බුර්කිනා ෆාසෝ හමුදා කුමන්ත්‍රණය සිදුවූයේ ඇයි?
බටහිර අප්‍රිකාවේ රාජ්‍යයක් වන බුර්කිනා ෆාසෝ හි ජනාධිපති රොච් කබෝරේ බලයෙන් පහ කරනු ලැබුණු බවත් යුධ හමුදාව විසින් බලය අල්ලාගන්නා ලද බවත් 2022 ජනවාරි 24 වන සඳුදා දිනයේ රූපවාහිනිය ඔස්සේ ජාතිය ඇමතූ නිලධාරීන් පිරිසක් කියා සිටියා.
ලුතිනන් කර්නල් පෝල්-එන්රි සන්දොවාගෝ දමීබා විසින් අත්සන් තබන ලද එම ලියවිල්ල කියවන ලද්දේ වෙනත් නිලධාරියකු විසිනුයි. ජනාධිපති කබෝරේ ආරක්ෂා සහිතව සිටින්නේ යයි ද එම නිලධාරියා පැවසුවා.
ආණ්ඩුව සහ ජාතික සභාව විසුරුවා හරින ලද බව පැවසූ එම නිලධාරියා එම නිවේදනය කළේ සුරක්ෂිතතාව සහ යළි පුබුදුව සඳහා දේශප්‍රේමී ව්‍යාපාරය (MPSR) නම් වූ පාලන අධිකාරියක නමින්.
රටේ පවත්නා අනාරක්ෂිත තත්ත්වය පාලනය කිරීම උදෙසා කටයුතු කරන බව එම නිවේදනය පවසනවා.
අස්ථාවර දේශපාලන තත්ත්වය
බටහිර අප්‍රිකාවේ ඇතැම් රටවල් වෙත බලපා ඇති ඉස්ලාමීය කැරලිකරුවන්ගේ තර්ජනය කලක තිස්සේම බුර්කිනා ෆාසෝ වෙත ද බලපා තිබෙනවා. මෙම කැරලිකරුවන්ගේ තර්ජනය හමුවේ රටේ ආරක්ෂාව දැඩි සේ අවදානමට ලක්ව තිබෙන අතර එරට අස්ථාවර දේශපාලන තත්ත්වයට ද එය බලපා තිබෙනවා.
2012 පමණ සිට කලාපය පුරා මේ තත්ත්වයෙහි වර්ධනයක් දකින්නට ලැබෙනවා. යුධ බලයෙන් එතරම් ශක්තිමත් නොවන මෙම රටවල රජයන්ට ත්‍රස්ත තර්ජනයට මුහුණදීම පහසු නැහැ. ඔවුන්ට ප්‍රංශයෙන් උපකාර ලැබුණ ද ප්‍රංශය සහ කලාපයේ රටවල් අතර ඇත්තේ ද සම්පූර්ණයෙන් සුහද තත්ත්වයක් නොවේ. ඇතැම් රටවල් චෝදනා කරන්නේ ප්‍රංශය ඔවුන්ගේ කටයුතු කෙරේ අනවශ්‍ය ලෙස ඇඟිලි ගසන බවයි.
බුර්කිනා ෆාසෝ හි හමුදා කැරැල්ලට ආසන්න හේතුව වූයේ සෙබළුන්ට ලැබිය යුතු ආහාර සලාක සති දෙකක් පමණ තිස්සේ නිසි පරිදි නොලැබීම බව ද වාර්තා වී තිබුණා. එහෙත් රටේ පවතින අස්ථාවර තත්ත්වය ඊට බලපෑ දිගුකාලීන හේතුවයි.
ලුතිනන් කර්නල් දමීබා
බුර්කිනා ෆාසෝ හමුදා කැරැල්ලෙහි නායකත්වය දරන්නේ 41 හැවිරිදි ලුතිනන් කර්නල් පෝල්-එන්රි සන්දොවාගෝ දමීබා යි. ඔහු 2021 දෙසැම්බරයේදී බුර්කිනා ෆාසෝ හි උතුරුදිග හමුදා දිස්ත්‍රික්කයේ අණදෙන නිලධාරියා ලෙස ජනාධිපති කබෝරේ විසින් පත්කරනු ලැබුණා.
බුර්කිනා ෆාසෝ ජෙන්ඩාමරියේ මුරපොලක් වෙත එල්ල වූ දැවැන්ත ප්‍රහාරයකින් පසුව ඔහුව එම ස්ථානයට පත් කරනු ලැබුණා.
දමීබා බුර්කිනා ෆාසෝ සෙබළුන් අතර ජනප්‍රිය නිලධාරියකු බව වාර්තා වනවා. ප්‍රංශයේ පැරිස් නගරයේ හමුදා පාසැලක අධ්‍යාපනය ලබා ඇති ඔහු බටහිර අප්‍රිකාව සහ ත්‍රස්තවාදය පිළිබඳ කෘතියක් පළ කළේ 2021 ජූනි මාසයේයි. එහිදී ඔහු ත්‍රස්තවාදය මැඩලීම උදෙසා භාවිතා කෙරෙන උපක්‍රම සහ ඔවුන් මුහුණදෙන සීමාවන් පිළිබඳ සාකච්ඡා කරන බවයි විදෙස් වාර්තා පවසන්නේ.
