මිත්‍යා විශ්වාස හැදුනු හැටි

December 31, 2019

පුරාවිද්‍යාත්මක වශයෙන් ඔප්පු කරපු ලංකාවේ මානව ඉතිහාසය අවුරුදු 137 000ක් විතර වෙනවා. ඒ කාලෙ ඉදලම ටික ටික ඉස්සරහට ඉස්සරහට ඇවිත් තමයි, අපි අද ඉන්න තත්වයේ ඉන්නෙ. අද අපේ රටේ ජාතීන් ගණනාවක්ම ඉන්නවා. ඒ අතරින් සිංහල, දෙමළ, මුස්ලිම් කියන ජාතීන් ප්‍රධානයි. ඊට අමතරව බර්ගර්, මැලේ, ආදිවාසී, කාපිරි වගේම නිදහසින් පස්සෙ වෙනත් රටවල්වලින් අපේ රටට ඇවිල්ලා අපේ රටේ පුරවැසියො වුණු අයත් ඉන්නවා. ඉතින් ජාතීන් අතරෙත් විවිධත්වයක් ඇති වුණා. මේ විදිහට ජාතීන් ගොඩක් ඉන්න නිසා අපිට බෞද්ධ දර්ශනය, හින්දු දහම, ඉස්ලාම් දහම, කතෝලික දහම වගේ ආගම් සහ දර්ශන ගොඩකුත් ලැබුණා. ඒ හරහා එක එක විදිහේ සංස්කෘතීන් බිහි වුණා. සමහරක් සංස්කෘතීන් ජාතීන් අනුවත්, සමහර සංස්කෘතීන් ආගම දහම අනුවත් වෙනස් වෙනවා. ඊටත් අමතරව මිනිස්සු ජීවත්වෙන නගරය, දිස්ත්‍රික්කය, පළාත අනුවත් ඒ ඒ අයට ආවේණික වුණු වෙනස්කම් ගොඩ නැගුනා. කතා කරන භාෂාව සහ වචන, කෑම බීම, ඇදුම් පැළදුම්, උත්සව, සිරිත් විරිත් වගේ දේවල් උදාහරණ විදිහට නම් කරන්න පුලුවන්. මේ නිසා ලංකාව කියන්නෙත් ඉන්දියාව වගේම විවිධත්වයක් තියෙන රටක්. ලංකාවෙ කොහේ ගියත් ඒ ඒ ප්‍රදේශය අනුව, ඒ ඒ ජාතීන් සහ ආගම් අනුව, ඒ ඒ සංස්කෘතීන් අනුව විවිධත්වයක් ගන්නවා.

අපි දන්නවා ලංකාව කියන්නෙ ලෝකයේ අනිත් රටවල දිග පළල එක්ක බලනකොට බොහොම පුංචි රටක් කියලා. ලංකාව වගේ පුංචි රටකත් මෙච්චර ලොකු විවිධත්වයක් තියෙනවා නම්, ලෝකයේ තියෙන හැම රටක්ම සහ දූපතක්ම එකතු කළොත්, මේ විවිධත්වය කොහොමට තියෙයිද?

ලෝකයේ මනුෂ්‍යයන් අතරේ තියෙන විවිධත්වය නිසා ඒ ඒ ආගම්වලට අනුව, ඒ ඒ සංස්කෘතීන්ට අනුව, ඒ ඒ ජාතීන්ට අනුව එක එක විදිහේ ඇදහීම් සහ විශ්වාස ගොඩාක් දැක ගන්න පුලුවන්. එක පිරිසකට තමන්ගේ විශ්වාසයන්, ඇදහිළි සහ සංස්කෘතිය සාරවත් දෙයක් විදිහටත්, අනිත් අයගේ විශ්වාසයන්, ඇදහිළි සහ සංස්කෘතිය සාරවත් නැති දෙයක් විදිහටත් පේන්න පුලුවන්. අනිත් පිරිසටත් තමන්ගේ දේවල් හරවත් දේවල් විදිහටත්, අනිත් අයගෙ දේවල් හරයක් නැති දේවල් විදිහටත් පේන්න පුලුවන්. හැබැයි ඒ මොන සංස්කෘතිය ගත්තත්, ඒකේ අන්තයටම යෑමේ ප්‍රතිපලයක් නිසා ඇතිවෙන දෙයක් තමයි “මිත්‍යාව” කියන්නෙ. මේ මිත්‍යාව හැම සංස්කෘතියකම වගේ දකින්න පුලුවන්.

