අප්‍රිකානු ගෑස් රුසියාව යුරෝපයෙන් පන්නයිද?
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් පසුගිය දා ඇල්ජීරියාවේ දින තුනක සංචාරයක් නිමා කළා. වසරකට පෙර මැක්‍රොන් විසින් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයන් කිහිපයක් හේතුවෙන් සැලකියයුතු තරමකට බිඳවැටී තිබුණු දෙරට අතර සබඳතා මෙමගින් යළි ප්‍රකෘතිමත් වූ බවක් පෙනෙන්නට තිබෙනවා.
මැක්‍රොන් සහ ඇල්ජීරියානු ජනාධිපති අබ්දුල්මජීඩ් තෙබූන් විසින් නිකුත් කළ ඒකාබද්ධ නිවේදනයෙහි සඳහන් වන්නේ දෙරට විසින් අනාගත ව්‍යාපෘතීන් සහ තාරුණ්‍යය කෙරෙහි අවධානය යොමු කෙරෙන නව යුගයක් කරා යොමුවන බව යි.
@elearninglk
කෙසේ නමුත් මෙම සංචාරයෙහි එක් වැදගත් අරමුණක් වන්නේ යුරෝපය මුහුණදෙන බලශක්ති ගැටළුවට විසඳුමක් සෙවීම බව විශ්වාස කෙරෙනවා. නමුත් ස්වාභාවික වායු පිළිබඳ කරුණ සිය සංචාරයේ ප්‍රධාන අරමුණක් වේයැ යි ඉදිරිපත් වන මතය මැක්‍රොන් බැහැර කළා. ප්‍රංශයේ ස්වාභාවික වායු අවශ්‍යතාවයෙන් ඇල්ජීරියාව විසින් සම්පූර්ණ කෙරෙන්නේ සියයට අටක ප්‍රමාණයක් පමණක් බවයි ඔහු පෙන්වා දුන්නේ.
ඇල්ජීරියානු ගෑස් ලබාගැනීම සඳහා ඉතාලිය සමග තරග කිරීමට ප්‍රංශයට අවශ්‍යව ඇති බවට වන අදහසක් ද මැක්‍රොන් බැහැර කළා. ඔහු කියා සිටියේ ඉතාලිය විසින් ඇල්ජීරියාවෙන් ස්වාභාවික වායු ලබාගැනීම පිළිබඳ තමන්ට කිසිදු ගැටළුවක් නොමැති බවයි.
ඉතාලිය නොබෝදා ඇල්ජීරියාවෙන් ලැබෙන ස්වාභාවික වායූන් සැපයුම ඉහළ දැමීමට ගිවිසුමක් අත්සන් කළා. සාමාන්‍යයෙන් ඉතාලිය සිය ගෑස් අවශ්‍යතාවයෙන් සියයට 45 ක් පමණ සපුරා ගත්තේ රුසියාවෙන් වුවද යුක්‍රේන යුද්ධය සමග තත්ත්වය වෙනස් වී තිබෙනවා. ඉතාලිය මෙන්ම බොහෝ යුරෝපා රටවල් සිය ගෑස් සැපයුම විවිධාංගීකරණය කිරීමට උත්සුක වී තිබෙනවා.
උතුරු අප්‍රිකානු ගෑස්
අප්‍රිකාවේ ස්වාභාවික වායු නිෂ්පාදනය 2020 දී වසරකට ඝන මීටර් 231 ක සීමාවට පැමිණි අතර එය ලෝක නිෂ්පාදනයෙන් සියයට 6ක් පමණ වුණා. අප්‍රිකාවේ වැඩිම ස්වාභාවික වායු නිෂ්පාදකයා වූයේ සමස්ථයෙන් සියයට 35 ක් නිපදවන ඇල්ජීරියාව යි. ඊජිප්තුවේ නිෂ්පාදනය මහාද්වීපයේ සමස්ථයෙන් සියයට 25 ක්. එමෙන්ම නයිජීරියාව හැරුණු විට අප්‍රිකාවේ විශාලම ගෑස් නිධි ඇත්තේ ද ඇල්ජීරියාවට සහ ඊජිප්තුවට යි.
අප්‍රිකාවේ දේශීය අවශ්‍යතා සඳහා ස්වාභාවික වායූන් වැඩියෙන්ම පරිභෝජනය කරන්නේ ද ඇල්ජීරියාව සහ ඊජිප්තුව යි. එසේ වුව ද 2020 දී අප්‍රිකාව සමස්ථයක් ලෙස ඝන මීටර් 82.5 ක් වූ ස්වාභාවික වායූන් ප්‍රමාණයක් අපනයනය කර තිබෙනවා. ඉන් හයෙන් පහක් මිලදී ගන්නේ යුරෝපය යි.
