Band of Brothers වැරදියි?
Band of Brothers කියලා කියන්නෙ දෙවන ලෝක යුද්ධය සම්බන්ධව නිර්මාණය වුණු කතා අතරින්, වැඩිම පිරිසකගේ ආදරය දිනා ගත්ත කතාවක්. ස්ටීවන් ස්පිල්බර්ග්, ටොම් හෑන්ක්ස් වගේ දැවැන්ත අධ්‍යක්ෂකවරු සහ නිෂ්පාදකවරු කිහිප දෙනෙක් එකතුවෙලා, අවුරුදු 5ක් තිස්සෙ වෙහෙස මහන්සියෙන් නිර්මාණය කරපු මේ කතාව, පළවෙනි වතාවට විකාශය කරන්නෙ 2001 අවුරුද්දෙදි. අතිදක්ෂ රංගන ශිල්පීන් සෑහෙන ප්‍රමාණයක් රගපාපු මේ කතාවෙ කොටස් 10ක් තියෙනවා.
මේ ලිපිය ලියන්න හිතුනේ මේ කතාව ගැන කියන්න නම් නෙවේ. මේ කතාවේ තිබුණු වැරදි තැන් කිහිපයක් ගැන පෙන්නලා දෙන්නයි. මේ කතාව බලලා, මේ මෙහෙයුම්වලට සම්බන්ධ ලිපි, පින්තූර සහ වීඩියෝ දර්ශන හිසේ කෙස් ගාණටත් වඩා බැලුවා. ඒ වගේම හොදට අධ්‍යනය කළා. එතකොට මේ කතා මාලාව සහ සැබෑ ඉතිහාසයේ තියෙන කරුණුවල පරස්පර විරෝධී තැන් කිහිපයක් මතු වුණා.
මේ කතාවෙන් දෙවන ලෝක යුද්ධය ගැන සෑහෙන දේවල් ගොඩක් ඉගෙන ගන්න පුලුවන්. හැබැයි ඒ වැරදි තැන් නිසා, මේ කතා මාලාවේ සත්‍ය සිදුවීම් සම්බන්ධව සහ ඒවායේ විශ්වාසනීයත්වය ගැන ප්‍රශ්න ඇති වෙනවා. ඉතින් මේ ලිපිය වෙන් වෙන්නෙ මේ කතා මාලාව බලලා තියෙන අය වෙනුවෙන්. ඒ, මේ කතා මාලාවේ වැරදි අඩුපාඩු කිහිපයක් පෙන්නලා දීලා, Band of Brothers රසිකයින්ගේ වැරදි අවබෝධයන් නැති කරන්නයි. දැන් අපි බලමු මේ කතාවේ තියෙන වැරදි තැන් මොනවාද කියලා.
මේ කතා මාලාවේ තුන්වන කොටස වෙන් කරලා තියෙන්නේ ජර්මානු හමුදාවන්ගේ බල ප්‍රදේශයක් විදිහට තියෙන, ප්‍රංශයේ “කැරෙන්ටන්” ප්‍රදේශය මුදවා ගැනීමේ මෙහෙයුම ගැනයි. මේ කොටසේ ප්‍රධාන කතා නායකයා වෙන්නෙ සාමාන්‍ය සෙබළ “ඇල්බර්ට් බ්ලයිත්”. කතාවේ අන්තිම හරියෙදි කැරෙන්ටන් මායිමේදී ජර්මානු හමුදා ඉන්න ලදු කැළෑවකට ඇතුල් වෙනකොට, ස්නයිපර්කරුවෙක් බ්ලයිත්ගෙ බෙල්ලට වෙඩිල්ලක් තියනවා. තුවාලය නිසා අසාධ්‍ය තත්වයකට පත්වෙන බ්ලයිත්ව, ඉක්මනටම ප්‍රතිකාර කරන්න රෝහල් ගත කරනවා. මේ කොටස ඉවර වෙනකොට මෙන්න මෙහෙම සටහනක් දානවා.
