම්පියතිස්ස රජතුමා. ඒ කියන්නෙ පළවෙනි බෞද්ධ උපාසකවරයා. රජතුමා බුදු දහම වැළද ගන්නවත් එක්කම රජුගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. රාජ්‍ය ආගම රට වැසියාගේ ආගම වෙනවා. රටේ අනිත් මිනිස්සු රජ්ජුරුවන්ව ආදර්ශයට අරගෙන බුදු දහම වැළදගන්නවා. අපේ රටේ උපාසක උපාසිකා සමාජය නිර්මාණය වෙනවා. 1000කට වඩා පිරිසක් සෝවන් වෙන්න වාසනාව ලබනවා. ඉතින් රජතුමා තමන්ගෙ පියා (උත්තිය රජුතුමා) නිර්මාණය කරපු මහමෙව්නා උයන සඝ සතු කරනවා.
මහින්දාගමනයෙන් පස්සෙ මහින්ද මහ රහතන් වහන්සේගේ අධීක්ෂණය යටතේ දේවානම්පියතිස්ස රජතුමා “මහා විහාරය” නිර්මාණය කරනවා. ඒ තමයි ලංකාවේ බුදු දහමේ මූලස්ථානය. ටික කාලයක් ගියායින් පස්සෙ රජතුමාගේ බෑණා වෙන අරිට්ඨ ඇමතිවරයා සහ තවත් 500 දෙනෙක් පැවිද්ද ලබලා අපේ රටේ භික්ෂු ශාසනය ඇති කරනවා. මේ අතරේ අපේ රටේ කාන්තා පක්ෂයත් පැවිද්ද ඉල්ලනවා. ඒ නිසා මහින්ද මහරහතන් වහන්සේගේ අදහසකට අනුව දේවානම්පියතිස්ස රජතුමා ඉන්දියාවට පණිවිඩයක් යවනවා.
මේ අතරතුර කාලයේ මිහිදු හිමියන්ගේ ප්‍රධානත්වයෙන්, අරිට්ඨ හිමියන් ඇතුළු භික්ෂූන් 60ක් සංගායනාවක් පවත්වනවා. මේ තමයි ලංකාවේ පළවෙනි සංගායනාව. ඒ අනුව අපේ රටේ ධර්මය කටපාඩමින් පරපුරෙන් පරපුරට රැගෙන යාමේ පිරිසක් (භානක පරපුර) නිර්මාණය වෙනවා. ඊටත් අමතරව මිහිදු හිමියන්ගේ උපදෙස් ඇතුව දේවානම්පියතිස්ස රජුගේ මූලිකත්වයෙන් ථූපාරාම චෛත්‍යය නිර්මාණය කෙරෙනවා. ඒ බුදුන් වහන්සේගේ දකුණු අකු ධාතුව නිධන් කරලා.
අර කලින් යවපු පණිවිඩය අනුව අශෝක රජතුමාගේ දියණිය, සංඝමිත්තා මහරහත් තෙරණිය, විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවත් අරගෙන, අපේ රටේ භික්ෂුණී ශාසනය පිහිටුවන්න නෞකාවකින් අපේ රටේ දඹකොළ පටුන (ජම්බකෝල පට්ටන) ප්‍රදේශයට වැඩම කරනවා. ජය ශ්‍රී මහා බෝධිය භාර ගන්න රජතුමත් අනුරාධපුරයේ ඉදන් දඹකොළ පටුනට විශාල පෙරහැරකින් යනවා.
ජනප්රවාදයේ තියෙන විදිහට නැව වරායට එනකන් ඉන්නෙ නැතුව, රජතුමා මුහුදට බැහැලා, කර වටක් ජලය පිරෙනකන් නැව දිහාවට ඇවිදගෙන යනවා. ඉතින් මුහුදට බැහැලා ජය ශ්‍රී මහා බෝධින් වහන්සේව භාර ගන්න රජ්ජුරුවෝ, මහා පෙරහැරකින් බෝධින් වහන්සේව දඹකොළ පටුනෙ ඉදන් අනුරාධපුරයට වඩම්වනවා. මේ බෝධි වෘක්ෂය රෝපණය කරන්න රජතුමා තෝරා ගන්නෙ, මහමෙව්නා උයන.
අශෝක රජතුමා අපිට ශ්‍රී මහා බෝධියේ දක්ෂිණ ශාඛාවක් දීලා නිකන් හිටියෙ නෑ. බෝධියේ ආරක්ෂාවට සංඝමිත්තා මහරහත් තෙරණියත් එක්කලා ආරක්ෂක මණ්ඩලයක් එවනවා. ඒ අය බෝධිය රෝපණය කළායින් පස්සෙ අපේ රටේම නතර වෙනවා. ඒ අයව හදුන්වන්නෙ “නීලමක්කාර පරම්පරාව” කියලා. ඒ අයගේ රාජකාරිය වුණේ පරම්පරාවෙන් පරම්පරාවට, පාරම්පරිකව ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආවතේව කටයුතු සිද්ධ කිරීම.
