මිනිසුන් අත්තනෝමතිකව නීතිය අතට ගෙන කටයුතු නොකළ යුත්තේ ඇයි ?

නස්රුදීන් යනු දහතුන්වන සියවසේදී තුර්කියේ ජීවත් වූ මුල්ලා කෙනෙකි.(ඉස්ලාම් සූෆි පූජකයෙක්) ඔහු කලක් රජතුමාගේ(සුල්තාන්වරයාගේ) පුරෝහිතයාව සිටියේය.

එකල සුල්තාන්වරයා වරක් “දැඩි දඬුවම් දීමෙන් රටේ සියලු වැරදි මුලිනුපුටා දැමිය යුතු යැයි” තීරණය කළේය. බොරු කීමට පවා මරණ දඬුවම දීමට රජු තීරණය කළේය. ඒ අනුව නගරයට ඇතුළු වන තැන ඇති පාලම අසළ එල්ලුම් ගසක් පිහිටුවා නගරයෙන් ඇතුළුවන පිටවන සියලු දෙනා ප්‍රශ්නකිරීමට ලක් කිරීමට රජු තීරණය කළේය. යමෙකු බොරුවක් කිව්වොත් / අනන්‍යතාව සැඟවුවහොත් ඔහුට හෝ ඇයට හිමි වුණේ මරණ දඬුවමයි.

නස්රුදීන් මේ තීරණයට විරුද්ධ වුණේය. ඔහු පැවසුවේ නීතිය සුළු වැරදි නොතකා, වරදේ පරිමාණයට අනුව දඬුවම් නියම කළ යුතු බවයි. එමෙන්ම වැරදි සහමුලින් ඉවත් කළ නොහැකි බවත් පාලනය කිරීම පමණක් කළ හැකි බවයි. තවද මිනිසුන් යහපත් වීම, “සියලු දෙනාගේ යහපත උදෙසා තම ඇතැම් හැසිරීම් පාලනය හා වෙනස් කර ගැනීමේ වැදගත්කම” ගැන ඔවුන්ගේ ආකල්පමය වර්ධනයකින් හා සදාචාරාත්මක සංස්කෘතියක් ජනිත කරගෙන පවත්වා ගැනීමෙන් පමණක් කළ හැකි බවත්, නීතිය – ආගම- අධ්‍යාපනය ආදිය ඊට මග පෙන්වීම පමණක් සිදු කළ යුතු බවත්ය.


Photo Credits – www.macomi.com

තවද ඥානවන්ත ගුරුවරුන්ගේ මග පෙන්වීමෙන්, භාවනාව ආදී යම් ක්‍රියාපිළිවෙත් අනුගමනයෙන්, තම අන්තර්ඥානය අවධි කර ගැනීමෙන් සත්‍යය දකින මිනිසා ස්වභාවයෙන්ම යහපත් තත්වයට ලඟා වන බවත්, එසේ නොමැතිව යහපත මිනිසුන් මත බලෙන් පැටවීම කළ නොහැකි බව නස්රුදීන් පැවසුවේය.

රජතුමා ඔහුගේ උපදෙසට සවන් නොදී තම තීරණය ක්‍රියාත්මක කළේය.
දිනක් නස්රුදීන් නගරයට ඇතුළු වෙද්දී එල්ලුම් ගස අසල රාජ පුරුෂයන් ඔහුගෙන් ප්‍රශ්න කළේය..

කොහෙද තමුන් යන්නේ?
“මම එල්ලුම් ගහට යනවා.” නස්රුදීන් උත්තර දුන්නා..
“ඒක බොරුවක්.”
“එහෙනම් මාව එල්ලපල්ලා.”
“එත් තමුන්ව එල්ලුවොත් ඒ කියපු එක ඇත්තක් වෙනවා.”
“ඔහෙලාට ඇත්ත හා බොරුව කියන දෙකේ ස්වභාවය දැන් ටිකක් වැටහෙන්න ඇති.”

ලංකාවේ සාමාන්‍ය ජන සමාජයේ මතය වනුයේද උක්ත කතාවේ සුල්තාන්වරයා මෙන්ම දැඩි දඬුවමින් සමාජය හික්මවිය යුතු බවයි. ලංකාවේ අපරාධ යුක්ති පසිඳලීමේ අධිකරණ පද්ධති ක්‍රියාකාරීත්වය පිළිබඳව ඔවුන්ගේ ප්‍රසාදයක් නොමැත. එහෙයින් ලංකාවේ යම් අපරාධයක් සම්බන්ධයෙන් පුද්ගලයෙකුට එරෙහිව චෝදනා එල්ල වූ විට සමාජයේ සාමාන්‍ය මිනිස්සු අදාළ පුද්ගලයා වරදකරු බව නිගමනය කොට, ඇතැම් විට නීතිය අතට ගෙන, අදාළ චූදිතයාගේ නිවස හා දේපල ගිනිබත් කිරීම වැනි ක්‍රියාකාරකම් වල යෙදෙනුද දැකගත හැකිය. එමෙන්ම අදාළ චූදිතයාට නීතීඥ සහාය ලබා නොදෙන ලෙස ඉල්ලා පෙළපාලි යන අවස්ථාද දැකගත හැකිය.