Albert Blithe never recovered from the wound he received in Normandy. He died in 1948 / ඇල්බර්ට් බ්ලයිත්, නෝමැන්ඩිහීදී සිදුවූ තුවාලවලින් කිසිදා සුව නොවිනි. ඔහු 1948දී මිය යන ලදී.
ඒත් ඇත්තටම බ්ලයිත් මැරුණෙ 1948දි නෙවේ. 1967 අවුරුද්දෙදි. බ්ලයිත්ව යුද්ධ හමුදා රෝහලෙන් නිදහස් කරන්නෙ 1945 අවුරුද්දෙදි. එතකොට එයාට වයස අවුරුදු 22යි. ඊට පස්සෙ Westinghouse Electric Company කියන සමාගමක වැඩ කරන්න පටන් ගන්නවා. 1951දි 187වෙනි වාසර සේනාංකය යටතේ කොරියානු යුද්ධයට ගිහින්, කොරියානු යුද්ධයෙන් පස්සෙ තායිවානයට යනවා, යුද්ධ හමුදා උපදේශක තනතුරක් වෙනුවෙන්. ඊට පස්සෙ 1967දි සේවා රාජකාරි වෙනුවෙන් ජර්මනියට යනවා. ජර්මනියේ රාජකාරි කරන අතර වාරයේදි තමයි බ්ලයිත් ලෙඩ වෙලා නැතිවෙන්නෙ. ඒ පිළිකාවක් නිසා. ඒ වෙනකොට වයස අවුරුදු 44ක් වුණු බ්ලයිත්, හමුදා සේවයෙන් ඉවත්වෙලා හිටියෙ නෑ. ඒ වෙනකොට බ්ලයිත් දෙදරු පියෙක්.
වඩාත්ම පුදුමසහගත කරුණ තමයි, ඇල්බර්ට් බ්ලයිත් මිය යෑමට දවසකට පෙර, ඒ කියන්නෙ 1967 දෙසැම්බර් 10 වෙනිදා ඔහු දෙවන ලෝක යුද්ධයේදී දරුණු සටන් පැවතුණු බැස්ටෝන් ප්‍රදේශයේ බල්ජ් සටන (Battle of the Buldge) සිහිපත් කෙරෙන උත්සවයකට සහභාගී වීම.
අනිත් කාරණාව තමයි කැරෙන්ටන්වලදී වෙඩි උණ්ඩය බ්ලයිත්ගේ උරහිසට වැදුනත්, Band of Brothers කතාවේ වෙඩි උණ්ඩය වැදෙන්නෙ බ්ලයිත්ගේ බෙල්ලටයි. ඉතින් මේ කතාවේ තුන්වන කොටසේ කතා නායකයා වුණු බ්ල්යිත් වෙනුවෙන් තමයි, තුන්වන කොටසේ වැඩිම දර්ශන ගණනාවක් වෙන් කරලා තියෙන්නෙත්. එහෙම එකේ මේ වගේ කාරණාවක් සම්බන්ධව වැරදි තොරතුරක් ප්‍රදර්ශනය කරපු එක නම් කීයටවත් සමාව දෙන්න බැරි වරදක්.
කැරෙන්ටන් ගැන කියනකොට තවත් දෙයක් අපිට මතක් වුණා. මේ කොටසෙදි විශාල තැනි තලා බිමක ඉදගෙන ජර්මානු හමුදා සහ ඇමරිකානු හමුදා අතරේ සිද්ධවෙන දැවැන්ත වෙඩි හුවමාරුවක් තියෙනවා. D සහ F කණ්ඩායම් පහුබහිනකොට, E කණ්ඩායම තමයි පහුබහින්නෙ නැතුව හිටපු එකම කණ්ඩායම. මේ සටනෙදි අපිට දකින්න පුලුවන් එක පාරටම යුද්ධ ටැංකියක් මතුවෙනවා.
