A/L Results ගැන ඔබ

August 29, 2022

? උසස්පෙළ විභාගයේ ප්‍රතිපල වලින් සතුටු වෙන ඔබට,
? අපෙන් උණුසුම් සුබ පැතුම්. අවුරුදු ගණනාවක් තිස්සේ මහන්සි වෙලා, දහඩිය හළලා, උත්සාහයෙන්, අධිෂ්ඨානයෙන් වගේම විවිධ කැප කිරීම් සහ අත්හැරීම් ඔස්සේ ආයෝජනය කළ කාලයට ඔන්න අද හොඳ විදිහට ප්‍රතිපල ලැබිලා තියෙනවා. ඔයාට වගේම දෙමාපියන්ටත්, ගුරුවරුන්ටත්, යාලුවන්ටත්, සහෝදර සහෝදරියන්ටත් ඒක සතුටක්.

? විශ්වවිද්‍යාල වරම් හිමි වෙලා තියෙනවා නම්,
? දැන්ම අධිෂ්ඨානයක් ඇති කරගන්න උසස් අධ්‍යාපනයත් සාර්ථකව නිමාවට පත් කරලා, උපාධියත් සම්පූර්ණ කරලා, තමන්ගේ සිහිනය කොහොම හරි ඇත්තක් කරගන්නවා කියලා. හැබැයි මතක තියාගන්න ඕන, විශ්වවිද්‍යාලයට පිවිසුනාට පස්සෙ උසස්පෙළ ප්‍රතිපල වල වටිනාකම කාලයත් සමඟ වියැකිලා යන බව. ඒ වගේම විශ්වවිද්‍යාලයේ උපාධිය ලබා ගෙන, ක්ෂේත්‍රයට ආවට පස්සෙ මතක තියාගන්න ඕන විශ්ව විද්‍යාලයේ විභාග ප්‍රතිපල කාලයත් සමඟ වියැකෙන බව. මොකද ක්ෂේත්‍රයට ආවට පස්සෙ උපාධියට හෝ ලකුණු වලට වඩා ක්ෂේත්‍රයේ රැදිලා ඉන්න අවශ්‍ය කරන්නෙ දැනුම, බුද්ධිය හා ආකල්පයි. ඒ වගේම තියෙන දැනුම ඔපමට්ටම් කරගැනීම වගේම, අලුතෙන් දැනුම ලබා ගැනීමත් අපි තත්පරයෙන් තත්පරය කරන්න ඕන. මොකද ලෝකයේ තියෙන සෑම දෙයක්ම තත්පරයෙන් තත්පරය වෙනස් වීමකට ලක් වෙනවා. ඔබ මේ මොහොතේ ලබා ගන්න දැනුම බොහෝ විට මීළග තත්පරයේදී යල් පැන ගිය දැනුමක් වෙන්න පුලුවන්.

? උසස්පෙළ ප්‍රතිපල වලින් සතුටු වන ඔබට විශ්වවිද්‍යාල වරම් හිමිවෙලා නැද්ද?
? එහෙනං අවසානය තෙක් කියවන්න.

☹️ උසස්පෙළ විභාගයේ ප්‍රතිපල වලින් සතුටු නැද්ද?
? ඒත් දුක් වෙන්න එපා. අපි ඔයාලට සුබ පතනවා. ඇයි ඒ? ජීවිතයේ සාර්ථක ගමනක් යන්න නම් අපිට හරියන්න වගේම අමාරු පාඩම් ඉගෙන ගන්නත් වෙනවා. ඒ වැරදීම් ඔස්සේ අපි පාඩම් ඉගෙන ගෙන, ඒක ධනාත්මක විදිහට විද දරාගෙන, ඉදිරි ජීවිතයට විශාල අත්දැකීමක් කරගෙන සාර්ථක ගමනක් යන්න පුලුවන්. උසස්පෙළ කියන්නෙ ජීවිතයේ එක කඩඉමක් විතරයි. මේ කඩඉමෙන් පස්සෙ ඔයාලා තෝරාගන්න ඉන්න කඩඉමට උසස්පෙළ ප්‍රතිපල බලපානවා නම්, තවත් එක් වතාවක් විභාගයට ඉදිරිපත් වෙලා උත්සාහ කරන්න. මේ විභාගයේදී ඔබ ලැබූ අත්දැකීම්, මීළග වතාවෙ විභාගයට මුහුණදෙන අවස්ථාවේදී වෙස්වළාගත්ත ආශිර්වාදයක් කරගන්න.

? ඒත් හිතෙනවා නම් දෙවනි වර උසස්පෙළ කළත් මේ ප්‍රතිපලමයි කියලා, එහෙනං අපි ඒ අදහස අත්හැර ගමු. මොකද එහෙම වුණොත් දෙවන වර උසස් පෙළ ලියන්න යොදවන කාලය, ඔයාට ඔයාගේ අනාගතයේ වෙනත් දෙයකට ආයෝජනය කරන්න පුලුවන්.