අද අපි කතා කරන්නේ වර්තමාන සමාජයේ පවා හුග දෙනෙක් අතරේ තියෙන මිත්‍යා විශ්වාසවලින් කිහිපයක උත්පත්ති කතාවන් සහ ඒවා එක එක සමාජයන් වෙත ගෝලීය වශයෙන් ව්‍යාප්ත වුණේ කොහොමද කියන එක ගැනයි.

 

01. කිඹුහුම් යවන එක අසුබයි !

* හෙම්බිරිසාවක් එහෙම ඇවිල්ලා, නහය බර වුණාම, කිහිඹුම් යන එක හරිම සාමාන්‍ය දෙයක්. ඒක ඉබේම සිද්ධ වෙන දෙයක්. ඒත් කිහිඹුම් අරින එක හරිම අසුභ දෙයක් විදිහට තමයි අපේ පැරැන්නො විශ්වාස කළේ. අවුරුදු දහස් ගාණකට කලින් ඊජිප්තුව, ග්‍රීසිය, රෝමය වගේ රටවල්වල අය විශ්වාස කළා කවුරුහරි කිහිඹුමක් ඇරියම, ඒ කිහිඹුමේ වේගයට, කිහිඹුම අරින කෙනාගෙ ආත්මයත් ශරීරයෙන් එළියට විසික්වෙලා යන්න පුලුවන් කියලා. එහෙම වුණාම එළියේ ඉන්න නරක ආත්මයකට / බලවේගයකට පුලුවන් වෙනවලු, කිහිඹුම නිසා ආත්මයක් නැතිව ගිය ඒ ශරීරයට ඇතුල් වෙන්න. ඊට පස්සෙ ඒ ශරීරය මෙහෙයවන්නෙ අර නරක ආත්මය විසින්ලු. ඉතින් ඒ නරක ආත්මය, ඒ ශරීරය හරහා කරන තරමක් කරන්නෙ නපුරු, පව් එකතු වෙන වැඩලු.

 

​02. නරි කෑ ගහන එක අසුබයි !

* අපේ පැරැන්නො නරීන්ගෙ හූවයි, බල්ලොන්ගෙ උඩු බිරිල්ලයි හැදින්නුවේ අසුභ ලකුණු විදිහටයි. ඒකට හේතුවක් තමයි ඒ අවස්ථාවේදී ඒ සත්තුන්ගෙන් පිටවෙන සද්ධයේ අමිහිරි සහ මූසල බව. ඉතින් අපි අතරේ විශ්වාසයක් තියෙනවා එහෙම සිද්ධියක් වුණොත්, ඒකෙන් කියවෙන්නෙ ගමට ලොකු වින්නැහියක් අත ළග එනවා කියලා. පැරැන්නො සමහරක් සත්තුන්ට සුභ සහ අසුභ කියන දෙක ආරෝපණය කරලා තියෙනවා. සත්තුන්ට විතරක් නෙවේ, එයාලගෙ හැසිරීම් රටාවලටත් එහෙමයි. කැළේ රජා කිව්වොත් අපිට මතක් වෙනවා සිංහයාව. කැළේ ඉන්න කපටියා කිව්වම අපිට මතක් වෙනවා නරියව. කැළේ ඉන්න ආඩම්බරම සතා කිව්වම අපිට මොණරවත්, කැළේ ඉන්න පඩිතුමා කිව්වම බකමූණවත් මතක් වෙනවා. සිංහයා පෞර්ෂයෙන් හරිම අභිමාණවත් නිසාත්, නරියා පෞර්ෂයෙන් පොහොසත් නැති නිසාත්, මොණරා හරිම ලස්සන නිසාත්, බකමූණා හරිම නිහඩ නිසාත් අපේ පැරැන්නො සහ රචකයො ඒ ඒ සත්තුන්ට, ඒ ඒ නිළ තල දුන්නා. ඉතින් මේ සුභ සහ අසුභ විදිහට වෙන් කරන එකත් ඒ විදිහෙම දෙයක්.

 

03. කළු පූසො අසුබයි !