අන්තර්ජාලයේ තිබ්බ විදිහට නම් මේක Jagdpanther වර්ගයට අයිති එකක්. ඒත් ඇත්තටම කැරෙන්ටන්වලදි කරපු සටනෙදි ඒ වර්ගයේ යුද්ධ ටැංකියක් ඇවිල්ලා නෑ. ඒ වර්ගයේ ටැංකියක් පළවෙනි වතාවට දැකලා තියෙන්නෙ නෝර්මැන්ඩිවල කරපු අන්තිම සටන්වලදි. ඒත් ඇමරිකානු හමුදාවන් නෙවේ. බ්‍රිතාන්‍ය හමුදා…
සීතල “බැස්ටන්” ප්‍රදේශය ඉලක්ක කරලා හදපු හයවෙනි කතාවේ, ප්‍රධාන කතා නායකයා වෙන්නෙ Easy කණ්ඩායමේ ප්‍රධාන වෛද්‍යවරයා වුණු වෛද්‍ය “ඉයුජීන් රෝයි”. මේ කතාවෙ එක තැනක වෛද්‍යවරයා, තමන්ගෙ සහායකයා වුණු “රැල්ෆ් ස්පීනා”ට කියනවා “My grandma was a traiteur” කියලා. ඒ කියන්නෙ “මගේ ආත්තම්මා traiteur කෙනෙක්” කියලයි.
Traiteur කෙනෙක් කියන්නෙ බෙහෙත්වලින් නැතුව විශ්ව ශක්තියෙන් සහ ආගමික වැකි කියලා, යාඤඤා කරලා මිනිස්සුන්ගේ ලෙඩ හොද කරන අයටයි. ඒත් මේ කියමන බොරුවක්. වෛද්‍යය රෝයිගේ ආත්තම්මා එහෙම කෙනෙක් නෙවේ.
ලුතිනන් “රොනල්ඩ් ස්පියර්ස්” කියන්නෙ ජනප්‍රවාදවලින් පිරුණු චරිතයක්. මේ ජනප්‍රවාදවලට ගොඩක්ම හේතු වුණේ D Day දවසෙ යටත් වුණු ජර්මානු හමුදාවේ සිරකරුවන් 20 දෙනෙක්ට වෙඩි තැබීමේ සිද්ධියයි. සමහරු කියනවා එහෙම වෙඩි තැබීමක් වුණා කියලා. තවත් සමහරු කියනවා එහෙම වෙඩි තැබීමක් වුණේ නෑ කියලත්. මේ සිද්ධිය ගැන Band of Brothers කතාවේ අපිට දකින්න හම්බවෙන්නෙ මධ්‍යස්ථ බවක්. වෙඩි තිබ්බා කියන්නෙත් නෑ. වෙඩි තිබ්බෙ නෑ කියන්නෙත් නෑ. ඒ තීරණය ප්‍රේක්ෂකයාට භාර කරනවා.
ඒත් ලුතිනන් ස්පියර්ස්ගේ D කණ්ඩායම (Dog Company) යටතේ සේවය කරපු “ආර්ට් ඩිමරීසෝ” කියන හමුදා නිළධාරියා 2012 අවුරුද්දෙදි කරපු සම්මුඛ සාකච්ඡාවකදි ප්‍රකාශයක් කරලා තිබ්බා එහෙම වෙඩි තැබීමක් ඇත්තටම වුණා කියලත්, ඒ සිද්ධිය එයා ඇස් දෙකෙන්ම දැක්කා කියලත්.