ටික කාලයක් යන කොට ශ්‍රී මහා බෝධින් වහන්සේ කේන්ද්‍ර කර ගෙන ලොකු සංස්කෘතියක් ආරම්භ වෙනවා. නානුමුර මංගල්‍ය, පරණ අවුරුදු මංගල්‍ය, අලුත් අවුරුදු මංගල්‍ය, කාර්තික මංගල්‍ය, අලුත් සහල් මංගල්‍ය, තේවාව, පෙරහැර ඒවාට හොදම උදාහරණ විදිහට ගන්න පුලුවන්. බෝධීන් වහන්සේ අපේ මිනිස්සුන්ට ගොඩක් සමීප වෙනවා. අපේ මිනිස්සුත් බෝධීන් වහන්සේව පණ වගේ ආරක්ෂා කරන්න ගන්නවා.
ඒ වගේම භික්ෂු පරම්පරාවකටත් ශ්‍රී මහා බෝධියේ භාරකාරත්වය පවරනවා. දේවානම්පියතිස්ස රජතුමාගේ බිසව වුණු අනුලා දේවිය සහ තවත් කාන්තාවො 500ක්, සංඝමිත්තා මහරහත් තෙරණිය යටතේ පැවිද්ද ලබනවා. මේත් එක්කම අපේ රටේ භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා කියන සිව්වනක් පිරිස සම්පූර්ණ වෙනවා. දේවානම්පියතිස්ස රජතුමත් අපේ රටේ හාමුදුරුවරුන්ට සිව්පසයෙන් උපස්ථාන කරනවා. ඊට පස්සේ රජතුමා අපේ රට තුන්වතාවක් බුද්ධ ශාසනය වෙනුවෙන් පූජා කරලා අපේ රට පුරාවටම වෙහෙර විහාර සහ ආරාම නිර්මාණය කරන්න පටන් ගන්නවා.
ඉසුරුමුණිය, වෙස්සගිරිය, මිහින්තලේ, පඨමක චෛත්‍යය, උපාසිකා විහාරය, හත්ථාල්හක විහාරය, නිවත්තක විහාරය, මහාපාලි දාන ශාලාව, පාචීනාරාමය, නාගදීප විහාරය, ඉසින්බැස්සගල වගේ විහාරාරාම කරවලා, භික්ෂූන් වහන්සේලාගේ බණ භාවනා කටයුතු වෙනුවෙන් ගල් ලෙන් 68ක් පූජා කරනවා.
අපේ රටට බුදු දහම ඇවිත් බොහොම කෙටි කාලයකින් මුළු රට පුරාම ව්‍යාප්ත වුණා. මේකට කාරණා කිහිපයක් බලපාලා තියෙනවා.
01. දේවානම්පියතිස්ස රජු බුදු දහම වැළද ගැනීම
02. බුදු දහමට රාජ්‍ය අනුග්‍රහය ලැබීම
03. අවිහිංසාවාදී ආගමක් වීම
04. සංවිධානාත්මක ආගමක් වීම
05. භික්ෂු භික්ෂුණී ශාසනයක් තිබීම
06. ධර්ම දූතයන් වහන්සේලාගේ කැපවීම
07. බෞද්ධ වෙහෙර විහාර ඉදි වීම
08. ශ්‍රී මහා බෝධිය වැඩම වීම
09. ගිරි, වන, ජල දුර්ග වලින් අවම රටක් වීම
මහින්ද හාමුදුරුවො මිහින්තලා කන්දෙදි රජතුමාට ධර්මය දේශනා කරලා, එතුමාව බෞද්ධයෙක් කරනවා. දැන් රජතුමාගේ ආගම බුද්ධාගම. ඊට පස්සෙ රජතුමාගේ ආගම රාජ්‍ය ආගම වෙනවා. ඊටත් පස්සෙ රාජ්‍ය ආගම, රට වැසියාගේ ආගම වෙනවා. මොකද රටේ පාලකයගෙ අඩි පාරෙ තමයි මිනිස්සුත් යන්නෙ. පාලකයා නිවැරදි මාර්ගයෙ ගියොත් මෙහෙමයි. වැරදි මාර්ගයෙ ගියොත් එහෙමයි. රජතුමා බුදු දහම වැළදගෙන මේ උත්තරීතර ධර්මය රට පුරා ව්‍යාප්ත කරන්න අනුග්‍රහය දෙනවා. මහ මෙව්නාව සඝ සතු කරලා, සිවුපසයෙන් භික්ෂූන්ට උපස්ථාන කරලා, වෙහෙර විහාර හදන්න ගත්තා.
