කොන්ග්‍රස් පක්ෂ නායකත්වය බෞද්ධයෙකුට​?

October 3, 2022

ඉන්දියාවේ ප්‍රධානම විපක්ෂ දේශපාලන පක්ෂය වන කොන්ග්‍රස් පක්ෂය නව සභාපතිවරයකු පත්කරගැනීම සඳහා සූදානම් වනවා. 2022 ඔක්තෝබර් 17 වනදා පැවැත්වීමට නියමිතව ඇති මෙම තරගය සඳහා ගාන් ධි පවුලේ කිසිවකුත් ඉදිරිපත්ව නැහැ. තරගයට​ ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් දෙදෙනාගෙන් ප්‍රධානම අපේක්ෂකයා වන 80 හැවිරිදි මල්ලික්අර්ජුන් කාර්ගේ බුදුන් සහ අම්බෙඩ්කාර්තුමා අනුගමනය කරන දලිත්වරයකු වීම සුවිශේෂී කරුණක් වනවා.

කර්ණාටක ප්‍රාන්තයේ ප්‍රවීණ දේශපාලකයකු වන කාර්ගේ 1942 ජූලි 21 වනදා ජන්ම ලාභය ලබා තිබෙනවා. ශිෂ්‍ය දේශපාලනය තුළින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසි ඔහු 1972 දී එම ප්‍රාන්ත සභාවට තේරී පත්වුණා. එතැන් පටන් 2009 තෙක් ම ප්‍රාන්ත සභාව නියෝජනය කළ ඔහු කිහිප විටෙකම මහ ඇමති ලෙස පත් කරනු ලැබේ යයි අපේක්ෂා කළ ද ඒ අවස්ථා එකකදීවත් ඔහුට එම තනතුර ලැබුණේ නැහැ. කෙසේ වෙතත් ඔහු පක්ෂය කෙරෙහි සිත් අමනාපව එය හැරගියේ ද නැහැ. ඔහු දිගටම ගාන්ධි පවුලට හිතවත් ව සිටියා. මෙය පක්ෂය තුළ ඔහුගේ පක්ෂපාතීත්වය පිළිබඳ කියැවෙන ප්‍රකට කරුණක් බවට පත්ව තිබෙනවා.


Click on the Image

2009 සිට ලෝක් සභාව හෙවත් ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය නියෝජනය කළ මල්ලික්අර්ජුන් කාර්ගේ 2019 දී සිය දේශපාලන ජීවිතයේ පළමු මැතිවරණ පරාජය ලැබුවේ එවර පාර්ලිමේන්තු මැතිවරණයේදී යි.

ඔහුව පරාජය කළේ කොන්ග්‍රස් පක්ෂයෙන් භාරතීය ජනතා පක්ෂයට එක්වූ, අතීතයේ දී අර්ජුන්ගේ ම මැතිවරණ ඒජන්තවරයකු ලෙස කටයුතු කළ උමේෂ් යාදව් විසින් වීමත් විශේෂත්වයක්. 2020 දී මල්ලික්අර්ජුන් කාර්ගේ රාජ්‍ය සභාවට පත්වූ අතර එහි විපක්ෂ නායක ලෙස ද වසර එකහමාරක් කටයුතු කළා.

කොන්ග්‍රස් පක්ෂ අර්බුදය​
කොන්ග්‍රස් පක්ෂය දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ එහි නායකත්වයෙහි වෙනසක් අවශ්‍ය බව කාලයක් තිස්සේ විවිධ පාර්ශව විසින් ප්‍රකාශ කෙරෙන කරුණක්ව තිබෙනවා. 2019 මහමැතිවරණ පරාජයෙන් අනතුරුව රාහුල් ගාන්ධි සභාපති ධුරයෙන් ඉවත් වූ අතර සෝනියා ගාන්ධි එම ධුරයට අන්තර්වාර පදනමකින් පත්වුණා.

කෙසේ වෙතත් මේ දක්වා ස්ථිර පක්ෂ සභාපතිවරයකු පත්කරගැනීමට පවා පක්ෂයට හැකි වූයේ නැහැ. ගාන්ධි පවුලෙන් පරිබාහිරව නායකයකු තෝරාගැනීමට පක්ෂ නායකත්වය තුළ වූ අකමැත්ත මීට එක් හේතුවක් වුණා.

කෙසේ වෙතත් ගාන්ධි පවුලෙහි කිසිවකුට පක්ෂය ජයග්‍රහණය කරා ගැනයාමේ හැකියාව ඇතැයි පෙනෙන්නට නැහැ. පක්ෂය දිගින් දිගටම මැතිවරණවලදී ඓතිහාසික පරාජයන් පිට ඓතිහාසික පරාජයන් ලැබුවා. නමුත් පක්ෂ නායකත්වය වෙනස්වීමට කැමැති වූයේ නැහැ. එහි ප්‍රතිඵලය වූයේ පක්ෂය තව තවත් සෝදාපාළුවට ලක්වීමයි. මුල් පෙළේ නායකයින් රැසක් එය හැර යන්නට වුණා.

