G-20 සමුළුව ෂී ජින්පිං වටා කැරකුණු අයුරු
ලෝකයේ ප්‍රධානම රටවල් 19 කින් සහ යුරෝපා සංගමයෙන් සමන්විත G-20 සමුළුව මෙවර ඉන්දුනීසියාවේ බාලි දිවයිනේදී පවත්වනු ලැබුණා. ළඟදී අපේක්ෂා කළහැකි ආර්ථික අවපාතය, රුසියාව සහ යුක්රේනය අතර ඇති අවිගැටුම්වල තත්ත්වය, බලශක්ති අර්බුදය වැනි අභියෝග හමුවේ මෙවර G-20 සමුළුව පිළිබඳ විශාල කතාබහක් නිර්මාණය වී තිබුණා. කෙසේ වෙතත් සමුළුව අවස්ථාවේ එහි ප්‍රධාන චරිතය බවට පත්වීමට හැකිවූයේ චීන ජනාධිපති ෂී ජින්පිංටයි.
G-20 සමුළුව හා සම්බන්ධව සිදුවූ ප්‍රධාන සිදුවීම් මෙන්ම සිදු නොවීම් කිහිපයක් ද හේතුවෙන් ෂී ජින්පිං මෙම සමුළුවේ ප්‍රධාන තැනක් හිමිකරගන්නට සමත් වුණා. ඒ අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සමග වූ හමුව, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි හමුවීම, කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ කෙරෙහි සිය අප්‍රසාදය පළකළ සිද්ධිය සහ බ්‍රිතාන්‍ය අගමැති රිෂී සුනාක් හමුවීම අවලංගු වීම වැදගත් අවස්ථාවන් ලෙස සැලකිය හැකියි.
ෂී ජින්පිං G-20 සමුළුව වෙත පැමිණියේ සිය රටෙහි තම බලය නැවතත් තහවුරු කරගැනීමෙන් අනතුරුවයි. ඔක්තෝබරයේ පැවති චීන කිමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී පක්ෂයේ මහලේකම් ලෙස තවත් වසර පහක් සඳහා ඔහුව පත්කර ගැනුණා. මාඕ සේතුංගෙන් අනතුරුව මෙසේ තුන්වන ධුර කාලයක් සඳහා මහලේකම්වරයකු පත්කිරීම සාමාන්‍යයෙන් සිදුවූයේ නැහැ. එහෙත් ෂී පක්ෂ නීතිරීති වෙනස් කරමින් තමන්ට යළි පත්වීමට අවකාශය නිර්මාණය කරගෙන තිබුණේ මීට කලකට පෙරයි. එමෙන්ම කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩලයට මෙන්ම එම දේශපාලන මණ්ඩලයේ ස්ථාවර කමිටුවට සිය සහචරයින් පත්කර ගන්නටත් ෂී සමත් වුණා. මීට අමතරව ජර්මන් චාන්සලර් ඔලාෆ් ෂොල්ට්ස් චීනයේ සංචාරය කර වැඩි දවසක් ගතවී ද නැහැ. ෂොල්ට්ස්ගේ සංචාරය චීන නායකයාට තවත් පිළිගැනීමක් ලබාදුන් අතර එය වඩාත් වැදගත් වන්නේ ජර්මන් ආණ්ඩුවේ ම ඇතැම් පාර්ශවවල නොසතුට හමුවේ ෂොල්ට්ස් එම සංචාරයෙහි යෙදීමයි.
