අසර්බයිජාන – ආර්මේනියා දේශසීමාව නැවතත් ඇවිලෙයි

September 23, 2022

අසර්බයිජානය සහ ආර්මේනියාව අතර දේශසීමාව පසුගිය දා නැවත වතාවක් ඇවිලීගියා. 2022 සැප්තැම්බර් 13 සිට දෙපාර්ශවය අතර ඇතිවූ ගැටුම්වලින් සෙබළුන් 176 දෙනකු මියගිය බව සැප්තැම්බර් 16 වනදා වනවිට වාර්තා වුණා.

අසර්බයිජානය පැවසූයේ සිය හමුදා සාමාජිකයන් 71 දෙනකු සටන් හේතුවෙන් මියගිය බවයි. තම හමුදාවන් හි 105 දෙනකු මියගිය බව ආර්මේනියාව සඳහන් කර තිබුණා.

සටන් නැවැත්වීම සඳහා සැප්තැම්බර් 13 වනදා රුසියාවේ මැදිහත්වීමෙන් ඇතිකරගනු ලැබූ සටන් විරාමය බිඳවැටුණ නමුත් සැප්තැම්බර් 14 බදාදා රාත්‍රියේ ක්‍රියාවට නැගුණු සටන් විරාමය බොහෝදුරට ආරක්ෂා වූ බවයි වාර්තා වූයේ.

මේ අතර දෙරට අතර සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය ද මැදිහත්කරුවකු ලෙස ක්‍රියාකර තිබුණා. ආර්මේනියානු සහ අසර්බයිජාන නිලධාරීන් එක්සත් ජනපදයේදී සාකච්ඡා කරන බවක් මාධ්‍ය වාර්තාවල සඳහන් වුණා.


නගර්නෝ – කරබාක් ප්‍රදේශය

මෙම ගැටුම් බොහෝකොටම වාර්තා වූයේ මතභේදයට තුඩු දී ඇති නගර්නෝ-කරබාක් ප්‍රදේශය ආශ්‍රිතව නොව දේශසීමාවෙහි අනෙකුත් ප්‍රදේශයන්වල බවයි එම ප්‍රදේශයෙන් ලැබෙන වාර්තාවලින් කියැවුණේ. අසර්බයිජාන හමුදා දේශසීමාව හරහා තමන්ට කිසිදු හේතුවක් නොමැතිව පහරදුන් බව ආර්මේනියාව ප්‍රකාශ කළ අතර අසර්බයිජානය පවසන්නේ තමන් ආර්මේනියානු පෙළඹවීම් හේතුවෙන් පහරදුන් බවයි.

මේ අතර මෙම ගැටුම් හේතුවෙන් ආර්මේනියාවේ දේශපාලන අර්බුදකාරී වාතාවරණයක් නිර්මාණය වුණා. ඊට හේතු වී තිබුණේ ආර්මේනියානු අගමැති නිකොල් පෂින්යාන් විසින් සිදුකරන ලද ප්‍රකාශයක් බවයි විදෙස් මාධ්‍ය පෙන්වා දුන්නේ. අසර්බයිජානය විසින් අත්පත් කරගෙන සිටින ආර්මේනියානු බිම් ප්‍රදේශ ආපසු පවරා දෙන්නේ නම් අනාගත සාම ගිවිසුමක් මගින් අසර්බයිජානයේ භෞමික අඛණ්ඩතාව පිළිගතහැකි බව පෂින්යාන් පවසා තිබුණා. මෙය නගර්නෝ-කරබාක් හි අසර්බයිජාන පාලනය පිළිගැනීමේ සූදානමක් බව පවසමින් ඔහුගේ ප්‍රතිවාදීන් විරෝධතා පැවැත්වූවා.

