චීන ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ රටපුරා

December 9, 2022

චීනයේ නගර ගණනාවක් පුරා මේ දිනවල ආණ්ඩු විරෝධී විරෝධතා පැවැත්වෙනවා. මෙය දශක ගණනකට පසු චීනයේ දකින්නට ලැබෙන බරපතලම විරෝධතාවය යි. එමෙන්ම ජනාධිපති ෂී ජින්පිංගේ පාලනයට එරෙහිව එල්ලවන ප්‍රබලම මහජන විරෝධතාවය ලෙස මෙය සැලකිය හැකියි. ෂී ජින්පිං පසුගියදා පැවති කොමියුනිස්ට් පක්ෂ සම්මේලනයේදී තවදුරටත් සිය බලය තහවුරු කරගැනීමෙන් සති කිහිපයක් ඇතුලත මෙම විරෝධතා වාර්තා වීම ද විශේෂත්වයක් ලෙස සැලකිය හැකියි.

චීනයේ විරෝධතා සඳහා මූලික හේතුව වූයේ එරට බලධාරීන් විසින් අනුගමනය කරන දැඩි කෝවිඩ් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග යි. කෙසේ වෙතත් විරෝධතාවයන් ලොක්ඩවුන් විරෝධයකට වඩා එහා ගිය විරෝධයක් බවට පත්වීමට වැඩි දිනක් ගතවූයේ නැහැ. මේ වනවිට ඔවුන් ෂී ජින්පිංට බලයෙන් ඉවත්වන ලෙස බල කරන තැනට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

විරෝධතා ආරම්භය​
චීනයේ විරෝධතා ආරම්භ වීමට බලපෑවේ ෂින්ජියාං පළාතේ උරුම්චි නගරයේ තට්ටු නිවාස සංකීර්ණයක ඇතිවූ ගින්නක් සම්බන්ධ පුවතයි. නොවැම්බර් 24 වනදා සිදුවූ මෙම ගින්න හේතුවෙන් පුද්ගලයන් දසදෙනකු මියගිය බව වාර්තා වුණා.

එමෙන්ම ඊට සමගාමීව පැතිරගිය පුවතක් වූයේ මෙම මරණයන් වළක්වාගත නොහැකි වූයේ එම ප්‍රදේශයට බලපාන ලෙස පනවා තිබූ දැඩි ලොක්ඩවුන් නීති හේතුවෙන් බවයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

එම නීති හේතුවෙන් ගොඩනැගිල්ල වසාදමා තිබූ බවටත්, සහන සේවකයන්ට එහි ළඟාවිය නොහැකි වූ බවටත් පුවත් පැතිර ගියා. ආණ්ඩුව එම පුවත් ප්‍රතික්ෂේප කළත් ඒ වනවිට සිදුවිය යුතු වූ බලපෑම සිදුව හමාර වී තිබුණා.

දින කිහිපයක් ඇතුලත චීනයේ ප්‍රධාන නගර කිහිපයකම විරෝධතාවයන් වාර්තා වුණා. බොහොමයක් විරෝධතාවයන්ට මුල් වී කටයුතු කරන්නේ විශ්වවිද්‍යාල සිසුන් බවයි වාර්තා වන්නේ.


උරුම්චි ගින්න​

එම විරෝධතාකරුවන් විවිධ අදහස් ඉදිරිපත් කරනු දකින්නට ලැබෙනවා. බොහොමයක් ස්ථානවල විරෝධතාකරුවන් සුදු පැහැති හිස් කඩදාසියක් ඔසවාගෙන යමින් සිය විරෝධය දක්වනු දිස්වුණා. එයින් ඔවුන් පෙන්වා දුන්නේ තමන්ට අදහස් ප්‍රකාශ කිරීමේ අයිතියක් නොමැති බවයි.

තවත් ඇතැම් සරසවි සිසුන් ෆ්‍රීඩ්මාන් සමීකරණය (Friedmann Equation) නම් ගණිත සමීකරණය ලියූ කඩදාසි ඔසවාගෙන සිටිනු දකින්නට ලැබුණු බවත් වාර්තා වුණා. ෆ්‍රීඩ් මෑන් යන්නෙහි අර්ථය නිදහස් කළ මිනිසා යන්නයි.

@elearninglk

කෙසේ වෙතත් මෙම​ විරෝධතාවයන් තනිකරම ලොක්ඩවුන් ක්‍රියාමාර්ග විවේචනයකින් ඔබ්බට ගොස් විරැකියාවට සහ ආර්ථික අපහසුතාවයන්ට එරෙහි විරෝධයක් දක්වා වර්ධනය වනු දිස්වන බව මාධ්‍ය වාර්තා පෙන්වා දෙනවා.

බීජිං අගනුවර සහ ෂැංහයි නගරයේ මෙන්ම වූහාන්, සියාන්, ලැංජෝ, නැන්ජින්, ග්වංජෝ සහ චෙංඩු යන නගරවල ද විරෝධතා සිදුවුණා.