මෙවර G-20 සමුළුවට ෂීගේ සහභාගීත්වය තවත් වැදගත් වූ හේතුවක් තිබුණා. කෝවිඩ්-19 වසංගතය ඇරඹීමෙන් පසු බොහෝ කලක් යනතුරු ෂී ජින්පිං විදේශ සංචාරයන් හි නිරත වූයේ නැහැ. නොබෝදා පැවති ෂැංහයි සහයෝගීතා සංවිධානයේ හමුවට ඔහු සහභාගී වුව ද එය රටවල් කිහිපයක කලාපීය සංවිධානයක් වන හෙයින් G-20 තරම්ම වැදගත් අවස්ථාවක් වන්නේ නැහැ. G-20 කලාපය ලෝක දළ ජාතික නිෂ්පාදිතයන්ගෙන් සියයට 80 ක් පමණ ද ලෝක ආර්ථිකයන්ගෙන් සියයට 75 ක් පමණ ද නියෝජනය කරන හෙයින් එය අතිශයින්ම වැදගත් සමුළුවක් ලෙස සැලකිය හැකියි.
ප්රජාතන්ත්රවාදය ගැන කතා
G-20 සමුළුවට සමගාමීව සිදුවූ ජනාධිපති ජෝ බයිඩන් සහ ජනාධිපති ෂී ජින්පිං අතර හමුව පිළිබඳ මාධ්‍ය අවධානය බෙහෙවින් යොමුවුණා. බයිඩන් ඇමරිකා එක්සත් ජනපදයෙහි ජනාධිපති ධුරයට පත්වීමෙන් අනතුරුව මෙසේ ෂී ජින්පිං සමග මුහුණට මුහුණ හමුවී සාකච්ඡා කළේ ප්‍රථම වතාවටයි.
යුක්රේනයේ පවතින අවිගැටුම් සහ ලෝක ආර්ථික තත්ත්වයත්, තායිවානය පිළිබඳව පසුගිය මාසවල මතුවූ උණුසුම්කාරී තත්ත්වයත් හේතුවෙන් මෙම හමුව වැදගත් ලෙස සැලකියයුතු වුණා. කෙසේ වෙතත් මෙම හමුව පිළිබඳ විශේෂයෙන් වැදගත් යමක් ඇමරිකානු පාර්ශවයෙන් ප්‍රකාශ වුණේ නැහැ. චීනය පාර්ශවයෙන් කියැවුණු එක් වැදගත් කරුණක් පිළිබඳ විචාරකයන් සිය අවධානය යොමුකර තිබුණා.
චීනය මෙහිදී කියා සිටියේ ප්රජාතන්ත්රවාදය පිළිබඳ උපදෙස් දීමට ඇමරිකාවට අයිතියක් ඇතැයි තමන් පිළිගන්නේ නැති බවයි. ඇමරිකාවට එක් ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් තිබෙනවා සේම චීනයට ද ස්වකීය ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදයක් වන බවයි එරට පවසන්නේ. කිසිදු ප්රජාතන්ත්රවාදී ක්‍රමයක් පරිපූර්ණ නොවිය හැකි වුවද එක් ක්‍රමවේදයකට වඩා අනෙක උසස් යැයි ප්‍රකාශ කිරීම සාධාරණ නොවන බවයි චීනය සඳහන් කරන්නේ.
චීනය අර්ථ දක්වන ප්රජාතන්ත්රවාදී ක්‍රමවේදය යනු මාඕ සේතුං විසින් හඳුන්වාදෙන ලද “නව ප්රජාතන්ත්රවාදයේ” දිගුවක් වන අතර එරට ව්‍යවස්ථාව අනුව එය මහජන ප්රජාතන්ත්රවාදී ආඥාදායකත්වයක් ලෙස සැලකෙනවා. චීනය දකින සිහිනය වන්නේ චීන කොමියුනිස්ට් පක්ෂයේ සහ චීන හරපද්ධතීන්වල මූලිකත්වය පිළිගත් ලෝක පර්යායක් බව ප්‍රකට කරුණක්. සිය භූ දේශපාලනික ක්රියාවලියෙහි ඔවුන් නිරත වන්නේ එම අපේක්ෂාවන් පෙරදැරි කරගෙනයි. ලිබරල් ප්රජාතන්ත්රවාදී ක්‍රමයට වඩා තම ක්‍රමය සාර්ථක බව පෙන්වාදීම චීනයේ අභිලාෂයයි.
