ලූලා පරදා බොල්සොනාරෝ දිනයිද​?

October 14, 2022

බ්‍රසීලයේ ජනාධිපතිවරණය කෙරෙහි බොහෝදෙනාගේ අවධානය යොමුවූයේ අන්ත දක් ෂිනාංශික ජනාධිපති ජායිර් බොල්සොනාරෝ පරාජය කරමින් හිටපු ජනාධිපති ලූලා ද සිල්වා ජයග්‍රහණය කරනු ඇතැයි බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූ නිසයි.

බොල්සොනාරෝ තමන්ගේ ආන්දෝලනාත්මක ප්‍රතිපත්ති හේතුවෙන් දැඩි විවේචනයට භාජනය වූ අයකු වුණා. කොරෝනා වසංගතය හරියාකාරව පාලනය නොකිරීම​, ඇමේසන් වනාන්තරය විනාශ වීම පාලනය නොකිරීම සහ වනය එළිකිරීමට අනුබල දීම ආදී ප්‍රතිපත්ති හේතුවෙන් ඔහු වෙත එල්ල වූයේ සුළුපටු විරෝධයක් නොවේ.

කෙසේ වෙතත් 2022 ඔක්තෝබර් 2 වනදා පවත්වන ලද ජනාධිපතිවරණයේදී ලූලා ද සිල්වාට සියයට 50 ඉක්මවා ඡන්ද ලබාගත නොහැකි වූ අතර​, බොල්සොනාරෝ ද බලාපොරොත්තු වූවාට වඩා හොඳ ප්‍රතිඵලයක් පෙන්නුම් කළා. එහෙයින් ජනාධිපතිවරණ සටන දෙවැනි වටයකට යොමු වූ අතර බොල්සොනාරෝට පළමු වටයේ ලැබුණු අනපේක්ෂිත ප්‍රතිඵලයේ වාසිය සමග තරග කිරීමට හැකිව තිබෙනවා.

එමෙන්ම ජනාධිපතිවරණය සමග සමගාමීව පැවති කොන්ග්‍රස් සභා මැතිවරණයේදී බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂය ලූලාගේ කම්කරු පක්ෂයට වඩා හොඳ ප්‍රතිඵල පෙන්නුම් කිරීමට සමත් වූයෙන් එහි වාසිය ද බොල්සොනාරෝ වෙත ලැබෙනවා. ජනාධිපතිවරණයේ දෙවන වටයේදී ලූලා ජයග්‍රහණය කර ජනාධිපති ධුරයට පත්වූව ද පාර්ලිමේන්තු බහුතරය ඔහුට හිමි නොවනු ඇති.

මැතිවරණ ප්‍රතිඵල​​
ජනාධිපතිවරණය පැවැත්වෙන ක්‍රමය අනුව උපරිම වශයෙන් වට දෙකක තරගයක් පැවැත්වෙන අතර පළමු වටයෙන්ම වුවද එය නිමා විය හැකියි​. කිසියම් අපේක්ෂකයකු පළමු වටයේදීම වලංගු ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ඉක්මවා ඡන්ද ප්‍රතිශතයක් ලබාගතහොත් එම අපේක් ෂකයා ජයග්‍රාහකයා ලෙස නම් කෙරෙනවා. පළමු වටයේදී කිසිදු අපේක්ෂකයකු සියයට 50 සීමාව ඉක්මවා නොගියහොත් සිදුවන්නේ පළමු ස්ථානය සහ දෙවන ස්ථානය දිනාගත් අපේක්ෂකයන් දෙදෙනා පමණක් සහභාගී වන දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වීමයි. මෙය බොහෝ රටවල ජනාධිපතිවරණවලදී භාවිතා වන ක්‍රමයකි.

මෙවර ජනාධිපතිවරණය පිළිබඳ ජනමත සමීක්ෂණ අනුව පෙනීගියේ ලූලා ද සිල්වා සියයට 50 සීමාව ආසන්නයේ සිටියදී බොල්සොනාරෝ ඊට බෙහෙවින් පිටුපසින් සිටින බවයි. කෙසේ වෙතත් පළමු වටයේදීම ලූලා ද සිල්වා ජයග්‍රහණය නොකළහොත්, දෙවන වටයේදී තියුණු තරගයකට මුහුණදීමට ඔහුට සිදුවනු ඇති බව ඔහුගේ කඳවුරේ සමහරෙක්ගේ අදහස වුණා. එහෙයින් ඔවුන් අපේක්ෂා කළේ පළමු වටයේදීම ලූලාව ජයග්‍රහණය කරවීමයි.


2022 ජනාධිපතිවරණයේ පළමු වටයේදී ලූලා (රතු) සහ බොල්සොනාරෝ (නිල්) ජයගත් ප්‍රාන්ත

නමුත් ජනාධිපතිවරණයේදී ලූලා ද සිල්වා ලබාගත්තේ සියයට 48.43 ක ඡන්ද ප්‍රතිශතයක් පමණයි. ඔහු ලබාගත් සමස්ථ ඡන්ද සංඛ්‍යාව මිලියන 57 ඉක්මවූවා. මේ අතර ජායිර් බොල්සොනාරෝ මිලියන 51 ඉක්මවූ ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් අතර එය ප්‍රතිශතයක් ලෙස සියයට 43.2 ක් වුණා. බොල්සොනාරෝ බලාපොරොත්තු වූවාට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබාගත් බව මේ අනුව පෙනෙන්නට තිබුණා.

