සුඩානයේ ගහගන්නේ කවුද​?

April 26, 2023

පසුගිය දිනවල ලෝක මාධ්‍ය විසින් වාර්තා කරන ලද ප්‍රධානම සිදුවීමක් ලෙස සුඩානයේ සිදුවන ගැටුම් සැලකීමට පුළුවනි. මෙම ගැටුම්වල වැදගත්කම වන්නේ එය එක්තරා ආකාරයක අතීත ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මතුවූ පාර්ශව දෙකක් අතර ගැටුමක් වීමයි.

සුඩානය ලෝකයේ දුප්පත්ම රටවල් අතුරින් එකක් ලෙස සැලකිය හැකියි. එහි ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 750 ක් පමණ වන අතර ඒ අතින් ලොව පහළින්ම සිටින රටක්. එමෙන්ම වසර ගණනාවක් තිස්සේ එහි විවිධ ආකාරයේ අවි ගැටුම් ද පවතිනවා.

@elearninglk

දිගු කලක් එරට පාලනය කළ ඔමාර් අල්-බෂීර් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව එරට පාලනය අතට ගත් මිලිටරි හුන්ටාවේ ප්‍රධානියා වූයේ අබ්දල් ෆටෙහ් අල්-බුර්හාන් නම් ජෙනරාල්වරයා යි. ඔහු සමග ගැටුමට මුල්ව සිටින්නේ “කඩිනම් සහයක බලකාය​” (Rapid Support Forces) ලෙස හඳුන්වන මිලීෂියා කණ්ඩායමේ නායකයා වන මොහොමඩ් හමාඩ් දගාලෝ යි.

ඔහු සාමාන්‍යයෙන් ප්‍රකටව සිටින්නේ හෙමේටි යන නමින්. එහි තවත් සුවිශේෂී කරුණක් වන්නේ අල්-බුර්හාන් සහ හෙමෙට්ටි අතීතයේ මිත්‍රයින් සහ සගයන් වීමයි. කෙසේ වෙතත්, රටේ දේශපාලනය වෙනස් වීමත් සමග මේ හිටපු මිත්‍රයින් අතරේ ගැටුම් හටගැනෙනවා.


හමුදා ප්‍රධානී අල්-බුර්හාන්

මේ වනවිට කඩිනම් සහයක බලකාය ලෙස නම් කරනු ලැබ තිබුණත් RSF මිලීෂියා කණ්ඩායමේ ආරම්භය තියෙන්නෙ ජන්ජවීඩ් යන නමින් හැඳින්වූ මිලීෂියා කණ්ඩායමකයි. මෙම කණ්ඩායම සුඩානයේ, විශේෂයෙන්ම ඩාෆූර් පළාතේ ගැටුම්වලදී සුඩාන රජය පාර්ශවයෙන් සටන් කළ පිරිසක් වුණා.

ඩාෆූර් සටන්
සුඩානයේ බටහිරදිගින් පිහිටි ඩාෆූර් පළාතෙහි ගැටුම් ඇරඹුණේ 2003 වසරේ යි. ඒ සඳහා විවිධ හේතු බලපෑ අතර සටන් ඇතිවුණේ එම ප්‍රදේශවල සිටින අරාබි ජාතික නොවන ජනවර්ග සහ සුඩාන රජය අතරයි. සුඩාන රජය පාලනය වන්නේ අරාබි ජාතිකයන් අතින්.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කෙසේ වෙතත්, ඩාෆූර් සටන් ඇරඹෙනවිට සුඩානයේ ජනාධිපති ඔමාර් අල්-බෂීර් වූ අතර ඩාෆූර් ප්‍රදේශයේ හමුදා ප්‍රධානියා වූයේ අල්-බුර්හාන්. කෙසේ වෙතත් මෙම අවස්ථාවේ ඩාෆූර් කැරැල්ල මර්ධනය කිරීමට සහය වීම පිණිස ජන්ජවීඩ් මිලීෂියා කණ්ඩායම සකසනු ලැබුණා.

යුධ හමුදාවට වඩා දරුණු මර්ධනකාරී ක්‍රියා අනුගමනය කරමින් එම සංවිධානය ඩාෆූර් හි කැරලි මර්ධනය සඳහා උත්සාහ​ කළා.


හෙමේට්ටි

ඩාෆූර් සටන් අවසානයේ නිමා වූයේ කිසිදු පාර්ශවයකට ජයක් අත්කර දෙමින් නොවේ. බොහොමයක් කැරලිකාර කණ්ඩායම් සහ සුඩාන රජය අතර සාම ගිවිසුම් අත්සන් කරනු ලැබුණා. කෙසේ වෙතත් ජන්ජවීඩ් මිලීෂියාව සිය දරුණු මර්ධනකාරී කටයුතු හේතුවෙන් නමක් දිනාගන්නට සමත් වුණා. ඒ අනුවයි 2013 දී ඔවුන් එවක ආණ්ඩුවේ ද අනුදැනුම ඇතිව කඩිනම් සහයක බලකාය ලෙස පරිණාමය වූයේ.