2015 දී එවකට පැවති අන්තර්වාර රජයට එරෙහි හමුදා කැරැල්ලකට ඔහු සම්බන්ධ වූ අතර ඉන් පසුව කලක් ඔහු විදෙස්ගතව සිටි බවයි වාර්තා වන්නේ. නැවත සියරට අමිණි පසු ඔහු ත්‍රස්ත විරෝධී කටයුතුවල නිරත වන රෙජිමේන්තුවක අණදෙන නිලධාරියා ලෙස කටයුතු කළා.
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ කඩාවැටීම
බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ බලය 1987 දී බ්ලේස් කම්පොආරේ විසින් අල්ලාගනු ලැබුණා. ඒ ප්රචණ්ඩ හමුදා කුමන්ත්‍රණයක් මගින් එවකට ජනාධිපති ධුරයේ කටයුතු කළ තෝමස් සන්කාරා ඝාතනය කිරීමෙන් අනතුරුවයි. 2014 දී කම්පොආරේ ජනතා උද්ඝෝෂණ හේතුවෙන් බලයෙන් ඉවත් වුණා.
අන්තර්වාර රජයක් විසින් පාලනය කරන ලද බුර්කිනා ෆාසෝ රාජ්‍යයේ ජනාධිපති ධුරයට 2015 නොවැම්බරයේදී රොච් කබෝරේ පත්වුණා.
මේ කාලයේම අල් කයිඩා සහ ISIS ත්රස්තවාදීන් සමග සම්බන්ධ කණ්ඩායම් එරට තුළ ක්‍රියාත්මක වීමට පටන් ගැනුණා. රටේ පැවති දේශපාලන අස්ථාවරත්වය ඔවුන්ට ඒ සඳහා උපකාරී වුණා.
2016 ජනවාරි 15 වනදා ඔවාගොඩෞගු අගනුවර හෝටලයකට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 30 දෙනකු මියගියා. ඉන් වැඩි පිරිසක් විදේශීයයන් වුණා. එම ප්‍රහාරය රටේ දැඩි කම්පනයක් ඇති කළා. 2017 නොවැම්බරයේ සිට ප්‍රංශ හමුදා එරට තුළ කටයුතු කිරීමට වුණා.
2018 මාර්තු 2 වනදා ප්‍රංශ තානාපති කාර්යාලයට ද ප්‍රහාරයක් එල්ල වුණා. 2019 වසර වනවිට බුර්කිනා ෆාසෝ හි ත්‍රස්ත ප්‍රහාර සුලබ කරුණක් බවට පත්ව තිබුණා. 2019 දෙසැම්බරයේදී ත්රස්තවාදීන් විසින් මාලි රාජ්‍යය සමග වන දේශසීමාව ආසන්නයේ ගම්මානයකට පහර දී 42 දෙනකු ඝාතනය කළා.
2020 නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් කබෝරේ යළි බලයට පත්වුණා. නමුත් ඔහුට එරෙහිව මැතිවරණ දූෂණ චෝදනා මතුවුණා. කෙසේ වෙතත් පවත්නා අනාරක්ෂිත තත්ත්වය නිසා ඇතැම් ප්‍රදේශවල ජනතාවට ඡන්දය භාවිතා කිරීමේ අවස්ථාවක් ලැබුණේ නැහැ.
2021 වසරේදී රටේ ආරක්ෂාව නිරන්තර තර්ජනයන්ට ලක්වුණා. එම වසරේ ජූනි මාසයේ දී සොල්හාන් නම් ගම්මානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයකින් පුද්ගලයන් 132 ත් 160 ත් අතර පිරිසක් මරාදැමුණා. එය පසුගිය වසර හයේ දී එරට සිදුවූ දරුණුම ත්‍රස්ත ප්‍රහාරයයි. එමෙන්ම ඉන් පසු ද අවස්ථා කිහිපයකම දරුණු ප්රහාරයන් එල්ල වුණා.
2022 ජනවාරි 22 වන සෙනසුරාදා ත්‍රස්ත තර්ජනයට මුහුණදීමේදී රජය දක්වන අසාර්ථකත්වයට විරෝධය දක්වමින් ජනතාව ඔවාගොඩෞගු හි වීදි බැස්සා. ඉරිදා දිනයේදී ආණ්ඩුවට එරෙහිව හමුදා කැරැල්ලක් හටගත්තා.
හමුදාව එරට බලය අල්ලාගත් පමණින් බුර්කිනා ෆාසෝ හි හෝ කලාපයේ අනෙක් රටවල හෝ ආරක්ෂාව එකවර තහවුරු වන්නේ නැහැ. ඔවුන්ට ඒ සඳහා තව බොහෝ දේ කිරීමට තිබෙනවා. තැනින් තැන මතුවෙමින් පහරදෙන සටන්කාමී සංවිධානවලට එරෙහිව සටන්වැදීම විශාල අභියෝගයක් වනු ඇති.