? හැබැයි උසස්පෙළින් පස්සෙ ඔයාලා තෝරගන්න ඉන්න මීළග කඩඉමට උසස්පෙළ ප්‍රතිපල බලපාන්නෙ නැත්නම්, තව තවත් උසස්පෙළ ප්‍රතිපල ගැන දුක් වෙන එක මෝඩකමක්! ඔබේ අනාගත සිහිනයට සමහරවිට උසස්පෙළ ප්‍රතිපල අවශ්‍ය නැති වෙන්නත් පුලුවන්. මේ කාලයේ නම් එහෙම අවස්ථා ඕනෑ තරම්.

? උසස් පෙළ ප්‍රතිපල වලින් විශ්වවිද්‍යාල වරම් අහිමි වුණු ඔබ මීළගට කරන්න ඕන මොකක්ද?
? මේක තීරණය කරන්න ඕන eLearning.lk අපිවත්, ඔයාගේ දෙමාපියන්වත්, සහෝදර සහෝදරියන් හෝ නෑදෑ හිතමිතුරන්වත් නෙවෙයි. ඔයාම තමයි. මොකද ඔයාගෙ අනාගතයට වටපිටාවෙ අය කියන වැරදි දේවල් එකතු කරගත්තොත්, වැරදෙන්නෙ ඔයාගේ දීප්තිමත් අනාගතය මිසක්, දැන් ඔයාව වට කරගෙන උපදෙස් දෙන අයට නෙවේ. තමන්ට වැරදෙනකොට සමහර විට එහෙම උපදෙස් දෙන අය අහලකවත් නැතිවෙයි.

? කමක් නෑ, ඒ අයගෙත් උපදෙස් අහන්න. හැබැයි තමන්ම තර්කානුකූලව, තමන්ගෙන්ම ප්‍රශ්න කරමින්, විචාරවත්ව කල්පනා කරලා බලන්න. මොකද දැනුමක් තේරුමක් තියෙන අය වගේම, එහෙම නැති අයටත් අපි “වැඩිහිටියො” කියලා කියන නිසා.

? තමන්ගේ අනාගතයේ සිහින සැබෑ කරගන්න නම් මුලින්ම ඔයාට තියෙන්න ඕන ආසාව කියන දේ. ආසාවක් නැති කිසිම දෙයක් කරන්න යන්න එපා. අනාගතේ විදවන්න වෙනවා සත්‍යයි. ඒ නිසා විදවන්න වෙන්නෙ නැති, ඒත් ආසාවෙන් විදින්න පුලුවන් ක්ෂේත්‍රයක් ගැන හිතන්න… දක්ෂතාවය, දැනුම, මුදල්….. ඔය කියන දේවල් පසුවට බලන්න ඕන දේවල්. අදාළ ක්ෂේත්‍රය ගැන ආසාවක් තියෙනවා නම්, ඊට පස්සෙ බලන්න ඒ ක්ෂේත්‍රය ඔස්සේ තමන්ට හැකියාවක් හා අනාගතයක් තියෙනවද කියලා. මොකද මුදල් ඉපයීම අත්‍යාවශ්‍යයි. කාටවත් ඒකට නෑ කියන්න බෑ. ඒ නිසා තමන් තෝරගන්න ඉන්න ක්ෂේත්‍රය ඔස්සේ ගියොත් තමන්ට සුබ අනාගතයක් තියෙනවද සහ ලෝකයේ ඒ ක්ෂේත්‍රයට හිමිවෙලා තියෙන ස්ථානයන් ගැන පොඩ්ඩක් හොයන්න.

? දැන්ටමත් හැකියාවක් තියෙනවා නම්, සුබ පැතුම්. ඒක වෙස්වළාගත්ත ආශිර්වාදයක්. හැබැයි දක්ෂතාවයක් සහ දැනුමක් නැතත්, ඒක ඔයාට මුදලක් ගෙවීමෙන් හෝ නොමිළේ ලබාගන්න පුලුවන් දස දහසක් වූ ක්‍රම තියෙනවා. මොකද අපි මේ ඉන්නෙ 21 වෙනි සියවසේ අගහරු වල ජනපදයක් ගොඩ නගන්න සැලසුම් කෙරෙන යුගයක.

? මීළගට බලන්න ඒ දැනුම ලබා ගන්න මුදලක් වැය වෙනවා නම් ඒ වැය වෙන මුදල ඔයා ළග තියෙනවද කියලා. එහෙම නැත්නම් දරා ගන්න පුලුවන්ද, ඉතුරු කරනවා නම් කොහොමද සැලසුම් කරන්න ඕන, ඉගෙන ගන්න ගමන් පාඩම් වැඩ වලට බාධා නොවෙන විදිහට පුංචි රස්සාවක් කරනවද, ණය ක්‍රමයකට යන්න වෙනවද, ණය ක්‍රමයකට යනවා නම් පොලී අනුපාත දරාගන්න පුලුවන්ද වගේ දේවල්…