එමෙන්ම​, බ්‍රසීල කොන්ග්‍රස් සභාවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයෙහි ආසන 513 සඳහා ද මැතිවරණය ඔක්තෝබර් 2 වනදා පැවැත්වුණා. එහිදී බොල්සොනාරෝගේ ලිබරල් පක්ෂය ආසන 99 ක් දිනාගෙන විශාලම තනි පක්ෂය බවට පත්වුණා. ලූලාගේ කම්කරු පක්ෂය ලබාගත්තේ ආසන 68 ක් පමණයි. තමන්ට සහය ලබාදෙන අනෙකුත් කණ්ඩායම් ද සමග එම මන්ත්‍රී මණ්ඩලයේ වැඩි බලයක් ගොඩනගාගැනීමට බොල්සොනාරෝට හැකි වේ යයි අපේක්ෂා කළ හැකියි.


Click on the Image

මේ අතර සෙනට් සභාවේ ආසන 81 න් 27 ක් සඳහා ද මෙවර මැතිවරණයේදී සභිකයන් තෝරාපත් කරගනු ලැබුණු අතර ඉන් ආසන 8ක් ලිබරල් පක්ෂයට දිනාගන්නට හැකිවුණා. කම්කරු පක්ෂය දිනාගත්තේ ආසන 4 ක් පමණයි.

බොල්සොනාරෝගේ ඡන්ද​​​
ජායිර් බොල්සොනාරෝ තරග වැදුණේ එක් අතකින් අපරාධ මර්ධනය කිරීමේ ප්‍රතිඥාව සහ අනෙක් අතින් ආර්ථික සංවර්ධනයේ පොරොන්දු සමගයි. මෙම අදහස් එරට සම්ප්‍රදායික කොන්සර්වේටිව් මතධාරීන්ගේ සහය ඔහුට ලැබීමට හේතු වුණා.


Click on the Image

එමෙන්ම, මෙම කරුණු හේතුවෙන්, බ්‍රසීලයේ සීඝ්‍රයෙන් වර්ධනය වන එවැන් ජලික ක්‍රිස්තියානි ප්‍රජාවගේ සහය බොල්සොනාරෝ වෙත හිමිව තිබෙනවා.

තවද​, ඇමේසන් වනාන්තර ආශ්‍රිත ප්‍රදේශයන් හි ආකර කර්මාන්තයෙන් යැපෙන්නන්, කෘෂිකර්මාන්තයෙන් යැපෙන්නන් ආදී කොටස් ඔහුට සිය සහය පළකළේ ඔහුගේ පාලනයක් යටතේ වනාන්තරය ආශ්‍රිත සිය කටයුතු බාධාවකින් තොරව කරගෙන යාමේ අභිලාශය සහිතවයි.


ඇමේසන් වනයෙන් විනාශ වී ඇති ප්‍රදේශ (Mongabay)

2003 සිට 2010 දක්වා ජනාධිපති ධුරය දැරූ ලූලා ද සිල්වා එකළ ඉතා ජනප්‍රිය චරිතයක් වුණා. කෙසේ වෙතත් ඔහුගෙන් පසුව ජනාධිපති ධුරයට පත්වූ ඩිල්මා රූසෙෆ් දෝෂාභියෝගයක් මගින් ධුරයෙන් ඉවත් කෙරුණා. එම සමයෙහි පටන් බ්‍රසීලයේ දේශපාලනය බෙහෙවින් ධ්‍රැවීකරණයට ලක්ව තිබෙනවා.

ලූලා ද සිල්වා ද දූෂණ චෝදනා මත වරක් සිරගත කෙරුණ ද පසුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඔහුට එරෙහි චෝදනාවලින් ඔහු නිදහස් කෙරුණා.

මෙවර ජනාධිපතිවරණයේදී ද දකින්නට ලැබුණේ බ්‍රසීල දේශපාලනය කෙතරම් ධ්‍රැවීකරණය වී ඇතිද යන්න යි. විශේෂයෙන්ම ලූලා ද සිල්වා ජනාධිපති ධුරයට පත්වේ යයි බියවූ වාමාංශික විරෝධී පිරිස් මැතිවරණ දිනයේදී බොල්සොනාරෝ වෙත සිය සහය පළකර ඇති බව පෙනෙන්නට තිබෙනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එහෙයින් අන් අපේක්ෂකයන් වෙත යනු ඇතැයි අනුමාන කළ ඡන්දවලින් කොටසක් බොල්සොනාරෝට ලැබී තිබෙනවා. දෙවන වටයේ ඡන්ද විමසීමකදී ලූලා ද සිල්වාට සැලකියයුතු අභියෝගයක් එල්ල වේ යයි ඔහුගේ අනුගාමිකයන් ම විශ්වාසය පළ කරන්නේ ද මේ හේතුව නිසයි. දැනට වාර්තාවන ජනමත සමීක්ෂණ අනුව ලූලා ඉදිරියෙන් සිටිය ද ජනමත සමීක්ෂණ අනුව තමන්ගේ ඡන්දය අනුමාන කළ නොහැකි බව ඔක්තෝබර් 2 වනදා බ්‍රසීල ජනතාව පෙන්වා දුන්නා.

මේ අතර 2020 ඇමරිකානු ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදුකළ අයුරින්ම​, තමන් පරාජය වුවහොත් එම ප්‍රතිඵලය පිළිනොගන්නා බව බොල්සොනාරෝ ද පවසා සිටිනවා. බොල්සොනාරෝ පරාජය වුවහොත් ඔහුගේ අනුගාමිකයන් ඇමරිකාවේදී මෙන් නොසන්සුන්තා ඇති කරන්නට ඉඩ ඇති බවට ද අදහස් පළ වනවා.

@elearninglk

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.