නිල ස්ථාවරය​
චීන ආණ්ඩුව මෙම විරෝධතා පිළිබඳ මුලින් අනුගමනය කළේ නිහඬ ප්‍රතිපත්තියක්. ඔවුන් අදාල නගර වෙත පොලිස් නිලධාරීන් යොදවමින් විරෝධතා පාලනය කිරීමට කටයුතු කළා.

කෙසේ වෙතත් චීනයේ නිල රාජ්‍ය මාධ්‍ය මෙම විරෝධතා පිළිබඳ දින කිහිපයක් යනතුරු කිසිදු පුවතක් වාර්තා කළේ නැහැ. කෙසේ වෙතත්, නොවැම්බර් 28 වනදා චීනයේ ග්ලෝබල් ටයිම්ස් පුවත්පතෙහි මාධ්‍යවේදියකු වන හූ ෂිජින්, මෙම විරෝධතා පිළිබඳ සිය ට්විටර් ගිණුම ඔස්සේ අදහස් දැක්වූවා. ඔහු පැවසුවේ සති අන්තයේදී චීනයේ ස්ථාන ගණනාවක විරෝධතා ඇතිවූ නමුත් කෝවිඩ් ලොක්ඩවුන් ක්‍රියාමාර්ග ලිහිල් කිරීමත් සමග විරෝධතා අඩුවනු ඇති බවයි.


හූ ෂිජින්ගේ ට්විටර් පණිවිඩය​

නොවැම්බර් 29 වන දින කොමියුනිස්ට් පක්ෂ දේශපාලන මණ්ඩලය විසින් සමාජ ස්ථාවරත්වය පවත්වාගැනීමේ අවශ්‍යතාවය​ පිළිබඳ කරුණු දක්වා තිබුණා. මේ අතර ඇතැම් ස්ථානවල කෝවිඩ් ලොක්ඩවුන් සීමා ලිහිල් කිරීම් ද සිදුවූ බවක් වාර්තා වනවා.

ලොක්ඩවුන් කරන්නේ ඇයි?​
ලෝකයේ සෑම රටක්ම පාහේ කෝවිඩ්-19 සමග ජීවත්වීමට හුරු වෙමින් පවතින හෝ හුරුව ඇති හෝ සමයක චීනය තවමත් දැඩි කෝවිඩ් සීමා පනවමින් කටයුතු කරන්නේ කිනම් හේතුවක් නිසාද යන්න ප්‍රහේලිකාවක් ව තිබෙනවා. ඇතැම් විශ්ලේෂකයන්ගේ අනුමානය වන්නේ චීන රජයට ස්වකීය එන්නත් පිළිබඳ විශ්වාසය ප්‍රමාණවත් නොවන හෙයින් මෙසේ කටයුතු කරන බවයි.


Click on the Image

චීනය සිය රට තුළ භාවිතා කිරීමට ඉඩදෙනු ලබන්නේ ඔවුන්ගේ රටෙහි නිපදවන ලද කෝවිඩ් එන්නත් පමණයි. ඒවා සමහරක් වෙත ලෝක සෞඛ්‍ය සංවිධානයේ ද අනුමැතිය ලැබුණ නමුත්, ඒවායේ කාර්යක්ෂමභාවය පිළිබඳ ඇතැමුන් විසින් විවිධ සැක සංකා පළ කරනු ලැබුණා.

චීන රජයට ද සිය එන්නත් පිළිබඳ සැකයක් පවතින බවට ඇතැම් විශ්ලේෂකයන් අනුමාන කරනවා.


සුදුපැහැති කඩදාසිය විරෝධතාවයෙහි සංකේතයක්ව තිබෙනවා

කිනම් කරුණක් නිසාවෙන් හෝ චීනය කිසියම් ප්‍රදේශයක කෝවිඩ්-19 ආසාදිතයන් හමුවුවහොත් එම ප්‍රදේශයම ලොක්ඩවුන් කිරීමට කටයුතු කරනවා. මේ හේතුවෙන් විවිධ ආර්ථික ප්‍රශ්න ද පසුගිය සමයේ හටගත් අතර ජනතාවට ද මේ පිළිබඳව මේ වනවිට ඇත්තේ දැඩි වෙහෙසකර හැඟීමක් බවයි පෙනී යන්නේ.

මේ අතර චීන ජාතිකයන් සියළු දෙනා නිරන්තර කෝවිඩ් පරීක්ෂාවන්ට ලක්විය යුතු අතර ඔවුන්ගේ තත්ත්වයන් වාර්තා කර තබාගැනීම සඳහා ජංගම දුරකථන යෙදවුමක් භාවිතා කරනවා. මෙම යෙදවුම මගින් පුද්ගලයන් පිළිබඳ වාර්තා තබාගැනීම සිදුවන බවට ද සැකයක් පවතිනවා.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.