කෝ කෝට්ටේ නටබුන්…?????

ලංකා ඉතිහාසයේ තීරණාත්මකම සංසිද්ධීන්වලට මුහුණ පෑ රාජධානියක් ලෙස අපට කෝට්ටේ රාජධානිය නම් කළ හැක. 1505 වර්ෂයේදී සිදු වුණු පෘතුගීසීන්ගේ ආගමනය මෙන්ම 1582 වර්ෂයේදී සිදු වුණු පෘතුගීසී ආක්‍රමණයද අප රටේ දේශපාලනික, ආගමික, සාමාජීය, සංස්කෘතික සහ ආර්ථික අංශයන් උඩුයටිකුරු කළ සිදුවීම්ය. මෙම කාල සීමාවන් තුළ සීතාවක රාජධානිය විසින් කෝට්ටේ රාජධානිය වෙත එල්ල කරන ලද ප්‍රහාර සහ ආක්‍රමණද අප අමතක නොකළ යුතුය.

එම කාලයේදී අප රටට පැමිණි “ක්වේරෝස්” නම් පෘතුගීසී ජාතික පියතුමා “ලංකා දිග් විජය සහ ධර්ම විජය” නම් කෘතියේ සටහනක් තබමින් පෘතුගීසී හමුදාව විසින් කෝට්ටේ රාජධානියේ ඇති කරන ලද ගින්න හේතුවෙන්, කෝට්ටේ අහස සත් දිනක් යන තුරු කළු දුමාරයෙන් වැසී තිබූ බව ප්‍රකාශ කොට ඇත. කෝට්ටේ පුරවරයේ හටගත් පෘතුගීසීන්ගේ ආක්‍රමණශීලී ස්වභාවයේ භයානකකම පිළිබඳව අපට අදහසක් ගැනීමට මෙයම ප්‍රමාණවත්ය.

එනමුත් අප රටෙහි මීට පෙර පැවති රාජධානි වෙතද විටින් විට විදේශීය ආක්‍රමණ එල්ලවිය. රජරට ශිෂ්ටාචාරය මීට කදිම නිදසුනකි. අනුරාධපුර රාජධානිය දහ දොළොස් වාරයක් පමණ පොළවට සමතලා විය. පොළොන්නරු රාජධානියට එල්ල වූ කාලිංග මාඝ ආක්‍රමණය “යකුන් නැටූ යුධ පිටියක් සේ වූවා” යැයි පැරණි සාහිත්‍ය මූලාශ්‍රවල සඳහන් වෙයි. එවැනි බිහිසුණු ආක්‍රමණ මාලාවක් එල්ල වී, මෙම රාජධානි පොළවට සමතලා වූවත්, වසර 2000කට පමණ පසු වූවද, අදද එම ප්‍රදේශයන්හී අතීත ශ්‍රී විභූතිය, තාක්ෂණය සහ පැරණි ජනයාගේ ප්‍රෞඪත්වය පෙන්වන බොහෝමයක් මහා පරිමාණයේ විශාල ඉදි කිරීම් ශේෂව පවතියි.

එනමුත් කෝට්ටේ රාජධානියේ අපට මේ වන විට දැකගත හැක්කේ සුළු පරිමාණයේ නටබුන් කිහිපයක් පමණි. කෝට්ටේ යුගයේ නටබුන් දෙකොටසකි. එනම් අලෞකික ඉදි කිරීම් සහ ලෞකික ඉදි කිරීම්ය. කෝට්ටේ රජමහා විහාරයේ පැරණි ඉදිකිරීම් බොහෝමයක් ආරක්ෂා වී ඇත. කෝට්ටේ රාජධානිය තුළ පිහිටා ඇති පැපිලියාන සුනෙත්‍රාදේවි රජමහා විහාරය, පැපිලියාන සුනෙත්‍රාදේවි පිරිවෙන, විජේරාම විජයාරාම රජමහා විහාරය, නාවින්න රජමහා විහාරය, කිරුලපන බලපොකුණ රජමහා විහාරය වැනි ඉතාමත් අල්ප රජමහා විහාර කිහිපයක පමණක් කෝට්ටේ යුගයේ ගිනි ගෙන දැවුණු ගල් කණු කිහිපයක නටබුන් සහ කැඩී ගිය ශෛලමය නටබුන් අල්ප ප්‍රමාණයක් දැක ගත හැක. නමුත් අනෙකුත් රජමහා විහාර සියල්ලෙහිම අද වන විට දක්නට ඇත්තේ මහ නුවර යුගයේ හෝ වර්තමානයේ සිදු කළ ඉදිකිරීම්ය.