? ඔයාටම අවස්ථාව තියෙනවා හොඳට හොයලා බලලා “පිළිගත්” භාහිර උපාධියකට හෝ පාඨමාලාවකට ඇතුළත් වෙන්න. එහෙම උසස් අධ්‍යාපනයට පිවිසෙන්න අකමැති නම්, ඒත් තමන්ට තමන් ගැන හොඳ අධිෂ්ඨානයක් තියෙනවා නම්, තමන්ගෙ දැනුම සහ තමන්ට තියෙන සම්පත් ගැන විශ්වාසයක් තියෙනවා නම් තමන්ගේම කියලා ව්‍යාපාරයක් බොහොම පුංචියට ආරම්භ කරන්න. එහෙමත් නැත්නම් එතනින් නතර නොවී ව්‍යවසායකයෙක් වෙන්න. සමහර අය උපාධිය අවසන් කළාට පස්සෙ මේ විදිහට කළත්, තවත් සමහර අය තමන්ගෙම කියලා ව්‍යාපාර ආයතන ගොඩනගාගෙන පවත්වාගෙන යන අතර වාරයේදී උසස් අධ්‍යාපනයට යොමු වෙනවා.

? දැනුම කියන්නෙ අසීමිත දෙයක්. ඕන කෙනෙක්ට දැනුම කියන දේ එක එක විදිහට ලබා ගන්න පුලුවන්. ඒ ලබා ගන්න දැනුම කාටවත් සොරකම් කරන්නත් බෑ. අද වෙනකොට ලකුණු, උපාධි වගේ දේවල් වලට වඩා බොහෝ අවස්ථා වලදි මුල්තැන දෙන්නෙ දැනුමට, හැකියාවන්ට, සාරධර්ම සහ ආකල්ප වර්ධනයටයි. ඔව්, ඔයා හරියට කියෙව්වා. සාරධර්ම සහ ආකල්ප වලටත් අද පුද්ගලික අංශයේ ආයතන වල මුල්තැන ලැබෙනවා. ඒ නිසා නිකරුණේ බය වෙන්න අවශ්‍ය නෑ. හැබැයි තත්පරයෙන් තත්පරය ලෝකය වෙනස් වෙන බවත්, තත්පරයෙන් තත්පරය තමනුත් තමන්ගේ දැනුම වඩ වඩාත් වර්ධනය කරගත යුතු බවත් මතකයේ තබා ගන්න.

? තව දෙයක්…… ඉංග්‍රීසි දැනුමත් පුලුවන් විදිහට වර්ධනය කරගන්න අමතක කරන්න එපා. පන්ති යන්නම ඕන නෑ. අඩුම තරමේ ඉංග්‍රීසි පත්තර, පොත්, ලිපි වගේ දේවල් කියවලා, රූපවාහිනී වැඩසටහන් බලලා, ගුවන්විදුලි වැඩසටහන් අහලා, අන්තර්ජාලයේ සාකච්ඡාමය වැඩසටහන් සහ අධ්‍යාපනික හෝ වාර්තාමය වැඩසටහන් බලලා වගේම චිත්‍රපට, කාටූන්, කතා මාලා, පරිගණක ක්‍රීඩා වගේ දේවල් ඔස්සෙත් ඉංග්‍රීසි දැනුම වැඩි කරගන්න පුලුවන්. හොඳම යාලුවො එක්ක වැරදි වැරදි හරි ඉංග්‍රීසියෙන් කතා කරන්න. කවුරු ඔයාට හිනා වුණත්, හොඳම යාලුවො කවදාවත් ඔයාට හිනා වෙන්නෙ නෑ. ඉස්සර ඉංග්‍රීසි අවශ්‍ය වුණේ ශ්‍රී ලංකාවෙන් පිට අය එක්ක ගණුදෙනු කරනවා නම් විතරයි. හැබැයි දැන් ඉංග්‍රීසි භාෂාව ශ්‍රී ලංකාව ඇතුළටම ඇවිත්. අපි දන්නෙම නැතුව අපි ළගටම ඇවිත්. ඉංග්‍රීසි භාෂාවේ මූලික සහ ප්‍රාථමික ව්‍යාකරණ සහ කථනයන් හරි ඉගෙන ගන්න එක අනිවාර්යෙන්ම කරන්න. මොකද දැන් අපිට ඉගෙනගන්න වගේම බොහෝ අය සමඟ ගණුදෙණු කරන්න වෙන්නෙත් ඉංග්‍රීසි මාධ්‍යයෙන්.

ඔයාලාගේ ඉදිරි දීප්තිමත් අනාගතයට eLearning.lk අපෙන් සුබ පැතුම්… ???

සතුටින් වුණත්, අසතුටින් වුණත්… ඔයාලා හැමෝටම වැදගත් පුංචි තිළිණයක් මෙතනින්

අපි eLearning.lk... විද්‍යාව, තාක්ෂණය හා විචාරවත් චින්තනය ප්‍රවර්ධනයට කැප වූ පුරෝගාමී ඩිජිටල් අවකාශය...