සාමාජීය පුද්ගලයෙකු ලෙස ඔබ තේරුම් ගත යුත්තේ, යම් වරදකට චෝදනාවක් එල්ල වූ පමණින්, ඔහු වැරදිකරු යයි අගතිගාමී නිගමන වලට එළඹීම වැරදි බවයි. උදාහරණයක් ලෙස මෑත කාලීනව සිදු වූ කොටදෙණියාවේ සේයා සඳෙව්මි දැරිය පැහැරගෙන ගොස් දුෂණය කර මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට මුලින්ම අත්අඩංගුවට පත්වූයේ කොණ්ඩයා නම් අයෙකි. ඔහුගේ නිවස ගිනි තැබීමටද ගම වැසියෝ කටයුතු කළහ. එනමුත් පසුව අනාවරණය වූයේ අදාළ වරද සිදුකර ඇත්තේ කොන්ඩයාගේ වැඩිමහළු සොහොයුරා වූ සමන් ජයලත් නම් අයෙකු බවයි. සමන් ජයලත් නමැත්තාට එරෙහිව අධි චෝදනා ගොනු වී මීගමුව මහාධිකරණයේ්දි නඩු විභාගයක් පවතී අතර, නඩු විභාගය අවසානයේදී ඔහුට මරණ දණ්ඩනය නියම කෙරුණි.

අතීතයේ මෙන් නොව වර්තමානයේ රටක පුරවැසියන්ට,රටේ නීතියේ පදනම් ව්‍යවස්ථාව වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම සහතික කරන ලද මූලික අයිතිවාසිකම් තිබේ. එම මූලික අයිතිවාසිකම් වල අරමුණ ආණ්ඩුවේ විධායක බලය අසාධාරණ ලෙස යෙදවීමෙන් පුරවැසියන් ආරක්ෂා කර ගැනීමයි. අහිංසක භාවයේ පූර්ව නිගමනය සහිතව ඇරැඹෙන(Presumption of innocence) නිසි අධිකරණ ක්‍රියාවලියකින් (Due process) තොරව පුරවැසියෙක්ට දඬුවම් කරන්න වර්තමාන රාජ්‍යයකට අයිතියක් නොමැත.

අතීතයේ සිදු වූ, ඇහැලේපොළ අධිකාරම කළා කියපු වරදට, ඔහුගේ අඹු දරුවන් ඝාතනය කිරීමට රජතුමා නියෝග කිරීම වැනි රාජ්‍ය බලය අනිසි ලෙස යෙදවීම් හා උල තැබීම, අලින් ලවා පෑගීම ආදී දෙතිස් වධ වැනි ම්ලේච්ඡ දඬුවම් වර්තමානයේ ක්‍රියාත්මක නොවෙන්නේ, නීතියේ ආධිපත්‍යය හා මූලික අයිතිවාසිකම් හේතුවෙනි. යම් අපරාධයක් සිදු කළේ යැයි චෝදනා ලබන තැනැත්තා සම්බන්ධව පමණක් පැවැත්වෙන සාධාරණ නඩු විභාගයකින් අනතුරුව, ඔහු වරදකරු බව තීරණය කෙරෙන්නේ නම්, ඔහුට පමණක් දඬුවම් කිරීමට වර්තමාන රාජ්‍යයකට අයිතිය තිබේ. ඔහුගේ වරදට ඔහුගේ අඹුදරුවන්ට දඬුවම් කළ නොහැක.

තමන්ට එරෙහිව චෝදනා එල්ලවී හෝ අධි චෝදනා ගොනු කොට පැවැත්වෙන නඩු විභාගයකදී තමන් වෙනුවෙන් කරුණු දැක්වීමට නීතිය හා අධිකරණ කාර්යපටිපාටිය පිළිබඳව උගත්කම ඇති නීතීඥවරයෙකුගේ සේවය ලබා ගැනීමේ අයිතිවාසිකමක් (right to representation) සෑම පුරවැසියෙකුටම තිබේ. මහාධිකරණය හෝ අභියාචනාධිකරණය ඉදිරියේ පැවැත්වෙන අපරාධ නඩු විභාගයන්හිදී, යම් චූදිතයෙකුට නීතිඥවරයෙකුගේ සේවය ලබා ගැනීමට වත්කමක් නැති නම්, රජයෙන් පත්කළ නීතීඥවයෙකුගේ සේවය(Assign Counsel) ඔහු වෙනුවෙන් නොමිලේ ලබා දීමට අධිකරණය කටයුතු කරයි. නීතිඥවරුන් වනාහි අධිකරණයේදී යුක්තිය පසිඳලීමේ කාර්යභාරය සඳහා සහයෝගය දෙන අධිකරණ නිලධාරීන්ය. (Officers at Court) නීතිඥ රාජකාරිය වන්නේ තම සේවාදායකයා වෙනුවෙන්, ඔහුගේ උපදෙස් මත, අධිකරණය ඉදිරියේ, “ඔහු ඔහු වෙනුවෙන් කතා කළ යුතු ආකාරයට”, කරුණු දැක්වීමය. එනම් තම සේවාදායකයාගේ උපරිම යහපත පිණිස කටයුතු කිරීමය.