D Day දවසෙ හැම සෙබළෙක්ටම ඉහළින් නියෝග ලැබිලා තියෙනවා, ජර්මානු සිරකරුවන්ව තියාගන්න එපා කියලා. ඒකට හේතුව තමයි, මෙහෙයුමේ පළවෙනි දවස නිසා. මොකද පළවෙනි වතාවට කවදාවත් නොදැකපු, නොදන්න භූමියකට ගොඩ බැහැලා, ජර්මානු හමුදා සෙබළු දහස් ගාණක් ඉන්න ප්‍රදේශයක, අතරමං වෙලා තම තමන්ගේ කණ්ඩායම් හොයා ගන්න බැරුව ඉන්න ඇමරිකන් සෙබළුන්ට, ජර්මානු හිරකරුවන් අත්අඩංගුවට ගන්නවා කියන්නෙ ලොකු බරක්. ඊට පස්සෙ ඉදිරි මෙහෙයුම් ගැන හිතනවට වඩා හිරකරුවන්ව වෙනම බලාගන්න වෙනවා. එයාලටත් කෑම බීම දෙන්න වෙනවා. පහසුකම් දෙන්න වෙනවා. ඉතින් පළවෙනි දවස අවුල් ජාලාවක් වෙලා තියෙන නිසා, හිරකරුවන් තියාගන්න එක කරදරයක්. ඒ නිසාලු ලුතිනන් ස්පියර්ස්, මේ වැඩේ කළා කියන්නෙ.
Band of Brothers කතාවේ හත්වන කොටසෙදි, ෆෝයි නගරයට එල්ල කරන ප්‍රහාරයට නායකත්වය දෙන්නෙ, Easy කණ්ඩායම අභිනවයෙන් භාර ගත්ත ලුතිනන් නෝමන් ඩයික්. හැබැයි ෆෝයිවලට එල්ල කරන ප්‍රහාරය, නෝමන් ඩයික් අල කරගන්නවා. ඊට පස්සෙ තමයි බල ඇණි නායක ලුතිනන් “රිචඩ් වින්ටර්ස්”ගේ මෙහෙයවීමෙන් එවෙලේම ඩයික්ව නිදහස් කරලා, ඒ වැඩේට ස්පියර්ස්ව දාන්නෙ. මේ කතාව පුරාවටම නෝමන් ඩයික්ව දුර්වල නායකයෙක් විදිහටත්, උදාසීන සහ ලිස්සලා යන සුළු චරිතයක් විදිහටත් හදුන්වලා දෙනවා. ඒත් නෝමන් ඩයික්ගේ ඇත්ත චරිත කතාව අධ්‍යනය කළොත්, අපිට ඩයික්ගේ අභීත නායකත්වය ගැන ප්‍රකට වෙන තැන් ගණනාවක්ම දකින්න පුලුවන්.
ඩයික්ට ඇක්සිස්වලදි කරපු සටනට නායකත්වයදීම වෙනුවෙන් ලෝකඩ තරු දෙකකුත්, නෙදර්ලන්තයේ හතරමං හන්දියකදි කරපු සටනකට නායකත්වය දීම වෙනුවෙන් තවත් ලෝකඩ තරුවකුත්, බැස්ටන්වල සටනට නායකත්වය දීම වෙනුවෙන් තවත් ලෝකඩ තරුවකුත් හම්බවෙනවා. ඊට පස්සෙ ජෙනරල් “ටේලර්”ගේ සහායකයා විදිහට කටයුතු කරනවා. ලෝක යුද්ධයෙන් පස්සෙත් හමුදාවෙම නතරවෙන ඩයික්, ඊට පස්සෙ ඇතිවෙන කොරියානු යුද්ධයටත් නායකත්වය දෙනවා.
ඉතින් ඩයික්ගේ නායකත්වය අවතක්සේරු කරන්න අමාරුයි. අනිත් අතට දුර්වල නායකයෙක් නම්, මේ විදිහට පදක්කම් ගොඩක් හම්බවෙන්නත් හේතුවක් නෑ. ඩයික්ගේ ජීවිත කතාව අනුව, ඩයික් ෆෝයි ප්‍රහාරයට නායකත්වය දෙන්න ගොඩක් සූදානමින් ඉදලා තියෙනවා. මෙහෙයුමේදී දකුණු උරහිසට වැදුනු වෙඩිල්ලක් නිසා, ඩයික් කලබල වෙනවා. ඩයික් කලබල වුණේ මෙහෙයුමට නායකත්වය දෙන එක නිසාවත්, මෙහෙයුම නිසාවත් නෙවේ. දකුණු උරහිසට වැදුනු වෙඩිල්ල නිසයි. ඒ වේදනාවෙන්, ඒක ගැන හිත හිතා හිටපු නිසා තමයි, ෆෝයි ප්‍රහාරය අසාර්ථක වෙන්න ගියේ.