@elearninglk
ජස්ටින් ටෲඩෝ “බොළඳයි”
කැනේඩියානු අගමැති ජස්ටින් ටෲඩෝ සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර ප්‍රසිද්ධියේම සිදුවූ අදහස් හුවමාරුව G-20 සමුළුවේ වැඩිපුර කතාබහට ලක්වූ කරුණක් බවට පත්වුණා. මෙම සිදුවීමට පෙර නායකයින් දෙදෙනා අතර වෙනත් අවස්ථාවකදී යම් කතාබහක් සිදුවුණා. එහිදී කැනේඩියානු අගමැතිවරයා විසින් තම රටේ මැතිවරණවලට චීනය ඇඟිලිගසන බවට වූ චෝදනා පිළිබඳ කරුණු විමසා තිබෙන බවයි වාර්තා වන්නේ.
කැනේඩියානු මාධ්‍ය වාර්තා පවසන පරිදි පසුගිය කැනේඩියානු මැතිවරණයේදී අපේක්ෂකයන් 11 දෙනකුට චීනයේ මූල්‍ය ආධාර ලැබී ඇති බවට කැනේඩියානු බුද්ධි සේවා විසින් සොයාගෙන තිබෙනවා. ඉන් එක් අපේක්ෂකයකුට මුදල් ලැබුණු ආකාරය පවා බුද්ධි සේවා විසින් හඳුනාගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ටෲඩෝ සහ ෂී අතර මේ පිළිබඳ ඇතිවූ කතාබහ පුද්ගලික මට්ටමේ තිබෙනු ඇති බව ෂී විශ්වාස කළ බවයි පෙනී යන්නේ. නමුත් රොයිටර්ස් සහ අනෙකුත් මාධ්‍ය ආයතන එම කතාබහ පිළිබඳ විස්තර වාර්තා කර තිබුණා. ෂී ජින්පිං පසු අවස්ථාවක ටෲඩෝගෙන් ප්‍රශ්න කරන්නේ ඒ පිළිබඳවයි. එහිදී ඔවුන් අතර වූ කතාබහ පුවත්පත්වල පළවීම කෙරෙහි ෂී සිය අප්‍රසාදය පළකළා. ටෲඩෝ පිළිතුරු දුන්නේ තමන් විවෘතභාවය පිළිබඳ විශ්වාසය තබන බව කියමින්. නමුත් ෂී ඒ පිළිබඳ සෑහීමකට පත්වූයේ නැහැ.
එමෙන්ම ඔවුන් දෙදෙනා වෙන්ව යනවිට ෂී ජින්පිං “බොළඳයි” යනුවෙන් තමන්ටම කියාගන්නා අයුරු ඇසෙන බවයි චීනය පිළිබඳ වාර්තා කරන මාධ්‍යවේදීන් පවසා තිබුණේ. තවද, දෙරට අතර මතභේදය G-20 සමුළුවෙන් අවසන් වූයේ නැහැ. ඉන්පසු ද දෙරටම එකිනෙකා විවේචනය කරනු දකින්නට ලැබුණා.
මෝදි හමුවේ; සුනාක් හමු නොවේ
ෂී ජින්පිං සහ නරේන්ද්‍ර මෝදි අතර ප්‍රිය සම්භාෂණයක් අවස්ථාවේ ප්‍රසිද්ධියේම ඇතිවූ කතාබහ පිළිබඳ සැලකියයුතු අවධානයක් යොමුව තිබෙනවා. මෙය ඉතා වැදගත් සිදුවීමක් ලෙස ගතහැක්කේ මීට සති කිහිපයකට පෙර ෂැංහයි සහයෝගීතා සංවිධානයේ සමුළුවේදී මෙම නායකයින් දෙදෙනා එකිනෙකා හමු නොවන පරිදි කටයුතු කළ බවට සිහියට නැගෙන විටයි.