@elearninglk

නගර්නෝ – කරබාක් ගැටුම
නගර්නෝ – කරබාක් ප්‍රදේශය අරභයා පවතින ගැටුමෙහි මූලයන් රුසියානු අධිරාජ්‍යය සමයෙහි දකුණුදිග කොකේසස් කඳුකරයෙහි පරිපාලන ව්‍යුහයන් කරා දිවෙනවා. මේ ප්‍රදේශයන් හි ගමනාගමනය දුෂ්කර වීම හේතුවෙන් එක් එක් ජන කණ්ඩායම් විවිධ ප්‍රදේශවල විසිර සිටිනවා. එහෙයින් ආර්මේනියානුවන් වැඩි දෙනකු සිටින පළාතක අසර්බයිජාන ජනයා වාසය කරන ප්‍රදේශ ද අසර්බයිජාන ජනයා වැඩිපුර වාසය කරන පළාතක ආර්මේනියානු ජනතාව ජීවත් වන ප්‍රදේශ ද දකින්නට ලැබුණා.

පළමු ලෝක යුද්ධයේ අවසන් සමය වනවිට බෝල්‍ශවික් විප්ලවය සහ තුර්කි හමුදා මෙහෙයුම් හේතුවෙන් මෙම ප්‍රදේශයේ රුසියානු බලපෑම අඩු වුණා. ඒ සමගම ආර්මේනියාව​, අසර්බයිජානය සහ ජෝර්ජියාව ස්වාධීන ප්‍රදේශ ලෙස ඉස්මතු වන්නට වුණා. නමුත් මෙම ප්‍රදේශයන් හි දේශසීමා අතර ගැටළු තිබුණා. පෙර කී හේතුව නිසා එක් එක් ප්‍රදේශවල අන් ජාතීන් පදිංචි වී සිටි ප්‍රදේශ දකින්නට තිබීම ඊට හේතුවයි.

1920-21 වනවිට මෙම ප්‍රදේශයන් හි බෝල්ශවික් පාලනය ස්ථාපිත කරනු ලැබුණා. බෝල්ශවික් ආණ්ඩුව සෝවියට් දේශයේ ජාතික ප්‍රතිරෝධතා මැඩගෙන සිටින්නට සමත් වුණා. ඔවුන් සඳහන් කළේ සෝවියට් දේශය තුළ සියළු ජනයා සමාන බැවින් දේශසීමා අර්බුද​, ජනවාර්ගික අර්බුද ආදිය එතරම් වැදගත් නොවන බවයි. කෙසේ වෙතත් මෙහි අතුරු ඵලයක් වූයේ පැවති අර්බුද සමනය කිරීම වෙනුවට ඒවා යටපත් වී තිබීමයි.

අසර්බයිජාන භූමියෙන් වටව තිබෙන ආර්මේනියානු ජනයා වැඩි වශයෙන් ජීවත් වූ නගර්නෝ-කරබාක් ප්‍රදේශය අරභයා ඇතිවූ අර්බුදය ද එවැන්නක්. ආර්මේනියාව විසින් මෙම ප්‍රදේශය තම සමූහාණ්ඩුව වෙත ඒකාබද්ධ කරන ලෙස ඉල්ලා සිටිය ද එය සිදුවූයේ නැහැ. සත්‍ය වශයෙන්ම ගමනාගමනය අතින් ගත් කළ, අතීතයේ දී ආර්මේනියාවේ යෙරවාන් සිට මෙම ප්‍රදේශය වෙත ගමන් කරනවාට වඩා පහසුවෙන් අසර්බයිජානයේ බාකු සිට මෙම ප්‍රදේශයට ළඟාවිය හැකිව තිබුණා. එනමුත් මෙහි වූ ජනයා අසර්බයිජානයේ පාලනය යටතේ සිටීමට කැමැත්තක් දැක්වූයේ නැහැ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මෙම ගැටුම උණුසුම් වන්නට වූයේ මිහායිල් ගොර්බචොෆ් විසින් සෝවියට් දේශයේ හඳුන්වාදුන් පෙරෙස්ත්‍රොයිකා සහ ග්ලාස්ත්නොස්ත් ප්‍රතිපත්ති නිසයි. මේ සමගම මධ්‍යම රජයේ බලපෑම ලිහිල් වෙද්දී මෙම ජනවාර්ගික ගැටුම පුපුරා ගියා. එය විසඳීමට හැකියාවක් ගොර්බචොෆ්ට ද වූයේ නැහැ.

