බොස්නියාව සහ හර්සගොවිනාව නැවතත් යුද්ධයකට?
යුගෝස්ලාවියාව බිඳවැටීමත් සමග බොස්නියාව සහ හර්සගොවිනාව බරපතල යුද්ධයකට මැදිවුණා. වසර තුනක් තිස්සේ ජීවිත 100,000 ක් බිලිගත් එම යුද්ධය නිමා වී දශක දෙකහමාරක් ගතවී ඇතත් එහි ජනවාර්ගික ප්රතිවිරෝධතා කිසිසේත්ම සමනය වී නැහැ. මෑතකදී එරට යළි දෙකඩ වන අවදානමක් මතුවූ අතර අනාගතයේ යළිත් එම අවදානම මතුවීමේ අවදානමක් තිබෙනවා.
මෙම තත්ත්වයට මූලික වශයෙන් හේතුවී ඇත්තේ බොස්නියානු යුද්ධය නතර කරමින් 1995 දී හඳුන්වාදුන් ඩේටන් ගිවිසුම අනුව ඇතිකරන ලද පරිපාලන ව්‍යුහය සහ එය ක්‍රියාත්මක කිරීමේදී එකිනෙක කණ්ඩායම් අතර ඇතිවන ප්රතිවිරෝධතා යි. රටේ ජනවාර්ගික සංයුතිය මෙන්ම යුද්ධයේ අමිහිරි මතකයන් ද පහසුවෙන් විසඳාගත නොහැකි ගැටළු වනවා.
බොස්නියාව සහ හර්සගොවිනාව ප්‍රධාන ජනවර්ග තුනකට සහ අනෙකුත් ජනවර්ග කිහිපයකටම නිවහන වනවා. රටේ ජනගහනයෙන් අඩක් බොස්නියැක්වරුන්. ඔවුන් ඉස්ලාම් ආගමිකයන් වනවා. සර්බ්වරුන් සියයට 31 ක් සහ ක්රොයැට්වරුන් සියයට 15 ක් ද වනවා. සර්බ්වරුන් ඕර්තඩොක්ස් ක්‍රිස්තියානි ලබ්ධිකයන් වන අතර ක්රොයැට්වරුන් කතෝලිකයන්.
යුගෝස්ලාවියාව බිඳවැටෙන පසුබිමෙහි ඇතිවූ යුද්ධයේදී සර්බ්, ක්රොයැට් සහ බොස්නියැක් කණ්ඩායම් උනුන් හා ගැටුණා. මෙහිදී සර්බ් පාර්ශවය වඩා ශක්තිමත් වූ අතර කල් යාමේදී බොස්නියැක් සහ ක්රොයැට් දෙපාර්ශවය සිය පොදු සතුරා ලෙස සර්බ්වරුන් සලකන ස්වභාවයක් පෙනෙන්නට වුණා. කෙසේ වෙතත් යුද්ධය නිමා වූයේ නේටෝ සංවිධානය විසින් එල්ල කළ ගුවන් ප්‍රහාරවලින් ද පසුවයි.
පාලන ව්‍යුහය
ඩේටන් ගිවිසුම අනුව බොස්නියාව සහ හර්සගොවිනාව කොටස් දෙකකට බෙදෙනවා. එනම් බොස්නියා-හර්සගොවිනා ෆෙඩරේශනය සහ රිපබ්ලිකා සර්ප්ස්කා හෙවත් සර්බ් ජනරජයයි. (මීට අමතරව ස්වතන්ත්‍ර ප්‍රදේශයක් වන බ්‍රච්කෝ දිස්ත්‍රික්කය ද වනවා). මෙම කොටස් දෙකට නිත්‍යනුකූල ක්‍රමයකට මිස එම එකමුතුවෙන් ඉවත්ව යාම තහනම් වනවා. රිපබ්ලිකා සර්ප්ස්කා හි බහුතරය සර්බියානුවන් වන අතර බොස්නියා-හර්සගොවිනා ෆෙඩරේශනයේ ජීවත්වන වැඩිදෙනෙක් බොස්නියැක් සහ ක්රොයැට්වරුන් වනවා.
බොස්නියාව සහ හර්සගොවිනාවේ වැඩි බලතල ඇත්තේ උත්තරීතර නියෝජිතයාටයි. ඔහු ඩේටන් ගිවිසුම ක්‍රියාවට නංවන බව තහවුරු කිරීම සඳහා සාම සාධන කවුන්සිලය විසින් පත්කරන ලද නියෝජිතයායි. සාම සාධන කවුන්සිලය අන්තර්ජාතික ආයතනයක් වනවා. ඊට රටවල් සහ ආයතන 55 ක් අයත්. උත්තරීතර නියෝජිතයා සාමාන්‍යයෙන් යුරෝපා සංගමයේ රටක අයකු වනවා.
මීට අමතරව බොස්නියාව සහ හර්සගොවිනාව පාලනයට ජනාධිපති මණ්ඩලයක් වනවා. ඊට බොස්නියැක්, ක්රොයැට් සහ සර්බ් ජනවර්ග විසින් පත්කෙරෙන තිදෙනකු අයත් වනවා. මධ්‍යම ආණ්ඩුවේ පාලන බලතල සීමා සහිත බැවින් බොස්නියා-හර්සගොවිනා ෆෙඩරේශනයට සහ රිපබ්ලිකා සර්ප්ස්කා වෙත විශාල බලතල ප්‍රමාණයක් ලැබී තිබෙනවා.
මේ අතර බොස්නියාව සහ හර්සගොවිනාව සඳහා යුරෝපා සංගම් සාම සාධක හමුදාවක් රඳවා තිබෙනවා. එහි පිරිස් බලය 700 ක් පමණයි. මෙහි සේවා කාලය එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සෑම වසරකම අළුත් කළ යුතුයි. නේටෝව සරයේවෝ අගනුවර මූලස්ථානයක් පවත්වාගෙන යනවා.