* කළු පූසා කියන්නෙත් හරිම අසුභ සතෙක් කියලයි මුළු ලෝකයේම තියෙන පිළිගැනීම. ගමනක් යනකොට කළු පූසෙක්ව දැක්කොත්, ඒ යන ගමන හරියන්නෙ නෑ කියලා තමයි අපේ සීයලා ආත්තම්මලා වුණත් විශ්වාස කළේ. මේ මිත්‍යා මතය අවුරුදු දහස් ගාණක් තිස්සෙ ලෝකයේ තිබුණු දෙයක්. ඊජිප්තුවේ අය විශ්වාස කළා බල්ලන් තමන්ගෙ ආරක්ෂකයින් කියලත්, පූසෝ නපුරු බලවේග හරහා මිනිස්සුන්ට විපත් ගෙන දෙනවා කියලත්. යුරෝපීය රටවල්වල මිනිස්සුන්ගෙ සිතුවිල්ලක් තිබුණා නපුරු මායාකාරියො (Witches), තමන්ගෙ සුරතල් සතා විදිහට කළු පූසන්ව ඇති කරනවා කියලා. තවත් සමහරු හිතුවා අමනුෂ්‍යයො විසින් මනුෂ්‍යයන්ගේ ඔත්තු බලන්න, අමනුෂ්‍ය ලෝකයේ ඉදලා එවපු සත්තු ජාතියක් කියලා. අනිත් පූසන්ට සාපේක්ෂව කළු පාට පූසන්ට කළු වර්ණය නිසා, ටිකක් භයානක සහ අප්‍රසන්න පෙනුමක් ලැබිලා තියෙනවා. ඒකත් හේතුවක්.

 

04. බටහිර දිශාව අසුබයි !

* ගොඩක් අය නැගෙනහිර දිශාව සුබ දිශාවක් විදිහටත්, බටහිර දිශාව අසුබ දිශාවක් විදිහටත් හදුන්වන්න පුරුදුවෙලා ඉන්නවා. සූර්යයා කියන්නෙ පෘතුවියේ ශක්තියයි. සූර්යයා නිසා තමයි අපි ජීවත්වෙන්නෙ. සූර්යයා විනාශ වෙනවා කියන්නෙ අපිට පැවැත්මක් නෑ කියන එක. නැගෙනහිරින් තමයි සූර්යය උදා වෙන්නෙ. ඒ නිසා නැගෙනහිරින් සූර්යයා උදාවීමෙන් අපේ අය ජීවය, ප්‍රබෝධය, පිබිදීම, උත්පත්තිය වගේ සුබ පැත්තට බර දේවල් සංඛේතවත් කර ගන්නවා. බටහිර දිශාවෙන් සංඛේතවත් කරන්නෙ ඒකෙ අනිත් පැත්ත. මොකද ඒ පැත්තෙන් තමයි සූර්යයා බැහැලා ගිහිල්ලා නැතිවෙලා යන්නෙ. ඒ නිසා මරණය, විනාශය බටහිර දිශාවෙන් සංඛේතවත් කරනවා.

 

05. ගෙවල් ඇතුළෙ කුඩ ඉහලන්න එපා !

* ගෙවල් ඇතුළෙ කුඩ ඉහළන එක හරිම අසුබ දෙයක් කියලා තමයි අපේ වැඩිහිටියො කියන්නෙ. ඒත් පුංචි කාලෙ අපි ගෙවල් ඇතුළෙ කොච්චර කුඩ ඉහළගෙන සෙල්ලම් කරන්න ඇතිද? මේකත් අනවබෝධයෙන් කියන දෙයක්. මේ කතාව අපේ රටට සම්බන්ධ කතාවක් නෙවේ. පිටරටින් ආපු කතාවක්. ඉස්සර ඒ රටවල්වල මිනිස්සු සූර්යයාව දේවත්වයෙන් සැළකුවා. ඒ අය හිතුවේ සූර්යයා කියන්නෙ ඇත්තටම දෙවි කෙනෙක් කියලා. ඉතින් ඒ අය කුඩ හැදුවේ සූර්යයාවත් සම්බන්ධ කරගෙනයි. අපි කුඩයක් ඉහළන්නෙ සූර්යයා නිසයි. සූර්යයාගේ කිරණවලින් ආරක්ෂා වෙන්න. ඉතින් සූර්යයා ඉස්සරහා ඉහළන්න තියෙන කුඩය, සූර්යයා පේන්න නැති ඇතුළක ඉදගෙන ඉහළුවොත්, ඒකෙන් සූර්යයා කෝප වෙනවා කියලා ඒ අය හිතුවා. ​ඒ වගේම කුඩය ඉහළනවා වහින වෙලාවට. එතකොට වැහි දෙවියොත් එක්ක තමයි කුඩය සම්බන්ධ වෙන්නෙ. ඒ නිසා ඇතුළක ඉදගෙන කුඩයක් ඉහළුවොත්, වැහි දෙයියො කෝප වෙයි කියලා හිතුවා. අපේ රටේ නම් වැඩිහිටියො කියන්නෙ ගෙදර ඇතුළෙ කුඩයක් ඉහළුවොත් “කසාද බදින දවසට වහිනවා” කියලයි. වහිනවා තමයි. අප්‍රේල්, මැයි, අගෝස්තු, සැප්තැම්බර්, ඔක්තෝබර් වගේ කාලෙක කසාද බැන්දොත්. අනිත් අතට කසාද බැදපු කෙනෙක් ගෙදර ඇතුළෙ ඉදගෙන කුඩයක් ඉහළුවොත් මොකක් වෙයිද? එතකොට කුඩ නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාවල වැඩ කරන හැමෝගෙම මගුල් දවස්වල වහිනවද?

