පාට මාරු කරන නැව්…?????

“ආපෝ මේ නැවේ කැත”. එහෙම නේද හිතුනෙ? ඒ වුණාට ඔයාලා දන්නවද මේ වගේ කැත විදිහට තීන්ත ගාපු නැව් දහස් ගණනක්, මේ කැත පෙනුම නිසා ලෝක යුද්ධවලදි බේරිලා තියෙනවා කියලා?

අද ලිපියෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නෙ මේ විදිහට තීන්ත ගාපු නෞකා ගැනයි. මේ ක්‍රමයට ඉංග්‍රීසියෙන් කියන්නෙ “Dazzle Camouflage” කියලයි. ඒ වචනය අන්තර්ජාලයෙන් හොයලා බැලුවා නම්, ඔයාලට ඕන තරම් මේ විදිහේ නෞකාවල පින්තූර අධ්‍යනය කරන්න පුලුවන්.

පළවෙනි ලෝක යුද්ධ කාලය වෙනකොට යුද්ධ නෞකාවලට වගේම, යුධ නීති උල්ලංඝනය කරමින් සාමාන්‍ය මගී නෞකා සහ ධීවර නෞකාවලටත් ප්‍රහාර එල්ල වුණා. ඒ නිසා ගොඩක් මිත්‍ර පාක්ෂික රටවල්, තම තමන්ගේ රටවල නෞකා, ජර්මානු සබ්මැරීන ප්‍රහාරවලින් ආරක්ෂා කරගන්න එක එක උපක්‍රම භාවිතා කළා.

ඒ උපක්‍රමවලින් කිහිපයක් තමයි මුහුදු රේඛාවලදී Zig Zag ක්‍රමයට (ඉංග්‍රීසි හෝඩියේ Z අකුරේ හැඩයට) ගමන් කිරීම, තමන්ගේ රටේ කොඩිය නෞකාවෙන් ඉවත් කිරීම, නෞකාවේ නම මකා දැමීම, මුරකාවල් දෙගුණ කිරීම, විදුලි පහන් නිමා දැමීම, ගමනට තවත් අමතර නාවික නෞකා එකතු කර ගැනීම කියන්නෙ. ඒ උපක්‍රම ගොන්නට මේ Dazzle Camouflage ක්‍රමය හදුන්වා දෙන්නෙ බ්‍රිතාන්‍යයේ “නෝර්මන් විල්කින්සන්” කියන චිත්‍ර ශිල්පියයි.

ඉතින් එයාලා මේ විදිහට නෞකාවල සැබෑ වර්ණය යටපත් කරලා, ව්‍යාජ සහ අක්‍රමවත් වර්ණ රටා යොදලා තියෙන්නෙ සතුරු නෞකා සහ සබ්මැරීන රැවටීමේ සහ මංමුළා කිරීමේ උපක්‍රමයක් විදිහටයි. විශේෂයෙන්ම පළවෙනි ලෝක යුද්ධ කාලයේ ජර්මානු සබ්මැරීන, බ්‍රිතාන්‍යයේ විශාල සහ ජනප්‍රිය නෞකා ගැන අවධානයෙන් ඉදලා තියෙනවා. ඒ කාලයේ සබ්මැරීනයක අරගෙන යන්න පුලුවන් වෙලා තියෙන්නෙ ටෝර්පීඩෝ 4ක් වගේ බොහොම පුංචි ගණනක්. ඒ නිසා ගොඩක් ජර්මානු සබ්මැරීන දකින දකින හැම නෞකාවකටම ප්‍රහාර එල්ල කරලත් නෑ. ඉතින් මේ විදිහට විශාල ප්‍රමාණයේ යුධ සහ මගී නෞකාවල වර්ණය වෙනස් කළාම, “මේ මොන නැවද?” කියලා ජර්මානුවන්ට ලේසියෙන් හිතාගන්න අමාරු වෙලා තියෙනවා.

ඒ විතරක් නෙවේ, “මොන රටේ නෞකාවක්ද? නෞකාව ගමන් කරන්නෙ මොන දිශාවටද? යුධ නෞකාවක්ද? මගී නෞකාවක්ද? නෞකාවේ වේගය මොකක්ද? කොච්චර වෙලාවක් තියලා ටෝර්පීඩෝවක් දියත් කරන්න ඕනද? නෞකාව කොච්චරක් විශාලද?” වගේ ගොඩක් ප්‍රශ්නවලට මුහුණ පාලා තියෙනවා. ඒකෙ ප්‍රතිපලයක් විදිහට මේ වගේ වර්ණ රටා වෙනස් කරපු සමහරක් නෞකාවලට එල්ල කරපු ජර්මානු ටෝර්පීඩෝ ප්‍රහාර සාර්ථකවෙලා නෑ. ඒ වගේම ගොඩක් නෞකාවලට හිතාමතාම ටෝර්පීඩෝ ප්‍රහාර එල්ල කරලත් නෑ.