චීනය, ඉන්දියාව සමග පවතින ආරවුල විසඳාගැනීම සඳහා මීට පෙර ද යම් යම් උත්සාහයන් ගත්ත ද ඉන්දියාව පාර්ශවයෙන් ඊට එතරම්ම විශාල අනුබලයක් ලැබෙන බවක් දිස් වූයේ නැහැ. නමුත් බාලි හිදී මෝදි සහ ෂී අතර සුහද, කෙටි කතාබහක් ඇතිවීම ඒ පිළිබඳ නව බලාපොරොත්තුවක් ජනිත කරනවා.
ඉන්දීය විශ්ලේෂකයන් කිහිප දෙනකුම මෑතකදී පෙන්වා දුන්නේ චීනය, ඉන්දු-චීන දේශසීමාවේ කරගෙන යන ක්‍රියාවලිය සැබෑ ලෙසම ඉන්දියාවෙන් එන තර්ජනයක් හේතුවෙන් සිදුවන්නක් නොවන බවයි. ඇත්තෙන්ම හිමාල දේශසීමාවේ ඉන්දියානු ක්‍රියාකාරීත්වයෙන් චීනයට බරපතල තර්ජනයක් පැනනගින්නේ නැහැ.
නමුත් චීනය දිගටම ඉන්දියාවේ අවධානය එදෙස තබාගනිමින්, අනෙකුත් කටයුතු සඳහා යොදාගතහැකි කාලය, මුදල් සහ සම්පත් අපතේ යවන තත්ත්වයකට ඉන්දියාව පත්කර ඇති බවයි මෙම විචාරකයන්ගේ මතය වන්නේ. ඇතැම්විට, භාරතීය ජනතා පක්ෂ ආණ්ඩුව ද මෙම තත්ත්වය ඒ අයුරින්ම දකින්නට පටන් ගෙන තිබෙනවා විය හැකියි.
කෙසේ වෙතත්, රිෂී සුනාක් සහ ෂී ජින්පිං අතර පැවැත්වීමට නියමිත වූ හමුව අවලංගු වීම ද කතාබහට හේතු වූ කරුණක් වුණා. සුනාක් චීනය දකින්නේ බ්‍රිතාන්‍යෙයේ ආර්ථික ස්ථාවරත්වයට එල්ලවන විශාලම අභියෝගය ලෙසයි.
කෙසේ වෙතත් නායකයින් දෙදෙනා අතර හමුව අවලංගු වීමට හේතුව ලෙස දැක්වුණේ යුක්රේනය දෙසින් පෝලන්තයට මිසයිල ප්‍රහාරයක් එල්ලවීම හේතුවෙන් මතුවූ හදිසි තත්ත්වය පිළිබඳ සාකච්ඡා කිරීමට G-7 රටවල නායකයින් වෙනමම ඒකරාශී වීමයි.
නමුත්, ලෝක බලවතුන් දෙදෙනකුට හමුවීමට අත්‍යවශ්‍ය නම් ඒ සඳහා කෙසේ හෝ වෙලාවක් වෙන්කරගන්නා බව අමුතුවෙන් කිවයුතු නැහැ. කිසියම් කරුණක් හේතුවෙන් සුනාක්ට ෂී ජින්පිං හමුවීම මගහරින්නට අවශ්‍ය වූයේ යයි පමණක් ඒ අනුව අපට සිතාගත හැකියි.
සුනාක් මෙසේ ෂී ජින්පිං හමු නොවුණ ද බාලි හි ප්‍රධාන නළුවා ලෙස කරලියට පැමිණීමට මහජන චීන සමූහාණ්ඩුවේ ජනාධිපති ෂී ජින්පිං සමත් වූ බව පැහැදිලියි. ඔහුගේ සාර්ථකත්වය චීනයේ ජාත්‍යන්තර සබඳතා කෙරේ කෙසේ බලපානු ඇතිද යන්න අපට ඉතිරිවන මීළඟ ප්රශ්නයයි.