 

06. වෙස් මූණෙන් වස් දොස් දුරු වෙනවා !


* ගෙදරක වෙස් මූණක් එල්ලුවම වස් දොස් දුරුවෙනවා කියලා අපේ අය විශ්වාස කරනවා. මේක එන්නෙ ඇස්වහ කටවහ කියන සංකල්පය එක්ක. ගෙදරක හැමෝටම පේන්න වෙස් මූණක් එල්ලුවම, ගෙදර දිහා බලන කෙනාට මුලින්ම බැලෙන්නෙ ගෙදර නෙවේ. වෙස් මූණ. ඒ නිසා “ෂා! හරී ලස්සන ගෙයක්” කියලා කියනවා වෙනුවට, එයාගෙ හිත බොහොම සුළු වෙලාවකට ගැස්සෙනවා. ඒ, වෙස් මූණේ තියෙන භයානක ස්වභාවයට. ඉතින් කියන්න ගියපු දෙය කියාගන්න බැරුව, ඒක නිකංම මතක නැතුව යනවා. ඔන්න ඕක තමයි උපක්‍රමය. වෙස් මූණ දැකපු නැති කෙනා කියන්න ඕන දේ කියනවා. ඒ නිසා වෙස් මූණක් එල්ලපු පලියට එහෙම වෙන්නෙ නෑ.

 

07. වීදුරු බිදුනොත් අසුබයි !


* ඉස්සර රෝමන්වරුලු මුලින්ම වීදුරු කණ්ණාඩි හදන්න පටන් ගත්තෙ. එයාලා විශ්වාස කළාලු වීදුරුවක් බිදුනොත්, අවුරුදු හතක් යනකන්ම අසුබයි කියලා. ඒ විශ්වාසය යුරෝපය හරහා ආසියාවට එනකොට අවුරුදු හත කෙසේ වෙතත්, අසුබයි කියලා කියන්න ගත්තා. වීදුරුවෙන් අපේ මූණ පේනවා නෙහ්? ඉතින් ඒ අය හිතුවා වීදුරුව සහ අපි අතරේ ලොකු බැදීමක් තියෙනවා කියලා. වීදුරුව බිම වැටුණම, වීදුරුව කෑලි කෑලි යනවා වගේ, ඒකෙන් අපේ ආත්මයත් කෑලි කෑලි වෙනවා කියලා එයාලා හිතුවා. සමහරු විශ්වාස කළා වීදුරුවෙන් මූණ බැලුවම පේන්නෙ අපේ ආත්මය කියලා. වීදුරුව බිදිලා කෑලිවලට ගියාම, ඒ අය හිතුවා දැන් වීදුරුවෙන් අපේ ආත්මයට එළියට එන්න බැරුව, අපේ ආත්මය සදාකාලිකවම හිරවෙලා ඉන්නවා කියලා.

 

08. අශ්ව ලාඩමක් එල්ලුවොත් ගෙදරට වාසනාව !


* සමහරු අශ්ව ලාඩමක් එල්ලනවා ගෙදර. ඒ, ගෙදරට සුබ වෙන්න කියලයි. ඒත් ඒ විශ්වාසයේ උත්පත්ති කතාව ඒ අය දන්නෙ නෑ. ඒක එන්නෙත් යුරෝපයේ ඉදලා. සමහරක් රටවල්වල අය විශ්වාස කළාලු අශ්ව ලාඩමක් එල්ලුවම, නපුරු මායාකාරියො බය වෙනවා කියලා.​ හැබැයි දැන් නම් ඇත්ත අශ්ව ලාඩම් වෙනුවට හැමෝම වගේ එල්ලන්නෙ අශ්ව ලාඩම්වල ආකෘති.

 

09. අලීන්ගේ බඩ යටින් රිංගුවම වස් දොස් දුරුවෙනවා !