අනිත් අතට Band of Brothers කතාවේ නම් ඒ ප්‍රහාරය යන වෙලාවෙදි ඩයික් ජීවිතක්ෂයට පත් වෙනවා. ඒත් එහෙම දෙයක් වෙලා නෑ. ඒකත් ලොකුම ලොකු වැරැද්දක්. 1957 අවුරුද්දෙදි ඩයික්, ගෞරවනීය විදිහට විශ්‍රාම යනවා. ඩයික්ගේ මරණය සිද්ධ වෙන්නෙ ඩයික්ට වයස අවුරුදු 71දි. ඒ 1989 අවුරුද්දෙ ඇති වුණු ලොකු උණ රෝගයක් නිසා.
Band of Brothers පළවෙනි කොටසෙදි හමුදා සේනාංකය නැවක නැගලා ප්‍රංශයට යන වෙලවෙදි, නැව ඇතුළෙ “ජෝශප් ලීබ්ගෝට්” සහ “විලියම් ගානියර්” දෙන්නා අතරෙ රණ්ඩුවක් ඇති වෙනවා. ඒ විලියම් ගානියර්, යුදෙව්වන්ට කරපු පොඩි අපහාසයක් නිසයි. ඒ වෙලාවෙදි ජෝශප් ලීබ්ගෝට් කියන්නෙ “I’m a Jew” කියලයි. ඒ කියන්නෙ මමත් යුදෙව්වෙක් කියලයි. ඒත් ජෝශප් කියන්නෙ යුදෙව්වෙක් නෙවේ. රෝමානු කතෝලිකයෙක්.
ඒ වගේම දහවන කොටස අවසානයේදි කරන විස්තරයේ සදහනක් දානවා, යුද්ධයෙන් පස්සෙ ජෝශප් ආයිත් සැන්ෆ්‍රැන්සිස්කෝවලට ගිහින්, යුද්ධයට කලින් එයා කර කර හිටපු විදිහටම, කුලී රථ රියදුරෙක් විදිහට වැඩ කරන්න ගත්තා කියලා. ඒත් ජෝශප්ගේ පුතාට අනුව නම් ජෝශප් යුද්ධයෙන් පස්සෙ කුලී රථ රියදුරෙක් විදිහට වැඩ කරලා නෑ. එයා වැඩ කරලා තියෙන්නෙ කරණවෑමියෙක් (බාබර්වරයෙක්) විදිහටයි.
Band of Brothers අට වෙනි කොටසෙ අවසාන මුර සංචාරයෙන් පස්සෙ, “කොබ්” සහ සැරයන් “ජෝන් මාර්ටින්” අතරේ පොඩි වචන හරඹයක් යනවා. මාස ගණනාවක් යුද්ධ කර කර ඉදලා, හොදටම එපා වෙලා, ඒ කලකිරීම නිසා වෙරි වෙන්න බීලා හිටපු කොබ්ගේ හැකර කට නිසා තමයි ඒ වචන හුවමාරුව වුණේ. ඒත් ඇත්තටම කොබ් රණ්ඩුවෙලා තියෙන්නෙ ජෝන් එක්ක නෙවේ. ලුතිනන් “ෆොලෙයි” එක්කලු.
