රටේ දියුණුව සඳහා මුදල් නෝට්ටුවල දේව රූප යොදන්න යෝජනාවක්

October 31, 2022

ඉන්දියාවේ ආම් ආද්මි පක්ෂයේ (AAP) නායක අර්වින්ද් කෙජ්රිවාල් මෑතකදී අගමැති නරේන්ද්‍ර මෝදි වෙත ලිපියක් යොමු කරමින් එරට මුදල් නෝට්ටුවල එක් පසෙක ගනේෂ් සහ ලක්ෂ්මී දෙවිවරුන්ගේ රූප ඇතුලත් කරන මෙන් ඉල්ලීමක් කළා.

ඔහු නිල වශයෙන් මෙම ඉල්ලීම කිරීමට දින දෙකකට පෙර මෙම යෝජනාව ප්‍රසිද්ධියේ ඉදිරිපත් කළ අතර එම අවස්ථාවේ ඒ පිළිබඳ විශාල විවාදයක් හටගත්තා. ඇතැම් කොටස් එම යෝජනාව හාස්‍යයට ලක් කළ ද කෙජ්රිවාල් කියා සිටියේ එම යෝජනාවට සැලකියයුතු සහයක් තිබෙන බවයි.

කෙජ්රිවාල් පවසන පරිදි ඉන්දියාව නිදහස ලබා 75 වසරක් ගතව ඇතත් එය තවමත් දරිද්‍රතාවයෙන් පෙළෙන රටක්. එහෙයින් ඉන්දියාවේ සංවර්ධනය සඳහා කෙරෙන කටයුතුවලට දේවාශිර්වාදය ලබාගනු පිණිස එරට මුදල් නෝට්ටුවල ගනේෂ් සහ ලක්ෂ්මී රූප ඇතුලත් කරන ලෙසයි ඔහු ඉල්ලා සිටින්නේ.

ගනේෂ් හෙවත් ගණ දෙවියන් නුවණට අධිපති දෙවියන් ලෙස සැලකෙන අතර ලක්ෂ්මී දෙවඟන ධනයට අධිපති දෙවඟන ලෙස සැලකෙනවා. එහෙයින් හින්දූන් මෙම දෙවියන් දෙපළම එක් ව ඇදහීමට යොමුව තිබෙනවා.


කෙජ්රිවාල්

කෙජ්රිවාල්ගේ දේව විශ්වාසයන් කෙතෙක් දුරට අවංකදැ යි අපට කිව නොහැකි වුණත් ඔහු කලක් පටන්ම කරගෙන යන දේශපාලනය තුළ හින්දු ආගමට ඇති ලැදියාව මෙන්ම දේශප්‍රේමය ද පෙන්නුම් කරමින් සිටිනවා. කාශ්මීරය පිළිබඳ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 370 වගන්තිය සම්බන්ධ කරුණේදී භාරතීය ජනතා පක්ෂ (බීජේපී) ස්ථාවරය අනුමත කිරීම​, පුරවැසි (සංශෝධන​) පනත පිළිබඳ කරුණේදී නිහඬ වීම යනාදී කරුණුවලදී ආම් ආද්මි පක්ෂය පෙන්නුම් කරන්නේ එහි ජාතිකවාදී ස්ථාවරය සහ දේශපාලන උපක්‍රමයයි.

භාරතීය ජනතා පක්ෂය විසින් අන් බොහෝ විපක්ෂ කණ්ඩායම්වලට එල්ල කෙරෙන මුස්ලිම් ප්‍රජාව වෙත වාසිදායක ලෙස කටයුතු කිරීම යන චෝදනාව ආම් ආද්මි පක්ෂය වෙත එල්ල කළ නොහැකිව තිබෙන්නේ එම පක්ෂය විසින් සිදුකරන මෙවන් ප්‍රතිපත්තිමය උපායමාර්ග හේතුවෙන් බව පෙනී යනවා. එහෙයින් ආම් ආද්මි පක්ෂයට පහරගැසීම සඳහා බීජේපී පක්ෂයට වෙනත් ක්‍රම සෙවීමට සිදුව තිබෙනවා.


