ජෝ බයිඩන් සහ ෂී ජින්පිං හමුවීමට සූදානම්

November 11, 2021

ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් සහ චීන ජනාධිපති ෂී ජින්පිං අතර අන්තර්ජාලය ඔස්සේ සිදුවන හමුවක් සඳහා කටයුතු සූදානම් වෙමින් පවතිනවා. Politico වෙබ් අඩවිය වාර්තා කර තිබුණේ එම හමුව එළඹෙන සඳුදා (නොවැම්බර් 15) පැවැත්වීමට ඉඩ ඇති බවයි.

චීන ජනාධිපති ෂී ජින්පිං සිය රටෙන් එපිට මුහුණට මුහුණ හමුවීම් නවතා ඇති හෙයින් මෙසේ අන්තර්ජාලය ඔස්සේ දෙදෙනාගේ හමුව සිදුවන බව දැනගන්නට ලැබී තිබෙනවා.

පසුගිය දිනවල දෙරට අතර මතුවෙමින් පැවති උණුසුම්කාරී වාතාවරණය මෙම හමුවත් සමග යම්තාක් දුරකට සමනය කරගැනීම පිළිබඳ දෙපාර්ශවය වෙතින්ම බලාපොරොත්තු පළවී තිබෙනවා. නායකයින් දෙදෙනාම නොබෝදා පැවති ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටුව සංවිධානයේ 55 වන සංවත්සරය වෙනුවෙන් එවන ලද සුබපැතුම් කතාවලින් ඒ බව පැහැදිලි වුණා.

චීන ජනාධිපති ෂී ජින්පිං සිය පණිවිඩය මගින් කියා සිටියේ දෙරට අතර සබඳතා නිවැරදි, ක්‍රමවත් වර්ධනයකින් යුක්ත මාවතකට ගෙන ඒම පිණිස ඇමරිකාව සමග විවිධ අංශවලින් සහයෝගයෙන් කටයුතු කිරීම පිළිබඳ අදහස් හුවමාරු කරගැනීමට චීනය සූදානම් බවයි.

ෂීගේ සුබපැතුම් පණිවිඩය පිළිබඳ චීන රාජ්‍ය ජනමාධ්‍යවලින් ලැබුණු ප්‍රචාරය අනුව අනුමාන කළ හැක්කේ චීන රජය කිසියම් මැද ස්ථානයකට පැමිණීම කෙරෙහි බලාපොරොත්තු තබා ඇති බව වියහැකි යයි විචාරකයින් පෙන්වා දෙනවා.

ඇමරිකාව තරමක් නිහඬයි
ඇමරිකා-චීන සබඳතා පිළිබඳ ජාතික කමිටු සංවත්සරය සඳහා බයිඩන් විසින් එවන ලද සුබපැතුම් පණිවිඩයෙහි ද කිසියම් බලාපොරොත්තු සහිත තත්ත්වයක් පෙන්නුම් කරනවා. ඔහු දෙරට අතර සබඳතාවය ලෝක මට්ටමෙන් වැදගත් බව පෙන්වා දුන් අතර කෝවිඩ්-19 වසංගතය පාලනයේ සිට දේශගුණික විපර්යාසය පිළිබඳ කරුණු දක්වා කරුණුවලදී එක්ව කටයුතු කිරීමේ වැදගත්කම පෙන්වා දෙනවා.

කෙසේ වෙතත් නායකයින් දෙදෙනාගේ හමුව පිළිබඳ ධවල මන්දිරය එතරම් වැඩි ප්‍රචාරයක් ලබා නොදෙන බවක් පෙනීගොස් තිබෙනවා. ජනතාව තුළ ඒ පිළිබඳ විශාල බලාපොරොත්තු ඇති නොකිරීම එවැනි පියවරකින් අපේක්ෂ කරන බව පෙනීයන්නේ යයි Politico වෙබ් අඩවිය කියා සිටියා.


චීනයේ ලියාඔනිංග් නෞකාවෙන් J-15 යානා පුහුණු පියාසැරියකට පිටත් වෙයි (AFP/Getty Images)

නායකයින් දෙදෙනාගේ හමුව සිදුවන දිනය පවා නියමාකාරයෙන් දැන්වීමට ධවල මන්දිරය සූදානම් නොවී ය. ඒ පිළිබඳ නිල ප්‍රකාශයක් නොවැම්බර් 11 වනදා උදෑසන වනවිට ද ලැබී තිබුණේ නැහැ.

මාධ්‍ය වාර්තා සඳහා මූලාශ්‍ර වී තිබුණේ අදාල සාකච්ඡාව සැලසුම් කරන නිලධාරීන් බව කියන පුද්ගලයන් නිල නොවන මට්ටමෙන් මාධ්‍යවේදීන් වෙත හෙළිදරව් කරන ලද තොරතුරු යි.