සර්බ් විරෝධය
බොස්නියාව සහ හර්සගොවිනාව පවතින තත්ත්වය පිළිබඳ වැඩිම විරෝධය එල්ල වන්නේ රිපබ්ලිකා සර්ප්ස්කා නායක මිලොරාද් දොදික් වෙතින්. දොදික් මුලින් බටහිරට ලැදි ස්ථාවරයක සිට ජාතිකවාදී ස්ථාවරයකට කෙමෙන් මාරු වූ අයෙක්. මෑතකදී ඔහු බොස්නියා සහ හර්සගොවිනා හමුදාව ඇතුළු රාජ්‍ය ආයතනවලින් වෙන්ව රිපබ්ලිකා සර්ප්ස්කා සඳහා වෙනම ආයතන පිහිටුවීමට යෝජනා කළා. මෙය බොස්නියාව සහ හර්සගොවිනාව දෙකඩ වීමේ තර්ජනයක් මතු කළ අතර ඒ සමගම යුද්ධයක තර්ජනය ද මතු කළා.
ඔක්තෝබර් 14 වනදා ඔහු තර්ජනය කළේ බොස්නියා සහ හර්සගොවිනා හමුදාවට රිපබ්ලිකා සර්ප්ස්කා වෙතින් ඉවත් වන්නා බලකරන බවයි. සර්බ් සේනාංක යොදා ඔවුන්ගේ බැරැක්ක වටකිරීමෙන් මෙය සිදුකරන බවයි ඔහු පැවසූයේ. කිසියම් ආකාරයකින් බටහිර රටවල් ඊට මැදිහත් වීමට උත්සාහ කළහොත් තමන්ට ද උපකාර කිරීමට මිතුරන් සිටින බව ඔහු කියා සිටියා. මෙම මිතුරන් වන්නේ සර්බියාව සහ රුසියාවයි.
මිලොරාද් දොදික්ගේ විරෝධයට මූලිකවම ලක්ව තිබෙන්නේ උත්තරීතර නියෝජිතයාගේ කාර්යාලයයි. රිපබ්ලිකා සර්ප්ස්කා විසින් කරන ලද විවිධ ඉල්ලීම් විවිධ අවස්ථාවල එම නියෝජිතයා විසින් ප්‍රතික්ෂේප කිරීම එම විරෝධයට හේතු වනවා.
එමෙන්ම දොදික් මෙසේ නිර්භීතව තර්ජනය කරන්නේ එක් අතකින් බෝල්කන් ප්‍රදේශවල යුරෝපා සංගමයේ බලපෑම දුර්වලව පවතින බව දැනගෙනයි. එක් අතකින් හන්ගේරියාවේ කටයුතු ද අනෙක් අතින් උතුරු මැසඩෝනියාව යුරෝපා සංගමයට බඳවාගැනීම සඳහා කටයුතු ප්‍රමාද වීමද සමග නැගෙනහිර යුරෝපයම වඩාත් චීනය සහ රුසියාව දෙසට නැඹුරු වන බවක් පෙන්නුම් කරනවා. මේ අතර සර්බියාව ද සිය යුධ ශක්තිය වර්ධනය කරගනිමින් සිටින බව පසුගියදා විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබුණා.
මේ පසුබිමෙහි දොදික් විසින් කරන ලද තර්ජන හමුවේ ජාත්‍යන්තරය ඔහු සමග සාකච්ඡා සඳහා එළඹුණා. ඔහු විසින් කරන ලද තර්ජන ක්‍රියාවට නොනැගීමට දොදික් කටයුතු කළා. එමෙන්ම යුරෝපා සංගම් සාම සාධක හමුදාවේ සේවා කාලය තවත් වසරකට අලුත් කිරීමට රුසියාව ද විරෝධය නොදක්වා සිටියා. ඒ සමගම උත්තරීතර නියෝජිතයා ද මදක් පසෙකට තල්ලු වූ සෙයක් පෙන්නුම් කෙරෙනවා. එක්සත් ජාතීන් විසින් නොබෝදා සම්මත කළ ආරක්ෂක මණ්ඩල යෝජනාවෙන් ඔහු පිළිබඳ කළ සඳහන්කිරීම් සියල්ල කපා දැමුණා.
ඊට හේතු වූයේ රුසියාව විසින් ඔහුගේ නෛතිකභාවය පිළිනොගැනීමයි. මේ අනුව දොදික් යම් වාසියක් ලබාගෙන බොස්නියා සහ හර්සගොවිනා දේශපාලන පොරයෙහි මෙවර වටය අවසන් කර තිබෙනවා. කෙසේ වෙතත් වර්තමාන උත්තරීතර නියෝජිත ක්‍රිස්ටියන් ෂ්මිට් පවසන්නේ තම තනතුර ස්ථාවර බවයි. තව ද නොබෝදා සිදුවූ ආරවුල සමග ඇමරිකාව සහ යුරෝපය බොස්නියාව කෙරෙහි වැඩි අවධානයක් ලබාදෙනු ඇතැයි ද ඔහු කියා සිටිනවා.
ඩේටන් ගිවිසුම්වලින් දශක දෙකකටත් වඩා ගතවී ඇතත් තවමත් බොස්නියාව සහ හර්සගොවිනාව සඳහා කල් පවතින දේශපාලන යාන්ත්‍රණයක් හෝ නියමාකාර සංහිඳියාවක් ගොඩනැගීමට නොහැකිව තිබෙනවා. එමෙන්ම පහසුවෙන් එහි තත්ත්වය අස්ථාවර කළහැකි බවක් පෙනී යනවා.