Band of Brothers කතාවෙ දකින්න පුලුවන් තවත් වැරදි තියෙනවා. තවත් විශාල වැරැද්දක් තමයි නව වෙනි කොටස අවසානයේදී කැප්ටන් “නික්සන්” කරන නිවේදනය. ජර්මනියෙ සුන්බුන් ගොඩක් මැද්දෙ, නගරය සුද්ධ කර කර ඉන්න ජර්මානු වැසියන් දිහා බලාගෙන ඉන්න සොල්දාදුවො ළගට ඇවිත් නික්සන් කියනවා “Hitler is dead” කියලා. ඒ කියන්නෙ “හිට්ලර් මැරිලා” කියලා. ඒත් මේ කතාව පටන් ගන්නකොට දිනය විදිහට සදහන් කරන්නෙ 1945 අප්‍රේල් 11 වෙනිදා කියලයි. ඒත් හිට්ලර් ඇත්තටම මැරෙන්නෙ 1945 අප්‍රේල් 30 වෙනිදයි. ඒ කියන්නෙ කැප්ටන් නික්සන් මේ නිවේදනය කරනකොටත්, හිට්ලර් ජීවතුන් අතර !
අවසාන මුර සංචාරය ඉලක්ක කරලා හදපු අට වන කොටසේ කතා නායකයා වෙන්නෙ “Market Garden” මෙහෙයුමේදී වුණු තුවාල හොද කරගෙන, මාස ගණනාවකට පස්සෙ, ආයිත් සේවයට වාර්තා කරන සාමාන්‍ය සෙබළ “ඩේවිඩ් වෙබ්ස්ටර්”. මේ කතාව අවසානයේදී අපි දකිනවා ජෙනරල් ටේලර්ගෙ උපදෙස් මත කැප්ටන් නික්සන්, ලුතිනන් “රිචඩ් වින්ටර්ස්”ව මේජර් තනතුරට උසස් කරනවා. ඒත් ඇත්තටම ඩේවිඩ් වෙබ්ස්ටර් ආයිත් සේවයට වාර්තා කරන්න එනකොටත්, රිචඩ් වින්ටර්ස්ව මේජර්වරයෙක් විදිහට උසස් කරලා ඉවරයි.
හත්වන කොටසෙදි කෝප්‍රල් “හූබ්ලර්”ට අත්වෙන්නෙ හරිම අවාසනාවන්ත ඉරණමක්. ප්‍රංශයට ගොඩ බැහැපු පළවෙනි දවසෙ ඉදන්ම ජර්මානුවන්ගේ “ලූගර්” වර්ගයේ පිස්තෝලයක් හිමිකරගන්න ඇගිලි ගනිමින් හිටපු හූබ්ලර්, ලූගර් පිස්තෝලයකින්ම මැරෙනවා. එහෙම මැරෙන්නෙ ජර්මානු සෙබලෙක්ගෙන් අරගත්ත පිස්තෝලයක් සාක්කුවේ දාගෙන ඉදලයි. Band of Brothers කතාවට අනුව නම් හූබ්ලර් මැරෙන්නෙ, ලූගර් පිස්තෝලය සාක්කුවේ දාගෙන ඉන්නකොට, ඉබේම පත්තුවෙලා. ඒත් ඇත්තටම ලූගර් එක ඉබේම පත්තු වෙලා නෑලු. හූබ්ලර්ගෙ කකුල යකඩ කම්බි දගරයක පැටලුනු වෙලාවක, කකුල ගසද්දි, පිස්තෝලයේ කොකා ගැස්සුනාලු. ඒ වගේම ලූගර් පිස්තෝලයක් කිව්වට, හූබ්ලර්ට හම්බවුණේ ඇත්තම ලූගර් වර්ගයේ පිස්තෝලයක් නෙවේලු. ලූගර්වලට ළගින් යන වර්ගයක පිස්තෝලයක්ලු.