ඊජිප්තුවේ ප්‍රධාන ගැනුම්කරුවන් වන්නේ යුරෝපය නොවන හෙයින් යුරෝපයට ස්වාභාවික වායූන් සැපයීමේදී වැදගත්ම වන අප්‍රිකානු රාජ්‍යය වන්නේ ඇල්ජීරියාව යි. ඇල්ජීරියාව යුරෝපය වෙත යවන ගෑස්වලින් සියයට හැටක් පමණ නළ මගින් ද ඉතිරිය LNG ලෙස ද සපයනු ලබනවා. මෙම ස්වාභාවික වායූන් වැඩියෙන්ම මිලට ගන්නේ ස්පාඤ්ඤය සහ ඉතාලියයි.
ස්පාඤ්ඤයේ අවශ්‍යතාවයෙන් තුනෙන් එකක් ද ඉතාලියේ අවශ්‍යතාවයෙන් පහෙන් එකක් ද ඇල්ජීරියාව විසින් සපුරාලන අතර, මෑතදී ඉතාලිය සමග අත්සන් කළ එකඟතාව අනුව දෙවසරක් ඇතුලත එරට ප්‍රධානම ගෑස් සැපයුම්කරු වීමට ඇල්ජීරියාව අපේක්ෂා කරනවා. කෙසේ වෙතත් ඇල්ජීරියාවේ ගැටළුව වන්නේ කෙටි කාලීනව එරටට යුරෝපයේ අවශ්‍යතා සපුරාලීම අපහසු වීමයි.
මෑතදී ඇල්ජීරියානු රාජ්‍ය ගෑස් සමාගම ඩොලර් බිලියන 40 ක වියදමින් සිදුකෙරෙන වසර පහක සංවර්ධන වැඩපිළිවෙලක් පිළිබඳ නිවේදනය කළා. නමුත් ඉන් කෙටිකාලීන විසඳුමක් යුරෝපයට ලැබෙන්නේ නැහැ. මේ අතර මොරොක්කෝව හරහා ස්පාඤ්ඤය වෙත වැටී ඇති MEG නළ මාර්ගය ඇල්ජීරියා – මොරොක්කෝ දේශපාලන අර්බුදය හේතුවෙන් වැසීගොස් තිබීම ද යුරෝපයට අමතර ගැටළු ඇතිකරනවා.
ඊජිප්තුවට යුරෝපය සමග නළ මාර්ග මගින් සම්බන්ධයක් නොවන හෙයින් එහි සිට යුරෝපය වෙත යැවෙන ගෑස් අපනයනය කෙරෙන්නේ LNG ලෙස පමණයි. ඊජිප්තුවෙන් යැවෙන ගෑස්වලින් සියයට දහය බැගින් පමණ චීනය සහ බ්‍රිතාන්‍යය විසින් මිලදී ගන්නා අතර එරට ප්‍රධානම ගැනුම්කරු වූයේ පාකිස්ථානය යි.
ඊජිප්තුවෙන් ගෑස් මිලදී ගැනීමේදී යුරෝපය මුහුණදෙන ප්‍රධානම තරගය පැමිණෙන්නේ චීනයෙන් බව පෙනෙන්නට තිබෙනවා. චීනය සහ ඊජිප්තුව අතර මිත්‍ර සබඳතා වර්ධනය වීම තුළ මෙම තත්ත්වය වඩාත් පැහැදිලි වනවා.
චීනය ඊජිප්තුවට දීර්ඝ කාලීන වාසිදායක ගනුදෙනු සඳහා එකඟ වී තිබෙන හෙයින් යුරෝපයට ඒ සමග තරග කිරීම පහසු වන්නේ නැහැ.
මේ අතර ලිබියාවේ ද තරමක ස්වාභාවික වායු නිධි තිබුණ ද දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් එයින් ප්‍රයෝජනයක් ලබාගැනීමේ හැකියාවක් නැතිව තිබෙනවා.
අප්‍රිකානු නායකයින්ගේ නොසතුට
උප සහරානු අප්‍රිකාවේ ද රටවල් ගණනාවක සැලකියයුතු තෙල් සහ ගෑස් නිධි පවතිනවා. එහෙත් ඒවා පවතින තරම් උපයෝගී කරගන්නේ නැහැ. කෙසේ වෙතත් මෑතකදී ඉතාලිය, ජර්මනිය වැනි රටවල් උප සහරානු අප්‍රිකාව දෙසට සිය බලශක්ති අවශ්‍යතා සඳහා යොමුවනු දකින්නට ලැබුණා.
අප්‍රිකාවේ බලශක්ති ප්‍රභව ඵලදායී ලෙස උපයෝගී නොවීමට විවිධ හේතු බලපා තිබෙන බව සත්‍යයක් වන අතර අප්‍රිකානුවන් ද ඊට බෙහෙවින් වගකිව යුතුයි. නමුත් අප්‍රිකානු නායකයන් පෙන්වා දෙන්නේ යුරෝපීයයන්ගේ ප්‍රතිපත්ති පිළිබඳ ඔවුන් එතරම් සතුටට පත් නොවන බවයි.