දැනට ශේෂව පවතින කෝට්ටේ යුගයට අයත් අනෙකුත් අලෞකික නටබුන් ලෙස පැරණි කොටු බැම්මෙහි කොටස්, ඇතුළු දිය අගලෙහි කොටස්, පිට දිය අගලෙහි කොටස්, අලකේශ්වර රජ මාළිගාවෙහි කොටස්, වෙහෙරකන්ද නටබුන්, කෝට්ටේ රජ මාළිගාවෙහි භූගත උමගෙහි ආරම්භක ස්ථානයේ කොටස්, කෝට්ටේ ගල් අම්බලම වැනි දෑ නම් කළ හැකි අතර මේවාද අද වන විට විනාශ මුඛයට යමින් පවතින, ඉතාමත් සුළු පරිමාණ ශේෂයන්ය. එනමුත් අප රටෙහි සාහිත්‍ය මූලාශ්‍ර අනුව කෝට්ටේ රාජධානියේද මහා පරිමාණයේ විශාල ගොඩනැගිලි පැවති බව සඳහන් වන අතර මහල් පහකින් යුතු කෝට්ටේ රජ මාළිගාව සහ මහල් තුනකින් යුතු කෝට්ටේ දළදා මාළිගාව නම් කළ හැක. නමුත් අද වන විට අප ඉහතින් සඳහන් කළ සුළු පරිමාණයේ නටබුන් කිහිපයක් කෝට්ටේ පුරවරයෙන් දැකිය හැකි විනා මහා පරිමාණ ශේෂයන් කිසිවක් දැකිය නොහැක.

මේ පිළිබඳව පරීක්ෂණ සහ අධ්‍යනයන් රැසක් සිදු කළ මහාචාර්ය සෙනරත් පරණවිතාන ශූරීන් ඇතුළු පුරාවිද්‍යාඥයන් සහ ඉතිහාසඥයන් ප්‍රකාශ කර ඇත්තේ, කෝට්ටේ යුගයට පැමිණෙන විට මිනිසුන් ශෛලමය ඉදිකිරීම් අවම කර දැව ඉදිකිරීම් සඳහා අවධානය යොමු කොට තිබුණාය යනුවෙනි. එම මතයන්ට අනුව කෝට්ටේ යුගයේ ගෘහ නිර්මාණ අතරින් 90%ක් පමණ දැව යොදාගනිමින් නිර්මාණය කළ බැවින් එම ගොඩනැගිලි සියල්ලක්ම පෘතුගීසී ආක්‍රමණයෙන් මුළුමනින්ම විනාශයට පත් වී ඇත. එපමණක් නොව ගඩොල් සහ කළු ගල් යොදා ගනිමින් නිර්මාණය කරන ලද ගොඩනැගිලිවලින් යම් ප්‍රමාණයක් පෘතුගීසීන් විසින් මුළුමනින්ම විනාශ කර දමා ඇති අතර ඉතුරු සියලුම ඉදිකිරීම්වල ගඩොල් සහ කළු ගල් ඉවත් කර, ඒවා පෘතුගීසීන්ගේ දේවස්ථාන, කාර්යල, හමුදා මූලස්ථාන ඇතුළු අනෙකුත් ඉදිකිරීම් සඳහා යොදාගෙන ඇත.

අප රටෙහි අනෙකුත් රාජ්‍යන් තුළ වර්තමානයේද මහා පරිමාණ ඉපැරණි ඉදිකිරීම් දක්නට ලැබුණද, කෝට්ටේ රාජධානිය තුළ එවැනි වූ විශාල නිර්මාණ නොමැති වීමටත්, මේ වන විට සුරක්ෂිතව ඇති නටබුන් ප්‍රමාණය ඉතාමත් අල්ප වීමටත්, දුලභ වීමටත් මෙම කරුණු හේතු වී ඇත.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.