සෝවියට් දේශයේ අවසන් වසරවලදී ඇතිවූ මෙම ගැටුම් 1991 දී ආර්මේනියාව සහ අසර්බයිජානය අතර යුද්ධයක් ලෙස වර්ධනය වුණා. මෙහිදී වඩා වැඩි වාසි සලසාගත්න් ආර්මේනියාව යි. 1994 දී සටන් විරාමයකට එකඟ වනවිට ආර්මේනියානුවන් නගර්නෝ-කරබාක් මෙන්ම අසර්බයිජානයේ තවත් ප්‍රදේශ සමහරක් ද තමන් අතට පත්කරගත්තා. කෙසේ වෙතත් 2020 දී නගර්නෝ-කරබාක් අරභයා ඇතිවූ යුද්ධය අවස්ථාවේ එම ප්‍රදේශයෙන් විශාල කොටසක් මෙන්ම ආර්මේනියානු පාලනය යටතේ වූ අසර්බයිජාන ප්‍රදේශ රැසක් ද අල්ලාගන්නට අසර්බයිජානය සමත් වුණා.


Click on the Image

ඇමරිකානු මිත්‍රත්වය​
නොබෝදා ආර්මේනියානු සහ අසර්බයිජානු හමුදා අතර ඇතිවූ ගැටුමෙන් දින කිහිපයක් ඇතුලත ඇමරිකානු නියෝජිත මන්ත්‍රී මණ්ඩල කතානායිකා නැන්සි පෙලෝසි ආර්මේනියාවෙ සංචාරය කළා. එය ඉතා වැදගත් සංචාරයක් ලෙස හඳුනාගත හැකි වුණා. එක් අතකින් ආර්මේනියාවේ සම්ප්‍රදායික මිතුරා වූ රුසියාවට රිදවන පියවරක් ලෙස එය සැලකිය හැකියි.

අනෙක් අතට රුසියානු මිත්‍රත්වය මගින් ආර්මේනියාවට ලැබුණු වාසියක් නොවන බවට වන අදහස ද ඊට හේතු වුණා. අසර්බයිජාන ප්‍රහාර හමුවේ සැලකියයුතු ප්‍රදේශ අහිමි වනවිට ආර්මේනියාව වෙනුවෙන් රුසියාව විසින් සිදුකළේ කුමක්ද යයි ප්‍රශ්න නැගෙමින් තිබෙනවා. එමෙන්ම රුසියාව සහ අසර්බයිජානය අතර ද යහපත් සම්බන්ධතාවක් ඇතැයි පෙනෙන අතර එය ද ආර්මේනියානුවන්ට ගැටලුවක් බවට පත්ව තිබෙනවා.


පෙලෝසි ආර්මේනියාවේදී

මෙසේ ආර්මේනියාව සහ ඇමරිකාව අතර මිත්‍රත්වය වර්ධනය වීම කෙටි කාලීනව රුසියාවට එරතම් යහපත් නොවේ යයි සිතිය හැකියි. නමුත් ආර්මේනියානු – ඇමරිකානු මිත්‍රත්වය ද කිනම් ආකාරයේ වේදැ යි දැන්ම කිව නොහැකියි.

මේ අතර අසර්බයිජානයට තුර්කිය ප්‍රබල ලෙස සහය දෙන අතර එම තත්ත්වය නුදුරු අනාගතයේදී ඒ අයුරින් තිබෙනු ඇති. ඇමරිකානු මිත්‍රත්වය තුලින් ආර්මේනියානුවන්ට තමන් අහිමි කරගත් බිම් ප්‍රදේශ ලබාගැනීමට ප්‍රමාණවත් සහයක් ලැබේදැ යි දැන්ම කිව නොහැකියි.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.