කුළී හේවා කටයුතු
මේ වනවිටත් මෙම මිලීෂියා කණ්ඩායම පිරිස් බලයෙන් 100,000 ක් පමණ වූ ඉතා හොඳින් සන්නද්ධ වූ කණ්ඩායමක් වුණා. එහෙයින් කලාපයේ විවිධ කණ්ඩායම් සඳහා කුළී හේවායන් සැපයීමටත් ඔවුන් පටන් ගත්තා. එමගින් හමදාන් විශාල ආදායමක් ද ලබාගත්තා. මෙසේ කුළී හේවායන් ලෙස ඔහුගේ භටයන් සම්බන්ධ වූ ප්‍රධානම අවස්ථාව යේමන් සිවිල් යුද්ධයයි. එහිදී එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් ඔවුන්ව කුළී හේවායන් ලෙස යොදවා ගත්තා. පසු කලෙක භටයන් පිරිසක් ලිබියාවේ කලීෆා හෆ්තාර් වෙනුවෙන් ද සේවය කළා.

2018 සහ 2019 වසරවල සුඩාන විරෝධතා ව්‍යාපාරයන් අතරතුරදී ද එම විරෝධතා මැඩලීම සඳහා මෙම කණ්ඩායම යොදාගත් අවස්ථා වූ අතර එහිදී ද මානව හිමිකම් කඩකිරීම් රැසක් සිදුවූ බව චෝදනා කෙරෙනවා.

මිතුරන් ගැටුම​
2019 දී ඔමාර් අල්-බෂීර් බලයෙන් නෙරපන ලද පසු සුඩානයේ පවතින තත්ත්වය විශාල විපර්යාසයකට පත්වුණා. අල්-බුර්හාන් බලය අල්ලාගත් අතර එක්තරා කාලයක් සිවිල් උද්ඝෝෂණ දිගටම පැවති හෙයින් අනතුරුව හමුදා-සිවිල් ඒකාබද්ධ ආණ්ඩුවක් ද පිහිටවුණා.

කෙසේ නමුත් 2021 දී අල්-බුර්හාන් නැවත සම්පූර්ණ​ බලය තමන් අතට ගත්තා. ඊට එරෙහිවත් දිගටම උද්ඝෝෂණ පැවතියා. අවසානයේදී 2022 දෙසැම්බරයේදී නැවත වතාවක් හමුදා සහ සිවිල් නායකයන් අතරේ ගිවිසුමක් අත්සන් කෙරුණා.

මිලීෂියාව සුඩාන හමුදාවට අනුයුක්ත කළ යුතු යයි ද මෙහිදී එකඟතාවයක් ඇතිවුණා. එමෙන්ම RSF මිලීෂියාව පැවතීම අල්-බුර්හාන් සැලකූයේ තමන්ට අභියෝගයක් ලෙසයි. යුධ හමුදාවට විකල්ප ශක්තිමත් මිලීෂියා කණ්ඩායමක් තවදුරටත් පැවතීම අවශ්‍ය නොවන බවයි ඔහුගේ අදහස වූයේ. ඒ අනුව එම මිලීෂියා භටයන් සන්නද්ධ හමුදා වෙත බඳවාගැනීමට අල්-බුර්හාන් යෝජනා කළා.

නමුත් එම යෝජනාව හමේටිගේ ප්‍රසාදයට හේතු වූයේ නැහැ. එවිට ඔහුට තමන් යටතේ සිටි විශාල සහ තමන්ට පක්ෂපාතී පිරිස අහිමි වීම ඊට හේතුවයි.


ගැටුම් හේතුවෙන් ඇතැම් පිරිස් ගෙවල් දොරවල් අතැර යන බව වාර්තා වනවා

2023 අප්‍රේල් 11 සිට RSF භටයින් සටනට සූදානම් වන සෙයක් දකින්නට ලැබුණා. කෙසේ වෙතත් සටන් දරුණු ලෙස ඇවිල ගියේ අප්‍රේල් 15 වනදා RSF සෙබළුන් ගුවන් තොටුපල කිහිපයකට සහ යුධ හමුදා කඳවුරු කිහිපයකට පහරදීමත් සමගයි.

ජනාධිපති මැදුර දෙසට ද ප්‍රහාර එල්ල වුණා. යුධ හමුදාව ද ප්‍රතිප්‍රහාර එල්ල කළ අතර ගුවනින් පවා RSF මිලීෂියා කඳවුරු වෙත පහර දුන්නා.


Click on the Image

මෙසේ ඇරඹුණු ගැටුම් සුඩානයේ අගනුවර ආසන්න ප්‍රදේශවලින් ඔබ්බට ද පැතිරගොස් තිබෙනවා. ඉතියෝපියානු දේශසීමාව දෙසටත් මෙම ගැටුම් පැතිර ඇති අතර සුඩාන ආණ්ඩුව මෙන්ම RSF මිලීෂියාව ද කලාපයේ සිය සහචරයන් වෙතින් සහයෝගය ඉල්ලා ඇති බව වාර්තා වනවා.

ඊජිප්තු රජය සුඩාන හමුදාවට සහය දෙන බවට රාවයක් ද පැතිර ගියා. මේ අතර විදේශ රටවල් සුඩානයේ සිටින සිය රටවැසියන් ගැන අවදානය යොමු කිරීමට පටන් ගෙන තිබෙනවා. ඉදිරි දිනවල ද මෙම සටන් අඩුවීමක් නොවනු ඇති බවයි දැනට පෙනී යන කරුණු අනුව අනුමාන කළ හැක්කේ.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.