මෝදිට විකල්පය වඩා හොඳ මෝදි කෙනෙක්?

December 29, 2021

ඉන්දියාවේ මීළඟ මහමැතිවරණය පැවැත්වීමට නියමිතව තිබෙන්නේ 2024 වසරේයි. නමුත් මේ වනවිටත් අගමැති නරේන්ද්‍ර මෝදි සඳහා විකල්පය කවරෙක් වෙන්න අවශ්‍යද යන කතාබහක් නිර්මාණය වී තිබෙනවා. ඊට හේතු වී තිබෙන්නේ මෝදිගේ අසාර්ථකත්වයට වඩා, විපක්ෂය තුළ පවතින නායකත්වයක් නොමැති ස්වභාවයයි. මේ අතර මෝදිට විකල්පයක් වීමට මෝදිට වඩා හොඳින් කටයුතු කරන නමුත් මෝදි වැන්නකු පිළිබඳ ද කතාබහක් ඇතිවී තිබෙනවා.

සාමාන්‍යයෙන් ඉන්දියාවේ ප්‍රධාන විපක්ෂය වන්නේ කොන්ග්‍රස් පක්ෂයයි. පසුගිය දශකයක පමණ කාලය තුළ කොන්ග්‍රස් පක්ෂයට හිමිව ඇත්තේ බහින කලාවයි. යම් යම් ප්‍රාන්තවල මැතිවරණ ඔවුන් ජයග්‍රහණය කළත් පොදුවේ පසුගිය දශකය තුළ පැවති මැතිවරණවලින් සියයට 90 ක් ම ඔවුන් පරාජයට පත්ව තිබෙනවා.

කොන්ග්‍රස් පක්ෂයේ නිල නායකයකු තවම නැහැ. 2019 පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රාහුල් ගාන්ධි තවදුරටත් නායකත්වයේ නොරැඳෙන බව ප්‍රකාශ කළා. නමුත් වෙනත් නායකයකු පත්කිරීමට පක්ෂය ක්‍රියා කළේද නැහැ. එහෙයින් තවමත් එහි නායකයා ලෙස පෙනී සිටින්නේ ඔහුයි. කෙසේ වෙතත් වසර දෙකකට වැඩි කාලයක් හරිහැටි නායකයෙක් පත් නොකරගෙන පක්ෂය ගෙනයන තත්ත්වයක් මතුවී තිබෙනවා.

මෙවැනි තත්ත්වයකදී තමයි මෝදිට එරෙහිව 2024 මැතිවරණයේදී විකල්පය කවරකු වියයුතුද යන කරුණ මතුවන්නේ.

මමතා බැනර්ජි
විශේෂයෙන්ම 2021 බටහිර බෙංගාල මහමැතිවරණය ජයගැනීමත් සමග එහි මහ ඇමතිණිය වන මමතා බැනර්ජි විපක්ෂයේ ප්‍රබලම චරිතයක් ලෙස ඉස්මතු වෙමින් තිබෙනවා. ඇගේ පක්ෂය වන සමස්ථ ඉන්දීය ත්‍රිණමූල් කොන්ග්‍රසය බටහිර බෙංගාලයෙන් ඔබ්බට ව්‍යාප්ත වීමට පටන්ගෙන තිබෙනවා. නමුත් 2024 වනවිට තනිව රට පුරා ප්‍රබල ලෙස ව්‍යාප්ත වන්නට එම පක්ෂයට හැකියාවක් තිබේ යයි සිතීමට අපහසුයි.

බැනර්ජි පිළිබඳ කතාබහ වර්ධනය වීමට හේතුවී ඇති ප්‍රධානම කරුණු අතර ඇය සටන්කාමී නායිකාවක වීම මෙන්ම ඇය ජයග්‍රාහී නායිකාවක වීම ද වැදගත් වනවා. බටහිර බෙංගාලයේ දශක ගණනක් තිස්සේ බලය දැරූ වාමාංශික පක්ෂ සම්පූර්ණයෙන්ම බිමට සමතලා කළ ඇය මෙවර ද භාරතීය ජනතා පක්ෂයේ දැඩි ප්‍රහාරයකට මුහුණ දී ජයග්‍රාහී ලෙස මතුවුණා.


මමතා බැනර්ජි

කෙසේ වෙතත් බැනර්ජි මෝදි සමග සටන් කිරීමට සුදුසු විකල්පයද යන ප්‍රශ්නය ඇතැම් විචාරකයන් මතු කරනවා. ඇගේ පක්ෂය ජාතික මට්ටමේ පක්ෂයක් නොවන හෙයින් ද කොන්ග්‍රස් පක්ෂය ඇගේ නායකත්වය යටතේ වන සන්ධානයකට එක්වේ යයි සිතිය නොහැකි හෙයින් ද ඇගේ නායකත්වය යටතේ වන සන්ධානයක් පිහිටවූවත් එය මැතිවරණයක් ජයගනු ඇතැයි සිතන්නට අපහසුයි.