බුදු දහම කියන්නෙ හරිම ගැඹුරු ධර්මයක්. හැබැයි සරලයි. අවිහිංසාවාදීයි. ඒ නිසා රට වැසියට බරක් වුණේ නෑ. බලෙන් කා වැද්දීමක් නෑ. අපිට කැමති නම් බුදු දහම අතෑරලා යන්න පුලුවන්. නැත්නම් ප්‍රතික්ෂේප කරන්න පුලුවන්. දේව නියමයක් නෑ. ඒ නිසා අපිට ඕනෑම තැනකදි ධර්මය ගැන ප්‍රශ්න අහන්න පුලුවන්. සිතීමේ සහ විමසීමේ නිදහස තියෙනවා. අන්න ඒක තමයි බුදු දහමේ තියෙන, අනිත් ආගම්වල නැති විශේෂත්වය. මේ නිසා මිනිස්සු බුදු දහම කෙරෙහි පැහැදෙන්න ගත්තා.
ඒ වගේම බුදු දහම අපේ රටට එනකොට, බුදු දහමට අභියෝග කරන්න පුලුවන් කිසිම ආගමක් අපේ රටේ තිබුණෙ නෑ. එව්වා සංවිධානාත්මක නෑ. ස්ථාවර නෑ. කිසිම හරයක් නෑ. ප්‍රාථමිකයි. ඒ නිසා බුදු දහම නිදහසේ වේගයෙන් රට වටේ ප්‍රචාරය වෙන්න ගත්තා. අපේ රටේ පැවිදි සමාජයක් නිර්මාණය වුණායින් පස්සෙ, ඒ අය අව්ව, වැස්ස, රෑ, දවල් බලන්නෙ නැතුව කැපවීමෙන්, ඕනෑකමින් ධර්ම දූත සේවයේ නිරත වුණා. මේත් එක්කම ගම් නියම්ගම්වල බෞද්ධයෝ බිහි වෙන්න ගත්තා. වෙහෙර විහාර ඉදි වුණා. ජනතා සහයෝගය සහ රාජ්‍ය අනුග්‍රහය මෙව්වට ලැබෙන්න ගත්තා. බෞද්ධ ආකල්ප ව්‍යාප්තියට “ගමයි පන්සලයි වැවයි දාගැබයි” සංකල්පය ඔස්සේ බුද්ධාගම අපේ රටේ ජාතික ආගම වෙනවා.
අපේ රටේ මිනිස්සු මහින්දාගමනය වෙනකොටත් එක එක ඇදහිලි සහ විශ්වාස අනුව ජීවත් වුණු කොටසක්. ඉතින් එක පාරටම බුදු දහම වැළද ගන්න කියලා, මහින්ද හාමුදුරුවො කියන්න ගියේ නෑ.
ඒ අය වෘක්ෂ වන්දනාවේ යෙදුනා. ඉතින් ඒ වෘක්ෂ වන්දනාවට නව අර්ථකතනයක් එක් කරලා ශ්‍රී මහා බෝධිය රෝපණය කරනවා. ඊට පස්සෙ ඒ බෝධින් වහන්සේගෙන් හට ගත්ත අෂ්ඨ ඵල රූප, දෙතිස් ඵල රූප, සමසතලිස් බෝධීන් වහන්සේලා රට පුරා රෝපණය කරනවා. යථාර්තය නොදැන ඔහේ ගස්වලට වන්දනාමාන කර කර හිටිය මිනිස්සු, යතාර්තය දැනගෙන තේරුමක් ඇතුව බෝධි වන්දනයේ නිරත වෙන්න ගන්නවා. අර්ථයක් හෝ අරමුණක් නොමැතිව මළවුන් වන්දනාවේ යෙදුනු පිරිස්, උතුම් පුද්ගලයෙකුගේ ශාරීරික ධාතුන් නිධන් කළ ස්තූප වන්දනයට යොමු වුණා. ඔන්න ඔහොම ටිකෙන් ටික අපේ රටේ බෞද්ධ ශිෂ්ටාචාරයක් නිර්මාණය වෙනවා.
