පාකිස්ථානයේ බලූචිස්ථාන් කැරැල්ලේ අලුත්ම උපක්‍රමය​

පාකිස්ථානයේ කරච්චි සරසවිය දෙසට ඇදෙන වෑන් රථය​ ගමන් කරන මාර්ගය අසළ පදික වේදිකාවේ සම්ප්‍රදායික ඇඳුමින් සැරසී මුහුණ වසාගෙන සිටි කාන්තාවක සිටියා. බස් රථය තමා අසළින් යනවිට ඈ එදෙසට කුඩා පියවරක් තබා එකවරම තමන් බැඳගෙන පැමිණි බෝම්බය පුපුරවාගත්තා. මේ සිද්ධිය සමග බලූචිස්ථාන් බෙදුම්වාදී ව්‍යාපාරය මරාගෙන මැරෙන කාන්තා බෝම්බකරුවන් යොදාගැනීම අරඹා තිබෙනවා.

මෙම බෝම්බ ප්‍රහාරයේ වැදගත් ලක්ෂණ කිහිපයක් වනවා. එකක් නම් එහි ඉලක්කය යි. මෙම ප්‍රහාරය ඉලක්ක කළේ කරච්චි සරසවියේ කොන්ෆියුසියස් ආයතනය වෙත ගමන් කරමින් සිටි චීන ජාතිකයන් කිහිප දෙනෙකුයි. එම ආයතනයේ චීන බස උගන්වන තිදෙනකු මෙම ප්‍රහාරයෙන් මියගිය බව මාධ්‍ය වාර්තා සඳහන් කළා.


බෝම්බ ප්‍රහාරයට ලක්වූ වෑන් රථය

එමෙන්ම මෙම ප්‍රහාරය ක්‍රියාත්මක කළේ උගත් තරුණ කාන්තාවක්. තිස් එක් හැවිරිදි ෂාරි බලූච් දෙදරු මවක්. ගුරුවරියක වූ ඇය සත්ත්ව විද්‍යාව පිළිබඳ විද්‍යාපති උපාධියක් ලබා සිටි අතර ඇගේ සැමියා දන්ත වෛද්‍යවරයෙක්. කරුණු කිහිපයක් හේතුවෙන්, ඇගේ ප්‍රහාරය බලූච් අරගලයේ සන්ධිස්ථානයක් පැහැදිලිව පෙන්නුම් කරන අවස්ථාවක් ලෙස සැලකිය හැකියි. ඒ පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර අප බලූච් බෙදුම්වාදී අරගලයේ අතීතය දෙස හැරී බලමු.

බලූච් ජාතිකවාදය
බලූචිස්ථාන් ප්‍රදේශය යනු පාකිස්ථානයේ බලූචිස්ථාන් ප්‍රාන්තයත්, ඉරානයේ සිස්ටාන් සහ බලූචිස්ථාන් පළාතත්, ඇෆ්ඝනිස්ථානයේ බලූචි ජනයා වසන ප්‍රදේශයත් ආවරණය කෙරෙන කලාපයක්. පාකිස්ථානයේ බලූච් ජාතිකයන් මිලියන 7 කට ආසන්න ප්‍රමාණයක් වාසය කරන අතර ඉරානයේ මිලියන දෙකක් පමණ ද ඇෆ්ඝනිස්ථානයේ අවම වශයෙන් 500,000 ක් පමණ ද එම ජනයා වාසය කරනවා.

@elearninglk

ඇෆ්ඝනිස්ථානයේ බලූච් ජනගහනය පිළිබඳ විවිධ ඇස්තමේන්තු පවතිනවා. පාකිස්ථානයේ බලූචිස්ථාන් ප්‍රාන්තයේ ජනගහනයෙන් අඩක් පමණ බලූච් ජනතාවයි. තවත් තුනෙන් එකක් පමණ පථාන්වරුන් වනවා. ප්‍රාන්ත අගනුවර වන ක්වෙටා හි බහුතර ජනයා පථාන්වරුන් බවයි අනුමාන කෙරෙන්නේ.

බලූච් ජාතිකවාදීන් පවසන්නේ බලූච් ජනයාට ස්වකීය රාජ්‍යයක් තිබිය යුතු බවයි. බලූච් ජනයා බහුතරයක් ඉස්ලාම් භක්තිකයන් වුවද මෙම ජාතිකවාදීන් බහුතරයක් දෙනා ආගම නොව ජාතිය පදනම් කරගත් අනන්‍යතාවයට මුල්තැන දෙන අතර තමුන්ව සලකන්නේ ඓහික (secular) දේශපාලන ව්‍යාපාරයක් ලෙසයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

බලූච් ජාතිකවාදී ව්‍යාපාරය වැඩියෙන්ම ප්‍රබල වන්නේ පාකිස්ථානයේ යි. එහි ආරම්භය කලාත් රාජ්‍යය කරා දිවෙනවා. වර්තමාන බලූචිස්ථාන ප්‍රාන්තයේ කොටසක කලාත් රාජ්‍යය වූ අතර එය බ්‍රිතාන්‍ය පාලන සමය තුළදී පැවති කුමාරවර රාජ්‍යයක් වුණා. 1947 දී පාකිස්ථානය ස්වාධීන රාජ්‍යයක් බවට පත්වූ පසු ස්වල්ප කලක් ස්වාධීන රාජ්‍යයක් ලෙස පැවති කලාත් රාජ්‍යය පසුව පාකිස්ථානය හා ඒකාබද්ධ වුණා.