අනෙක් අතට කිසියම් අයුරකින් බැනර්ජි යටතේ සමස්ථ විපක්ෂයේ කොන්ග්‍රස් පක්ෂය ද ඇතුළත් පුළුල් සන්ධානයක් ගොඩනැගුණ ද බැනර්ජි යනු මෝදිට එරෙහිව සුදුසු විකල්පයක් නොවන්නට ඉඩකඩ තිබෙනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඉන්දියාවේ දේශපාලන විශ්ලේෂකයකු වන සුජිත් නෙයාර් මෑතකදී කළ විග්‍රහයකදී මේ බව පෙන්වාදෙනු ලැබුණා. ඔහු පෙන්වාදුන් පරිදි මෝදි මෙන්ම මමතා බැනර්ජි ද දැඩි නායකයින් ලෙසත්, සමාජයේ ඉහළ පැළැන්තියේ නොවන අය ලෙසත්, දේශපාලනයේ දිගු කලක් රැඳී සිටිමින් කටයුතු කළ අය ලෙසත්, ජයග්‍රාහී නායකයන් ලෙසත් සැලකිය හැකියි. බැනර්ජි වෙතින් ද බලාපොරොත්තු විය හැක්කේ මෝදි මෙන්ම දැඩි නායකත්වයක්. ආගම සම්බන්ධ කරුණේදී පැහැදිලි වෙනසක් ඔවුන් අතර ඇතත් ඒ මත පමණක් සම්පූර්ණ ඡන්දයක් වෙනස් වීම සිතීමට අපහසුයි.

2024 වනවිට මෝදි සාර්ථක නායකයකු ලෙස තවදුරටත් පිළිගැනුණහොත් ඔහු වෙනුවට වෙනත් අයකු ජනතාව බලාපොරොත්තු නොවනු ඇති. යම් හෙයකින් මෝදි අසාර්ථක වේ නම් මෝදි වැනි වෙනත් අයකු බලාපොරොත්තු වේ යයි සිතන්නට ද අපහසුයි. මෝදි අසාර්ථක වේ නම් ජනතාව ඉල්ලා සිටිනු ඇත්තේ මෝදිට වඩා වෙනස් අයෙක්. එම කොන්දේසිය සැලකීමේදී මමතා බැනර්ජිට වඩා වෙනස් අයකු විකල්පය වියයුතු යයි සිතිය හැකියි.

කොන්ග්‍රස් පක්ෂ විකල්පයක්
විපක්ෂයේ කිසිදු නායකයකුට ජාතික මට්ටමේ බලවේගයක් ගොඩනැගීම පහසු වන්නේ නැහැ. එසේ වන්නට නම් කොන්ග්‍රස් පක්ෂය ද ඊට එකතු වියයුතුයි. කොන්ග්‍රස් පක්ෂය එවැන්නකට නායකත්වය දෙන්නට නම් කොන්ග්‍රස් පක්ෂයේ පැහැදිලි ව්‍යුහාත්මක වෙනසක් විය යුතුයි.

කොන්ග්‍රස් පක්ෂයට තවමත් නේරු/ගාන්ධි පවුලෙන් ගැලවීමට නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. සත්‍ය වශයෙන්ම ගාන්ධි පවුලට කොන්ග්‍රස් පක්ෂය අවශ්‍ය වනවාටත් වඩා සිදුව ඇත්තේ කොන්ග්‍රස් පක්ෂයට ගාන්ධි පවුල අවශ්‍ය වීමයි. නමුත් එහි අතුරුඵලය වී ඇත්තේ වෙනත් ජාතික මට්ටමේ විකල්ප නායකත්වයක් පක්ෂය තුළින් බිහි නොවීමයි.


රාහුල් ගාන්ධි

වර්තමාන කොන්ග්‍රස් පක්ෂය ද ඇත්ත වශයෙන්ම මුලින්ම තිබුණු කොන්ග්‍රස් පක්ෂය නොවේ. ඉන්දිරා ගාන්ධි කොන්ග්‍රස් පක්ෂයේ නායකත්වයට පත්වෙද්දී පක්ෂ යාන්ත්‍රණයේ බොහෝ ප්‍රබලයින් ඇය සමග වූයේ නැහැ. ඇය කළේ පක්ෂය කඩාගෙන යාමයි. ඉන් අනතුරුව පැරණි පක්ෂය දියාරුව ගිය අතර ඉන්දිරාගේ කොන්ග්‍රසය බලයට ද පැමිණියා.

එහෙත් අද වනවිට පවතින නායකත්වයට පක්ෂය ඉදිරියට ගෙනයන්නට නොහැකි සේම ඉන්දිරා කළ අයුරින් පක්ෂය කඩාගෙන ගොස් විකල්ප කොන්ග්‍රසයක් සෑදීමට හැකි ජගතෙක් ද නැහැ. කොන්ග්‍රස් පක්ෂය ජාතික මට්ටමේ නායකත්ව අහේනියකින් පසුවනවා. එහෙයින් මෝදිට විකල්පයක් සොයන උත්සාහය ද දිගටම ක්‍රියාත්මක වනු ඇති බවක් පෙනී යනවා.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.