Band of Brothers කතාවේ දහ වෙනි කොටසෙදි ජර්මානු හමුදාවේ කර්නල්වරයෙක්, එයාගෙ පිස්තෝලය පිළිගන්වනවා මේජර් රිචඩ් වින්ටර්ස්ට. ඒ, ජර්මානු හමුදාව නිළ වශයෙන් යටත්වීමේ සංඛේතයක් විදිහටයි. ඒ වෙලාවෙදි පිස්තෝලය භාර ගැනීම ප්‍රතික්ෂේප කරන මේජර් වින්ටර්ස්, ඒ පිස්තෝලය ජර්මානු කර්නල්වරයාටම තියාගන්න කියනවා.
මෙතන වැරදි දෙකක් තියෙනවා. එකක් තමයි ඒ ජර්මානු කර්නල්වරයෙක් නෙවේ. ඒ මේජර් කෙනෙක්. අනිත් අතට ඇත්තම සිද්ධියට අනුව නම්, මේජර් වින්ටර්ස් පිස්තෝලය ප්‍රතික්ෂේප කරන්නෙ නෑ. එයා ඒ පිස්තෝලය භාර ගන්නවා. ඒ පිස්තෝලය මැරෙනකන්ම වින්ටර්ස් ළග තිබ්බා කියලා තමයි Elearning.lk අපට නම් දැන ගන්න ලැබුණෙ.
චිත්‍රපටවලින් ඉතිහාසය ගැන ගොඩක් දේවල් අපිට ඉගෙන ගන්න පුලුවන්. හැබැයි එහෙමයි කියලා, චිත්‍රපටවලින් පෙන්නන හැම දෙයක්ම “ඇත්ත” කියලා පිළිගන්න එක නම් නුවණට හුරු නෑ. මේ වගේ උසස් ගණයේ කතා මාලාවකත්, මේ වගේ ඉහළ මට්ටමේ වැරදි ගොඩක් තියෙයි කියලා අපි කීයටවත් හිතුවද?
ඉතින් Band of Brothers බලපු ඔයාලා, මේ කරුණු හරහා ඒ වැරදි අවබෝධයෙන් මිදෙන්න ඇති කියලා හිතනවා. හැබැයි කොච්චර වැරදි තිබ්බත්, ඒ කතා මාලාවට අපි අතරේ තියෙන ආදරයේ සහ ගෞරවයේ නම් කිසිම වෙනසක් නෑ..!!!!!
මූලාශ්‍ර :
01. 10 Things You Never Knew About ‘Band Of Brothers’
02. Band of Bro Documentary 506th Easy Company 101st Airborne
03. Art DiMarzio Interview
04. Historical Inaccuracies of Band of Brothers
05. History Buffs: Band of Brothers
06. Albert Blithe – Wikipedia
07. Eugene Roe – Wikipedia
08. Donald Hoobler – Wikipedia
09. Corp Donald B. “Hoob” Hoobler
10. Norman Dike – Wikipedia
11. Thomas Meehan – Wikipedia
12. Ronald Speirs – Wikipedia
13. Traiteur – Wikipedia
14. Adolf Hitler – Wikipedia
15. Saving Private Ryan – Wikipedia
16. Normandy Landings – Wikipedia
17. Operation Market Garden
උපුටා ගැනීම් :
* කවරයේ ඡායාරූපය : www.fanpop.com
* වීඩියෝව 01 : splatford splattington | YouTube Channel
* වීඩියෝව 02 : François Evangelista | YouTube Channel
* වීඩියෝව 03 : MrTysta | YouTube Channel
* වීඩියෝව 04 : Brian Griffin | YouTube Channel
* වීඩියෝව 05 : Claudia hng | YouTube Channel
* වීඩියෝව 06 : Rishabh Tiwari | YouTube Channel
* වීඩියෝව 07 : Milton Yee | YouTube Channel
* වීඩියෝව 08 : Paul .Hanson | YouTube Channel
* වීඩියෝව 09 : Mojo Pin | YouTube Channel
* වීඩියෝව 10 : Paula Correa | YouTube Channel
* වීඩියෝව 11 : Savannah | YouTube Channel