කෙසේ වෙතත් කලාත් රාජ්‍යය ස්වාධීන විය යුතු යයි බලාපොරොත්තු වූ බලූච් ගෝත්‍රික නායකයන් එකල ස්වාධීනත්වය වෙනුවෙන් පෙනී සිටින්නට වුණා.


බලූච් ජාතිකයන් වැඩි වශයෙන් ජීවත්වන ප්‍රදේශ රෝස පැහැයෙන් දැක්වේ

බලූච් ජාතිකවාදී අරගල මීට ප්‍රථම සිව් වතාවක් හටගත් නමුත් ඒවා වැඩිකල් පැවැතුණේ නැහැ. කෙසේ වෙතත් 2000 වසරේ සිට ක්‍රියාත්මක කැරැල්ල දැන් දශක දෙකකට වඩා ක්‍රියාත්මකයි.

එහි කැරලිකාර කණ්ඩායම් කිහිපයක් ක්‍රියාත්මක අතර එයින් ප්‍රධාන වන්නේ බලූචිස්ථාන් විමුක්ති හමුදාවයි. මෙම කණ්ඩායම් පාකිස්ථානය විසින් ත්‍රස්ත සංවිධාන ලෙස සලකනු ලබනවා.


Click on the Image

ෂාරි බලූච්ගේ මරාගෙන මැරෙන ප්‍රහාරයෙන් නැවත පැහැදිලි වූ කරුණක් වූයේ අතීතයේ ගෝත්‍රික නායකයන් විසින් මෙහෙයවන ලද බලූච් බෙදුම්වාදී අරගලය මේ වනවිට මධ්‍යම පාන්තිකයන් විසින් මෙහෙයවනු ලබන බවයි.

ඒ බව පැහැදිලි ලෙස හුවා දක්වන අවස්ථාවක් ලෙස මෙම ප්‍රහාරය එහි සන්ධිස්ථානයක් ලෙස සැලකිය හැකියි.

එමෙන්ම කාන්තා මරාගෙන මැරෙන බෝම්බකාරියන් යොදාගැනීම මීට ප්‍රථම බලූච් බෙදුම්වාදීන් විසින් සිදු නොකරන ලද්දක් හෙයින් එලෙස ද එහි වැදගත්කමක් වනවා.

මෑතක් වනතුරුම ඔවුන් විසින් මරාගෙන මැරෙන ප්‍රහාර සලකන ලද්දේ අප්‍රියජනක ක්‍රියාවක් ලෙසයි. නමුත් මේ වනවිට එම තත්ත්වය වෙනස්ව තිබෙන බව පෙනී යනවා.

චීන විරෝධය
බලූචිස්ථානය පාකිස්ථානයේ භූමි ප්‍රමාණයෙන් විශාලම ප්‍රාන්තයයි. එමෙන්ම එහි ස්වභාවික සම්පත් ද රැසක් වනවා. නමුත් එම ප්‍රාන්තය එහි දරිද්‍රතාවයෙන් ඉහළම ප්‍රදේශයක් ලෙස ද සැලකෙනවා. අතීතයේදී බලූච් ජාතිකවාදීන්ගේ ප්‍රධාන චෝදනාවක් වූයේ පාකිස්ථාන ආණ්ඩු තමන් නොසලකා හරින බවයි.

නමුත් දැන් සිදුව ඇත්තේ එහි සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ තත්ත්වය යි. දශක දෙකකට පෙර මතුවූ බලූච් ජාතිකවාදී බෙදුම්වාදී අරගලය තුළ දිනෙන් දින වැදගත් සටන් පාඨයක් වන්නේ චීන විරෝධයයි. චීනය පාකිස්ථානයේ විශාල වශයෙන් ආයෝජනය කරන අතර බලූචිස්ථානය වෙත ද එම ආයෝජන විශාල වශයෙන් ලැබෙනවා. චීනය විසින් සංවර්ධනය කෙරෙන ග්වාදාර් වරාය ද පිහිටා ඇත්තේ බලූචිස්ථානයේ යි. එය චීනයට ඉන්දියන් සාගරය වෙත ප්‍රවේශ වීමේ මාර්ගයක් ලෙස අතිශයින්ම වැදගත් වනවා. එමෙන්ම ආර්ථික වශයෙන් අඩපණව සිටින පාකිස්ථානයට ද චීන ආයෝජන අත්‍යවශ්‍යයි.


බලූච් විමුක්ති හමුදා සාමාජිකයන් පිරිසක්

නමුත් බලූච් ජාතිකවාදීන් විශ්වාස කරන්නේ චීනය විසින් ගෙනෙන ආයෝජන හේතුවෙන් අන් ප්‍රදේශවල ජනයා වැඩියෙන් බලූචිස්ථානය වෙත පැමිණ තමන් සුළුතරයක් වනු ඇති බවයි. අනෙක් අතට චීනය මෙසේ බලූචිස්ථානයේ ආයෝජන කිරීමෙන් එහි සම්පත් සූරාගෙන යනු ඇති බව ද ඔවුන් චෝදනා කරනවා.

පසුගිය වසර කිහිපය තුළ බලූචිස්ථාන ප්‍රාන්තයේ මෙන්ම කරච්චි නගරයේදී චීන ජාතිකයන් ඉලක්ක කරගෙන ප්‍රහාර කිහිපයක්ම එල්ල වී තිබෙනවා. කෙසේ වෙතත් එම ප්‍රහාර හේතුවෙන් චීනය පාකිස්ථානයේ සිදුකරන කටයුතු අතැර දමනු ඇතැයි විශ්වාස කළ නොහැකියි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.