Click on the Image

කෙටිකාලීනව මෙන්ම දීර්ඝ කාලීනව ද ඉන්දීය දේශපාලනය තුළ ආම් ආද්මි පක්ෂයේ වැදගත්කම ඉහළ ගොස් ඇති අවස්ථාවක් ලෙස මෙම අවස්ථාව සැලකිය හැකියි. කෙටිකාලීනව එහි වැදගත්කම ඉස්මතුව ඇත්තේ ගුජරාට් ප්‍රාන්ත මැතිවරණය නිසයි.

දීර්ඝ කාලීනව ආම් ආද්මි පක්ෂයේ වැදගත්කම සැලකිය යුත්තේ අනාගත ඉන්දීය දේශපාලනය තුළ එහි භූමිකාව සැලකීමේදී යි.


ගුජරාටයේ AAP රැළියක්

ගුජරාට් ප්‍රාන්ත මැතිවරණයේදී සැලකියයුතු මට්ටමේ ප්‍රතිඵලයක් ලබාගැනීම ආම් ආද්මි පක්ෂයෙහි අපේක්ෂාවයි. 2021 පළාත් පාලන මැතිවරණවලදී එම ප්‍රාන්තයේ දී සියයට 13 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීමට ආම් ආද්මි පක්ෂය සමත් වුණා​. මෙවර එම පක්ෂය ප්‍රාන්ත මැතිවරණයේදී ඊටත් වඩා වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගනු ඇතැයි විශ්වාස කෙරෙනවා. ආම් ආද්මි පක්ෂය සැලකියයුතු ඡන්ද ප්‍රමාණයක් ලබාගැනීම භාරතීය ජනතා පක්ෂයට වාසිදායක වනු ඇති​. එවිට විපක්ෂ ඡන්ද කැඩීමෙන් තමන්ට වාසියක් සැලසීම ඊට හේතුවයි.

එහෙත් යම් හෙයකින් එම පක්ෂය කොන්ග්‍රස් පක්ෂය ලබාගන්නා ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි හෝ ඒ ආසන්න හෝ ඡන්ද ප්‍රමාණයක් ලබාගතහොත් එය කොන්ග්‍රස් පක්ෂයට මෙන්ම බීජේපීයට ද එතරම්ම යහපත් නොවනු ඇති​. එසේ වුවහොත් කොන්ග්‍රස් පක්ෂයට වඩා ආම් ආද්මි පක්ෂය සාර්ථක විපක්ෂයක් යයි ඡන්දදායකයන් කෙමෙන් කෙමෙන් හෝ කල්පනා කිරීමට පටන් ගැනීමට ඉඩක් තිබීම ඊට හේතුවයි.

@elearninglk

එය ස්වාභාවිකවම කොන්ග්‍රස් පක්ෂයට අවාසිසහගත වන අතර භාරතීය ජනතා පක්ෂයට ද එකතැන පල්වන විපක්ෂයක් වෙනුවට නැගී එන විපක්ෂයකට මුහුණදීමේ අභියෝගය ජනිත කරනු ඇති.

දැනට දිස්වන ආකාරයට කොන්ග්‍රස් පක්ෂය තරම් ආම් ආද්මි පක්ෂයට ගුජරාටයේදී ඡන්ද ලැබේ යයි සිතිය නොහැකියි. එම තත්ත්වය ඒ ආකාරයෙන්ම පැවතියහොත් එය භාරතීය ජනතා පක්ෂයට ද වාසිදායක වනු ඇති.