* මේකත් අමුම අමු මිත්‍යා මතයක්. ඇත්තටම සතෙකුට පුලුවන්ද අපිට අනාගතයේදී වෙන්න තියෙන විපත්ති දුරු කරන්න? අපි මේ ගැන අපේ අලි ඇත්තු ගැන පරීක්ෂණ සහ අධ්‍යනය කරන විශේෂඥයෙකුගෙනුත් ඇහුවා. එයා දුන්නෙ මෙන්න මේ වගේ උත්තරයක්. “ඒක නම් බොරු කතාවක්. මනුස්සයෙක් බය උනාම ඇඟේ සමේ තියෙන ග්‍රන්ථිවලින් පෙරමෝනයක් වගේ රසායනික ද්‍රව්‍යයක් ශ්‍රාවය වෙනවා. මේ නිසා තමයි අලියා දැනගන්නේ අපි බයවෙලා කියලා. අලියාගේ බඩ යටින් යන්න යන්න අපිට ඒ දේ හුරු දෙයක් වෙනවා. එතකොට අර පෙරමොනය ශ්‍රාවය වෙන්නේ නෑ. ඒ නිසා බය ගතිය නැති වෙනවා. අලියෙක්ට බය නෑ කියන්නේ ඉතිං ඊට වඩා අඩු තව ගොඩක් අයට බය නෑ කියන එක. මේ බය ඇතිවීම නවත්වන්න තමයි අලියාගේ බඩ යටින් යන්නේ. ඒත් අද කාලේ ග්‍රහ අපල දුරුවෙන්න ඒවා මේවා කිය කියා යනවා. ඔය ක්‍රියාවලිය ඇතිවෙලා තියෙන්නේ අලි බලන කෙනාට මුදල් උපයාගන්න උවමනාව නිසා. අලියාගේ බඩ යටින් ගියාම දෙන මුදලෙන් ඒ අය තමන්ගේ ඕනා එපාකම් සපුරාගන්නවා. ඒකයි මේ සම්ප්‍රදාය ඇතිවෙලා තියෙන්නේ. හැබැයි මම අර මුලින් කිව්ව හේතුව විද්‍යාත්මකව සනාථ කරලා තියෙනවා.”

 

10. රෑට නියපොතු කපන්න හොඳ නෑ !


* මේකත් අපේ රටට එන්නෙ ජපානය වගේ විදේශීය රටවල් හරහා. ඒ මිනිස්සු විශ්වාස කළා රෑට නියපොතු කැපුවොත්, තමන්ගේ දෙමාපියන්ගේ මරණය තමන්ට දකින්න වෙන්නෙ නෑ කියලා. ඒකෙන් කියවෙන්නෙ ඊට කලින් තමන් අකාලයේ මැරිලා යනවා කියලයි. ඒ අය විශ්වාස කළා නියපොතුවලත් තමන්ගෙ ආත්මය තියෙනවා කියලා. ඒක කැපුවොත් රෑට ඒ ආත්මය නපුරු ආත්මයක් විදිහට ඇවිත් තමන්ට නපුරුකම් කරනවා කියලත්, නියපොතු කැපුවම පාන්දර 3.00න් පස්සෙ නපුරු බලවේග ආකර්ශනය වෙනවා කියලත් ඒ අය විශ්වාස කළා. මේ අතරෙ තවත් කතාවක් තියෙනවා. ඒ කාලෙ අද වගේ නියපොතු කපන්න ක්‍රමවත් උපකරණ තිබ්බෙ නැති නිසා, ඒ කාලෙ අය නියපොතු කපලා තියෙන්නෙ පිහි වගේ හොදටම මුවහත් වුණු, ලොකු ආයුධවලින්. විදුලි බලයත් හොයාගෙන නැති නිසා, රාත්‍රී කාලයේදි එයාලා නියපොතු කපලා තියෙන්නෙ හද එළියෙන්. නැත්නම් ගිනි මැලයක් ගහලා. ඒ නිසා හරියට පේන්නෙත් නෑ. එහෙව් එකේ පිහිය ලිස්සුවොත්, ඇගිල්ලම කපලා යනවා. ඒකට විෂබීජ ගියොත් මරණය ළගා වෙනවා. ඒ නිසා ඒ අය රෑට නියපොතු කපන එකෙන් වැළකුණා.


උපුටා ගැනීම් :
* ඡායාරූපය 01 : www.thearcanist.io
* ඡායාරූපය 02 : www.rd.com
* ඡායාරූපය 03 : www.nbcnews.com
* ඡායාරූපය 04 : www.newsweek.com
* ඡායාරූපය 05 : www.cent.com
* ඡායාරූපය 06 : www.gettyimages.com
* ඡායාරූපය 07 : www.thehautewardrobe blogspot.com
* ඡායාරූපය 08 : www.123rf.com
* ඡායාරූපය 09 : www.alamy.com
* ඡායාරූපය 10 : www.imagessrilanka.blogspot.com
* ඡායාරූපය 11 : www.bionime.ciom

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.