CCF ගඩොල්

අප රටෙහි ස්මාරක සංරක්ෂණයට යොදාගන්නා ගඩොල්, අප දකින සාමාන්‍ය ගඩොල්වලට සාපේක්ෂව වෙනස්කම් දරයි. මේ සඳහා නිවාස සහ අනෙකුත් ඉදිකිරීම් සඳහා යොදා ගන්නා ගඩොල්වලට වඩා වෙනස් විදිහේ ගඩොලක් යොදා ගැනීමට හේතු කිහිපයක් තිබේ. පැරණි සංරක්ෂණ කටයුතු සඳහා මුල් කාලයේදී ඉංජිනේරු ගඩොල් භාවිතා කළද පුරාවිද්‍යාත්මක මූලධර්ම අනුව මෙම ගඩොල් පැරණි ස්මාරක සංරක්ෂණයට නුසුදුසු බව අප රටේ පුරාවිද්‍යාඥයන් තීරණය කළ අතර ඒ අනුව පැරණි ගඩොල්වල ප්‍රමාණයටම සැකසූ එහෙත් යම් වෙනසක් සහිත ගඩොලක්, ස්මාරක සංරක්ෂණය සඳහා යොදා ගැනීමට කටයුතු කරන ලදී.

පුරාවිද්‍යාත්මක කටයුතු සඳහා ලංකාවේ ඇති ප්‍රධාන රාජ්‍ය ආයතන දෙකෙන් එකක් වන මධ්‍යම සංස්කෘතික අරමුදලේ (Central Cultural Fund) වැඩබිම් සඳහා ගඩොල් විශාල ප්‍රමාණයක් අවශ්‍ය වූ බැවින් ගඩොල් අවශ්‍යතාවය සැපිරීමට විශේෂ ගඩොල් පෝරණුවක් නිර්මාණය විය. ඒ, අනුරාධපුර ගල්කඩවල ප්‍රදේශයේදීය. අදද ස්මාරක සංරක්ෂණය සඳහා ගඩොල් සපයා ගනු ලබන්නේ මෙම පෝරණුවෙනි. ස්මාරක සංරක්ෂණය සඳහා යොදාගන්නා මෙම විශේෂ ගඩොල් නිර්මාණය කරනු ලබන්නේ, පැරණි ගඩොලෙහි ප්‍රමාණයටවීම විශේෂත්වයක්.

මේ සෑම ගඩොලකම මධ්‍යම සංස්කෘතික අරමුදලේ සලකුණ සහ බුද්ධ වර්ෂය යොදා තිබෙනවා දැක ගත හැක. ඊට හේතුව වන්නේ මෙම නව ගඩොල් උපයෝගී කර ගනිමින්, පැරණි ස්මාරකයන් සංරක්ෂණයේදී, අලුතින් එක් කරන ලද ගඩොල් පසුව හදුනාගැනීමේ ප්‍රයෝජනය සඳහයි. බුද්ධ වර්ෂය යෙදීමෙන්, පසු කාලයකදී ස්මාරකයේ සංරක්ෂණ කටයුතු සිදුවූ කාලය පිළිබදව අදහසක් ඇති කර ගත හැක. ඊට අමතරව එම ගඩොල සඳහාද විශේෂිත අංකයක් යොදනු ලබයි.

එමෙන්ම මෙම නව ගඩොල් නිර්මාණය කරනු ලබන්නේ, පැරණි ගඩොල්වලට සාපේක්ෂව ශක්තියෙන් අඩු වන ලෙසයි (ගඩොලෙහි ශක්තිය මනිනු ලබන්නේ PSI ඒකකයෙනි. එනම් වර්ග අගලකට බර දැරීමේ හැකියාවෙනි {රාත්තල්}). ඊට හේතුව ලෙස, යම් ස්වභාවික හේතුවක් මත ස්මාරකය හායනයට ලක්වුවහොත්, පසුව එක් කරන ලද ගඩොල් විනාශ වූවත්, පැරණි කොටස් ආරක්ෂාවීම යන කරුණ දැක්විය හැක.

පීඩනයේ වෙනසක් සිදුවීම මීට කදිම නිදසුනක් ලෙස ගත හැක. එවැනි අවස්ථාවකදී පැරණි ගඩොලට උඩින් තැන්පත් කරන ලද නව ගඩොලට පමණක් බලපෑමක් එල්ල වන අතර හානියට ලක් වූ නව ගඩොල ඉවත් කර, වෙනත් නව ගඩොලක් තැන්පත් කළ හැක. නව ගඩොලද පැරණි ගඩොලෙහි ශක්තියට සමාන ශක්තියකින් නිර්මාණය කළහොත්, පීඩන වෙනසක් ඇති වූ විට පැරණි ගඩොලද විනාශවීමට ඉඩකඩ ඇත.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.