පාරිසරික හේතූන් මත පෙට්‍රෝලියම් කර්මාන්ත සඳහා ආධාර ලබාදීමෙන් වැළකී සිටි යුරෝපය ඒ වෙනුවට පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතීන් සඳහා ආධාර දීමට ප්‍රතිඥා දුන්න ද එම පොරොන්දු ද ඉටු නොකළ බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. යුක්‍රේන අර්බුදය හේතුවෙන් සිය රටවල පෙට්‍රෝලියම් කර්මාන්ත ගැන යුරෝපීයයන් දක්වන උනන්දුව ඇතැම් අප්‍රිකානු නායකයන් විසින් දකිනු ලබන්නේ යුරෝපීයයන්ගේ ප්‍රතිපත්තියක් නොමැතිකමක් ලෙසයි.
“අපට අවශ්‍ය දිගු කාලීන සබඳතා මිස හරිත බලශක්ති ව්‍යාපෘති පිළිබඳ අසංස්ථිතතාව සහ පරස්පර විදෝධී ප්‍රතිපත්ති නොවේ” යනුවෙන් මෑතකදී නයිජීරියානු ජනාධිපති මුහමදු බුහාරි පෙන්වා දුන්නා. ලෝක ස්වභාවික වායු නිධිවලින් සියයට තුනක් පමණ නයිජීරියාවේ තිබුණ ද එය මුළුමනින්ම පාහේ භාවිතා නොවන තත්ත්වයක යි පවතින්නේ. මේ අතර එරට ජනගහනයෙන් සියයට 40 ක් ඉක්මවූ පිරිසකට විදුලිය සැපයුම ලබාදීමට මෙතෙක් නයිජීරියාව අසමත්ව තිබෙනවා.
“බටහිර දියුණු වූයේ ෆොසිල ඉන්ධන මතයි. දැනුත් ඔවුන් නැවත ගල් අඟුරු භාවිතය කෙරෙහි යොමුවනවා. එසේ නම්, හරිත බලශක්ති ප්‍රභව සඳහා වැඩිපුර කටයුතු කළ යුත්තේ කවුරුන් ද?” යයි ඝානාවේ බලශක්ති අමාත්‍යවරයා නොබෝ දා ප්‍රශ්න කර සිටියා.
පරිසර හිතකාමී බලශක්ති ව්‍යාපෘති සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධනය සපයාගැනීම අප්‍රිකානු රටවලට අපහසු දෙයක් වන අතර බටහිර රටවල් ඒ සඳහා 2020 වනවිට වසරකට ඩොලර් බිලියන 100 ක් ලබාදීමට ප්‍රතිඥා දී තිබුණ ද එය ඉටුව නැහැ.
ඔවුන් චෝදනා කරන්නේ යුරෝපීයයන් කටින් බතල සිටුවනවා මිසක වැදගත් මැදිහත්වීමක් පරිසර හිතකාමී බලශක්ති වෙනුවෙන් නොකළ බවයි. යුරෝපීයයන් ලෝකය වටා කරක් ගසමින් කෙසේ හෝ සිය බලශක්ති අවශ්‍යතා ඉටු කරගනිද්දී අප්‍රිකානුවන් අඳුරේ සිටිය යුත්තේ මන්දැ යි අප්‍රිකානු නායකයින් ප්‍රශ්න කරනවා.
අප්‍රිකා – රුසියා සන්සන්දනය
අප්‍රිකාවේ දැනට සොයාගන ඇති සමස්ථ ස්වාභාවික වායු නිධි ප්‍රමාණය රුසියාවේ එම ප්‍රමාණයෙන් තුනෙන් එකක් පමණයි. උතුරු අප්‍රිකාවේ නිධි ප්‍රමාණය පමණක් සැලකුවහොත් එය රුසියාවේ ප්‍රමාණයෙන් සියයට දහයක් පමණයි. එමෙන්ම අප්‍රිකාවේ ස්වාභාවික වායු නිෂ්පාදනයට වඩා තුන් ගුණයක නිෂ්පාදන හැකියාවක් රුසියාවට තිබෙනවා.
2020 දී රුසියාවෙන් යුරෝපයට ඝන මීටර් බිලියන 185 ක් ගෑස් සපයා තිබෙනවා. අප්‍රිකාවෙන් සපයා ඇත්තේ එමෙන් හතර ගුණයකට ද අඩු ප්‍රමාණයක්. අප්‍රිකාවෙන් සැලකියයුතු ප්‍රමාණයක් ගෑස් නොලැබුණොත් යුරෝපයට රුසියාවෙන් ලැබෙන ගෑස් සැපයුම සම්පූර්ණයෙන් වසා දැමීම අපහසුයි. කෙටි කාලීනව අප්‍රිකානු සැපයුම විශාල වේ යයි සිතීම අපහසු වන අතර දීර්ඝ කාලීනව ද එයට රුසියානු සැපයුම හා තරග කළ හැකිද යන්න අවිනිශ්චිතයි.
මේ අතර යුරෝපයේ රටවල් 2022 – 2023 සිසිරය ඉතා කටුක වනු ඇති බවට උපකල්පනය කරමින් ඊට හැකි පමණ සූදානම් වනු දකින්නට පුළුවන්.