මේ ක්‍රමයේ සාර්ථකත්වය නිසාම ඇමරිකාවත් මේ ක්‍රමයම අනුගමනය කරන්න ගත්තා. මේ විදිහට වර්ණ වෙනස් කරපු නෞකා, පළවෙනි ලෝක යුද්ධ කාලය වෙනකොට 2000කට වඩා තිබිලා තියෙනවා. ඒ හැම නෞකාවකම වර්ණ සහ රටාව එකිනෙකට වෙනස්.

ගොඩක් යුධ නෞකාවල එළියෙ තියෙන බර අවිවල එක එක වර්ණ ගාලා තියෙන නිසා, ඒවා බැලූ බැල්මට යුධ නෞකා විදිහට පෙනිලා නෑ. ඒ නිසා සතුරන්ගෙන් බේරෙන්න වගේම සතුරාට ළං වෙලා පහර දෙන්නත් මේක ඉවහල් වෙලා තියෙනවා. මේ වර්ණ රටා නිර්මාණය කරන්න පාදක කරගෙන තියෙන්නෙ සිබ්‍රා, ජගුවාර්, ජිරාෆ් වගේ සත්තුන්ගෙ වර්ණ රටා.

මේ ක්‍රමයේ සාර්ථකත්වයත් එක්කම, මේ ක්‍රමයම සබ්මැරීනවලට භාවිතා කරන්නත් යෝජනා වෙලා තියෙනවා. ඒ, මුහුදෙ ඉන්න මාළුවො විදිහට වර්ණ වෙනස් කරන්නයි. ඒත් මුහුද ඇතුළෙ තියෙන ආලෝකය, අහසේ වර්ණ වෙනස්වීම්, ඒ අනුව මුහුදේ වර්ණවල වෙන වෙනස්වීම්, සූර්යයාගේ ගමන් පථය සහ පිහිටලා තියෙන අංශක ප්‍රමාණය, උදෑසන දීවා සහ රාත්‍රී වෙලාව වගේ ගොඩක් බාධක නිසා මේ යෝජනාව ප්‍රතික්ෂේප වෙලා තියෙනවා.

ලිපිය අවසන් කරන්න කලින් තවත් අමතර කරුණක් දෙකක් කියනවා නම්, පළවෙනි ලෝක යුද්ධයේ වැඩි දෙනෙක්ගෙ අවධානයට ලක් වුණු සුප්‍රසිද්ධ ලුසිටානියා ඛේදවාචකයේ කථා නායකයා වුණු ලුසිටානියා නෞකාවෙත් මුලදී මේ විදිහට වර්ණ රටා වෙනස් කරලා තිබිලා තියෙනවා. ඒත් නෞකාවේ අන්තිම ගමන වෙනකොට, ආයිත් මුල් වර්ණවලටම වෙනස් කරලා තියෙනවා. හැබැයි කලින් තිබුණු විකෘති වර්ණ රටාව දිගටම භාවිතා කරලා තිබ්බා නම්, ලුසිටානියා නෞකාව ජර්මානු සබ්මැරීන ප්‍රහාරයට මුහුණ නොදෙන්න ගොඩක් දුරට ඉඩකඩ තිබිලා තියෙනවා.

මේ ක්‍රමය පළවෙනි ලෝක යුද්ධ සමයෙන් පස්සෙ ටික ටික භාවිතයෙන් තුරන්වෙලා ගිහින් තියෙනවා. ඒත් දෙවන ලෝක යුද්ධ සමයෙත්, බොහොම සුළුවට භාවිතා වෙලා තියෙනවා කියලත් අමතක නොකළ යුතුයි.


උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.hodor.lol
* ඡායාරූපය 01 : www.magnificenttitanic.tumblr.com
* ඡායාරූපය 02 : Chiswick Chap
* ඡායාරූපය 03 : www.electricnik.tumblr.com
* ඡායාරූපය 04 : www.tpsteachersnetwork.org
* ඡායාරූපය 05 : www.wearethemighty.com

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.