මෝදි සහ අමිත් ෂා

ඉන්දියානු දේශපාලනයේ දීර්ඝ කාලීන අනාගතය සැලකීමේදී ආම් ආද්මි පක්ෂය ඉතා වැදගත් වනවා. කොන්ග්‍රස් පක්ෂය හැරුණුවිට ඉන් දියාව මුළුල්ලේම කිසියම් ස්ථාවරයක් ගොඩනගාගැනීමේ හැකියාවක් අනාගතයේ හෝ තිබිය හැකි පක්ෂයක් ලෙස දැනට දිස්වන්නේ ආම් ආද්මි පක්ෂයයි.

කොන්ග්‍රස් පක්ෂය දිනෙන් දින දියවන පසුබිමක ආම් ආද්මි පක්ෂය භාරතීය ජනතා පක්ෂයට එරෙහිව සිටින දේශපාලන කණ්ඩායම් අතර එක්තරා වැදගත් භූමිකාවක් අනාගතයේදී රඟදක්වන්නට ඉඩ තිබෙන බව පෙනී යනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කෙසේ වෙතත් ඡන්දදායකයාට තම පක්ෂය ජයග්‍රාහී දේශපාලන ව්‍යාපාරයක් යයි පෙන්නුම් කිරීමට නම් මැතිවරණවලදී හොඳ ප්‍රතිඵල පෙන්නුම් කළ යුතුයි. ගුජරාටය ඔවුන් යම් තරමකට ශක්තිමත් ස්ථානයක් බැවින් එහි සාර්ථක ප්‍රතිඵලයක් පෙන්නුම් කිරීම පක්ෂයේ අනාගතය සඳහා වැදගත් වනවා.

හින්දු ජනතාවගේ හදවතට ආමන්ත්‍රණය කරන අදහස්වලින් සිය දේශපාලන කටයුතු පෝෂණය කිරීම තුළින් ආම් ආද්මි පක්ෂය බලාපොරොත්තු වන්නේ භාරතීය ජනතා පක්ෂයට හිමි හින් දුත්ව ඡන්දය බිඳ දැමීමට නොවේ. එසේ කිරීමේ හැකියාවක් ආම් ආද්මි පක්ෂයට නැහැ. නමුත් තම පක්ෂය හින්දු විරෝධී පක්ෂයක් යයි හංවඩු ගැසීමේ හැකියාව බීජේපීයට නොමැති වීම වැදගත් සාධකයක් ලෙස ආම් ආද්මි පක්ෂය දකිනවා.

එවිට කිසියම් අවස්ථාවක මධ්‍යස්ථ මතධාරී හින්දූන් සැලකියයුතු පිරිසක් දිනාගැනීමේ අවස්ථාවක් එම පක්ෂයට ලැබෙනවා. එමෙන්ම බීජේපී විරෝධී ප්‍රධානම බලවේගය ලෙස ආම් ආද්මි පක්ෂය ඉදිරියට පැමිණියහොත් මුස්ලිම් ඡන්ද ද සැලකියයුතු ප්‍රමාණයක් ඊට නිතැතින්ම හිමිවීමේ ඉඩකඩ තිබෙනවා.


Click on the Image

ආම් ආද්මි පක්ෂය මෙවර ගුජරාට් මැතිවරණයට ඉදිරිපත් වන්නේ මෙම සියළු කරුණු සිත් හි දරාගෙනයි. මෙවර මැතිවරණයට එය ඉදිරිපත් වීමෙන් වක්‍රාකාර වාසියක් භාරතීය ජනතා පක්ෂයට ලැබීමට ඉඩ ඇති අතර අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන්නේ බීජේපීය ප්‍රාන්ත සභා ආසන 182 න් 150 ක් පමණ ලබාගැනීමට උත්සාහ​ කරන බවයි.

කෙසේ වෙතත් දිගුකාලීන දේශපාලනය සඳහා මෙම මැතිවරණයේ ප්‍රතිඵලය වඩාත් වැදගත්වනු ඇත්තේ ආම් ආද්මි පක්ෂයටයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.