චූදිතයෙකුට එරෙහිව නිසි කාර්යපටිපාටියට අනුකූලව නඩු අසා, ඉදිරිපත්ව ඇති සාක්ෂිසාධක විශ්ලේෂණය කොට, චූදිත වැරදිකරු බවට නිගමනය කරන්නේ නම්, එම වරදකරුට අදාළ වරදට අදාළ (හරයාත්මක නෛතික ප්‍රතිපාදන ප්‍රකාරව දක්වා ඇති, උපරිම හා අවම දණ්ඩන, අතර මැද) දඬුවමක් නියම කිරීමේ අභිමතිය(discretion) අධිකරණයට පැවරේ. එම දඬුවම බන්ධනාගාර අධිකාරීන් මගින් ක්‍රියාත්මක කෙරේ.

සමාජයේ පුරවැසියන්, නීතිය අතට ගෙන අපරාධ චූදිතයන්ගේ නිවෙස් ගිනි තබා, ඔවුන්ට දඬුවම් කිරීමට යාම මගින් සිදුවන්නේ, එසේ ක්‍රියා කරන්නන්ද අපරාධකරුවන් බවට පත් වීම පමණි. ඔවුන්ට එරෙහිවද නඩු පවරා දඬුවම් කිරීම සිදුවනු ඇත. මන්දයත් නීතිය අතට ගෙන චූදිතයන් ට දඬුවම් කිරීමට සමාජයේ පුරවැසියන් කිසිවෙකුට අයිතියක් නොමැතිවාක් මෙන්ම, යම් පුද්ගලයෙකුට අපරාධ චෝදනා එල්ලවීමක් සම්බන්ධයෙන් හෝ ඔහු වරදකරු වීමක් සම්බන්ධයෙන්, ඔහුගේ දේපල හෝ ඔහු වෙසෙන නිවසේ ජීවත් වන අනිත් අය පලි නැති බැවිනි.

සමාජයේ අපරාධකරුවන් බිහිවන්නේ බොහෝ විට සමාජ අසාධාරණය, සමාජ සුභසාධනය අවම වීම, ධනය නිසි ලෙස බෙදී නොගොස් ඉහළ සමාජ පංතියකට පමණක් ධනය සංකේන්ද්‍රණය වීම, දුප්පත්කම, නූගත්කම, සමාජ පසුබිම, දේශපාලනික සමාජ ධූරාවලියේ ඉහළ බලාධිකාරීන්ගේ බලපෑම ආදී හේතුන් රාශියක් නිසාය. ධාර්මික සමාජයක් උදෙසා වරදකරුවන් පුනරුත්ථාපනය මෙන්ම වරදකරුවන් බිහිවන සමාජ තත්වයන් හඳුනාගෙන ඒ අයහපත් තත්වය වෙනස් කිරීමටද කටයුතු කිරීම වැදගත් වනු ඇත.

සැරව ගලන තුවාලයකට බෙහෙත් කිරීමට නම් සැරව ඉවත් කර එය පිරිසිදු කරගත යුතුය. නොඑසේව කරන කවර බෙහෙතක් වුව ගඟට ඉනි කැපීමක් වනු ඇත. සමාජ විනය දඬුවමින් පමණක් ස්ථාපිත කළ නොහැක. එහෙයින් බුදුරදුන් කූටදත්ත සූත්‍රයේ දේශනා කළ ලෙසම මනා සුභසාධනයක් ක්‍රියාත්මක කොට ධනය බෙදී යාම විධිමත් කොට සමාජ සාධාරණත්වය ඇති කිරීමෙන් පමණක් අපරාධ රැල්ල අවම කරගත හැකිය.

eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

නීතිඥ යලිත් වසන්ත මනහර විජේසුරේන්ද්‍ර මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ නීතිවේදී උපාධිධරයෙක්. එමෙන්ම බෞද්ධ හා හින්දු ධර්මයන් පිළිබඳ පර්යේෂකයෙක්. "Buddhist Answers for Critical Questions" නම් වූ කෘතියක් ලියා එය ජාත්‍යන්තරව ප්‍රකාශයට පත් කළ යලිත් විජේසුරේන්ද්‍ර මහතා, ලෝකයාට සත්‍යයේ, ධර්මයේ, සතුටේ හා සාර්ථකත්වයේ මාර්ගය පෙන්වා දීම උදෙසා ලිපි සම්පාදනය හා දේශන පැවැත්වීම සිදු කරනු ලබනවා.