බයිඩන් සහ ෂී හමුව මගින් උණුසුම් වාතාවරණය යම් තරමකට පහව යා හැකි අතර ඇතැම් කරුණු පිළිබඳ යම් ප්‍රගතියක් පෙන්නුම් කරනු ඇතැයි සිතිය හැකියි. විශේෂයෙන් දෙපාර්ශවය අතර ඇති වෙළෙඳ සම්බාධක හා ගැටුම් යම් පමණකින් ඉවය්හ් වීමට මෙමගින් අවකාශය ලැබෙනු ඇතැයි සිතන්නට හැකියාව තිබෙනවා.

කෙසේ වෙතත් එමගින් තායිවානය, හොංකොං සහ ෂින්ජියෑං ප්‍රදේශ පිළිබඳ ඇති මතභේද ඇතුළු ප්‍රධාන ගැටළු පිළිබඳ නම් කිසිදු විපර්යාසයක් සිදුවනු ඇතැයි සිතීමට අපහසුයි. ඇමරිකාව මෙම හමුව පිළිබඳ වැඩි ප්‍රචාරයක් නොදෙන්නේ එහෙයින් යයි ද සිතන්නට පුළුවන්.

ප්‍රධාන මතභේද
තායිවානය පිළිබඳ මතගැටුම නව මානයකට එළඹුණේ මෑතකදී එරට ජනාධිපතිවරිය විසින් සිය රටෙහි ඇමරිකන් හමුදා උපදේශකයන් රැඳී සිටින්නේ යයි නිල වශයෙන් සඳහන් කිරීමත් සමගයි. ඇමරිකානු උපදේශකයන් එහි සිටින බවට වාර්තා ස්වල්ප කලක පටන් දක්නට ලැබුණ ද එය නිල වශයෙන් තහවුරු වීමත් සමග චීනය ඒ පිළිබඳ දැඩි අවධානය යොමු කළා. මෑතකදී කොන්ග්‍රස් මණ්ඩල නියෝජිත පිරිසක් තායිවානයේ සංචාරයකළ බව වාර්තා වීමත් සමග නැවතත් මෙම මතගැටුම තීව්‍ර වී තිබෙනවා.

ඇත්ත වශයෙන්ම පසුගිය මාස කිහිපය මුළුල්ලේම චීනය තායිවාන ගුවන් සීමාව ආසන්නයට සිය ගුවන් යානා එවීම වෙනදාට වඩා වැඩි කර තිබුණා. එය උපක්‍රමශීලී ලෙස තායිවානය වෙහෙසට පත්කිරීමේ උත්සාහයක් බවයි පෙනෙන්නට තිබෙන්නේ. චීන ගුවන් යානා පැමිණෙද්දී තායිවානය ද සිය ගුවන් යානා පිටත් කරමින් ඊට ප්‍රතිචාර දැක්වීම සාමාන්‍ය ක්‍රමයයි. ප්‍රහාරක ගුවන් යානා ගුවන්ගත කිරීම සැලකියයුතු වියදමක් වන කටයුත්තක්. එහෙයින් නිරන්තරයෙන් එවැනි පියවර ගැනීමට සිදුවීම තායිවාන ආර්ථිකයටත් යම්කිසි බරක් ගෙනදෙනවා. මේ සමගම දකුණු චීන මුහුද අරභයා චීනය විසින් ඉදිරිපත් කරන අයිතිවාසිකම් දැක්වීම් ද ප්‍රදේශයේ උණුසුම් වාතාවරණයක් නිර්මාණය කරනවා.


චීනය සහ තායිවානය​ (VoA)

මේ අතර ඔස්ට්‍රේලියාව සහ බ්‍රිතාන්‍යය ද සම්බන්ධ කරගෙන ඇමරිකාව විසින් ගොඩනැගූ AUKUS සන්ධානය පිළිබඳ චීනය සිටින්නේ දැඩි විමසිල්ලෙන්. ඇතැම් විචාරකයන් පෙන්වා දෙන්නේ එම සන්ධානය හේතුවෙන් ද කලාපයේ පවතින තත්ත්වය උණුසුම් වී ඇති බවයි. එමගින් යුධ තරගය තීව්‍ර වී ඇති බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.

මෙවැනි කරුණු පිළිබඳ වැඩි යමක් බයිඩන් සහ ෂී අතර හමුවේදී සාකච්ඡා නොවනු ඇති. නමුත් කිසියම් ආකාරයකින් එකඟතාවයක් ගොඩනැගීමට මෙය අවස්ථාවක් වනු ඇති.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.