ලංකාව කියන්නෙ ඉන්දියාවෙන් 60 ගුණයකටත් වඩා පුංචි රටක්. ඉන්දියාව පුරා බුදු දහම ව්‍යාප්ත වුණේ නැතත්, ලංකාව පුරා බුදු දහම ක්ෂණිකව විකාශය වෙනවා. ඉන්දියාවෙ තරම් ලොකු ජල දුර්ග, වන දුර්ග, ගිරි දුර්ග, කාන්තාර අපේ රටේ නෑ. ඒ නිසා ධර්ම දූත කණ්ඩායම්වලට කිසිම බාධාවකින් තොරව ඒ කටයුතුවල නිරත වෙන්න පුලුවන් වුණා. අන්තිමට මහා විහාරය, අභයගිරිය, ජේතවනාරාමය වගේ ආයතනත් කරට කර හැප්පෙමින් බෞද්ධ අධ්‍යාපනය ලෝකයටම බෙදන්න ගන්නවා.
ඒ නිසා අධ්‍යාපනයේ වගේම ශාසනයෙත් තරගයක් ඇති වෙනවා. මේ තරගකාරීත්වයත් බුදු සසුනේ චිරස්ථිතියට බලපානවා. ඒ වගේම බුදු දහමෙන් අපේ සංස්කෘතියේ ලොකු වෙනසක් වුණා. ක්‍රමවත් අක්ෂර කලාවක් ලැබීම, චිත්‍ර කලාව දියුණු වීම, කැටයම් කලාව දියුණු වීම, මුර්ති කලාව දියුණු වීම, ගෘහ නිර්මාණ කලාව දියුණු වීම කියන කරුණු කාරණා වලට අමතරව මේ කාරණා ටිකත් ඇතුල් කරන්න පුලුවන්.
01. සමාජීය ඒකාබද්ධතාවයකට මග පෑදීම
02. සදාචාර සම්පන්න සමාජයක් බිහි වීම
03. සංවිධානාත්මක ආගමක් ලැබීම
04. නීතිගරුක ධාර්මික පාලකයන් බිහි වීම
05. භාෂා සාහිත්‍යයේ ආරම්භය
06. ඓතිහාසික සම්ප්රදායක් ලැබීම
අපේ රටේ ජාති ආගම් කුල මල භේද නිර්මාණය වුණේ නැත්තෙ බුදු දහම නිසයි. බුදු දහම අපේ රටට ආවයින් පස්සෙ ධාර්මික රැකි රස්සාවලට නෑඹුරු වෙන සමාජයක් නිර්මාණය වුණා. දෑතේ දෙපයේ වෙර වීර්යය යොදලා කෘෂි කර්මාන්තයේ යෙදුනා. පංච ශීල ප්‍රතිපදාව නිසා අපේ මිනිස්සු නොමගට යන එක නැවතුනා. අදුරේ හිටපු මිනිස්සුන්ට ආලෝකයට ඇවිල්ලා විමුක්තිය ලබා ගන්න පුලුවන් වුණා.
අපේ රටේ රාජ්‍ය පාලනය නිර්මාණය වෙනකොටත් බුදු දහම මූලික වෙනවා. දස රාජ ධර්ම, දස සක්විති වත්, සතර සංග්‍රහ වස්තු, සප්ත අපරිහාණී ධර්ම, පංච ශීලය, සතර බ්‍රහ්ම විහරණ, සතර අගතියෙන් තොරවීම වගේ ඉගැන්වීම් නිසා පාලකයා ජනතාවගේ ප්‍රසාදයට ලක් වෙන්න ගන්නවා. මහින්දාගමනයෙන් ලැබුණු ක්‍රමවත් අක්ෂර මාලාව නිසා බෞද්ධ ලේඛන කලාව දියුණු වෙනවා.
මහින්දාගමනයත් එක්ක අපේ රටටම අනන්‍ය වුණු සම්ප්රදායක් නිර්මාණය වෙනවා. පීතෘ මූලික ජන සමාජයක් ගොඩ නැගෙනවා. වැඩිහිටි ගෞරවය සහිත, සාරධර්ම සහ ගුණධර්මවලින් යුක්ත වටපිටාවක් නිර්මාණය වෙනවා. ශ්‍රී මහා බෝධිය, දළදා වහන්සේ කේන්ද්‍ර කර ගෙන ජන සමාජයක් සහ ජන සංස්කෘතියක් නිරමාණය වෙනවා. සිරිත් විරිත්, චාරිත්‍ර වාරිත්‍ර අපිට ලැබෙනවා. මහින්ද මහරහතන් වහන්සේ මේ විදිහට අපේ රටට කරපු මෙහෙවර නිසා තමයි අපේ අය උන්වහන්සේව, බුදුන් වහන්සේට පමණක් දෙවෙනි කොට (අනුබුදු) සළකන්නෙ. සංඝමිත්තා තෙරණියගේ උපකාරයත්, මේ කර්තව්‍ය සාර්ථකව කර ගන්න මහින්ද හාමුදුරුවන්ට ලොකු පිටුවහලක් වුණා.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – දෙවන කොටස