එමෙන්ම පක්ෂයේ බිම් මට්ටමේ සංවිධානය ඉතා දුර්වල වෙමින් පවතින අතර වසර ගණනාවකින් කිසිදු ආකාරයේ ප්‍රතිසංවිධානයක් හෝ සාමාජිකයන් බඳවාගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මකව නැහැ. නේරු – ඉන්දිරා වැනි පැරණි නායකයින්ගේ කීර්තිය මතින් මැතිවරණ ජයගත හැකි යයි ගාන්ධි පවුල සිහින ලෝකවල සිටිමින් කල්පනා කළ බවක් පෙනී යනවා.


රාහුල් සහ සෝනියා

කෙසේ වෙතත් අවසානයේදී ප්‍රමාද වී හෝ පක්ෂය නව සභාපති නිලවරණයක් පැවැත්වීමට කටයුතු කර තිබෙනවා. ගාන්ධි පවුලෙහි කිසිවකු ඊට ඉදිරිපත් නොවේ යයි ප්‍රකාශ කිරීමත් සමග එම තරගය පිළිබඳ අවධානයක් යොමුව තිබෙනවා.

ශෂී තරූර්​
කේරළයේ තිරුවනන්තපුරම් පාර්ලිමේන්තු ආසනය නියෝජනය කරන ශෂී තරූර් මල්ලික්අර්ජුන් කාර්ගේ සමග නායකත්වය සඳහා ඉදිරිපත්ව සිටින අනෙක් අපේක්ෂකයා වනවා. රාජස්ථාන් මහ ඇමති අශෝක් ගේලොට් සහ කොන්ග්‍රස් ප්‍රබලයකු වන දිග්විජය සිං ද නිලවරණයට ඉදිරිපත් වීමට අදහස් කරගෙන සිටි නමුත් පසුව ඔවුන් තරගයෙන් ඉවත් වී කාර්ගේට සහය පළ කළා. ජාර්ඛන්ඩ් ප්‍රාන්තයේ ක්‍රිෂ්ණ නන්ද ත්‍රීපතිගේ නාමයෝජනාව ප්‍රතික්ෂේප වුණා.

තරූර් ප්‍රකට ලේඛකයකු ද හිටපු තානාපති නිලධාරියකු ද වනවා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ උප ලේකම්වරයකු ලෙස කටයුතු කර ඇති ඔහු 2006 දී එහි මහ ලේකම් ධුරයට ද තරග වැදුණා. එම තරගයෙන් පරාජයට පත්වූ පසු තානාපති සේවයෙන් විශ්‍රාම ගිය ඔහු 2009 සිට ඉන්දීය පාර්ලිමේන්තුව නියෝජනය කරනවා.


ශෂී තරූර්

අසූ හැවිරිදි මල්ලික් අර්ජුන් කාර්ගේට සාපේක්ෂව තරූර් ලාබාල දේශපාලකයකු වනවා. ඔහුගේ වයස තවම අවුරුදු 66 ක් පමණයි. එමෙන්ම දේශපාලනයට ද ඔහු සාපේක්ෂව අලුත් චරිතයක්. කෙසේ නමුත් දිගින් දිගටම අසාර්ථක වන කොන්ග්‍රස් පක්ෂයේ මන්ත්‍රීවරයකු ලෙස සිය ධුරය 2014 දී සහ 2019 දී රැකගැනීමට තරූර් සමත් වුණා.

තවද​, තරූර් පවසන්නේ ගාන්ධි පවුලෙහි දැඩි හිතවතෙකු වන කාර්ගේ නායකත්වයට පත්වූයේ යයි පක්ෂයට අවශ්‍ය වෙනස සිදු නොවන බවයි. තමන්ට ඒ සඳහා වැඩපිළිවෙලක් ඇති බව ද ඔහු ප්‍රකාශ කරනවා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

කෙසේ වෙතත් කාර්ගේ පාර්ශවය තරූර්ට පහර දෙන්නට තෝරාගත්තේ ඔහුගේ ඉහළ සමාජ ස්ථරයයි. තරූර් අයහපත් පුද්ගලයකු නොවුණ ද ඔහු ඉහළ සමාජයේ අයකු බවත්, සාමාන්‍ය ජනතාව තුළින් මතුවූ දේශපාලකයකු නොවන බවත් කාර්ගේ පාර්ශවයෙහි ප්‍රබලයින් ප්‍රකාශ කළා. කොන්ග්‍රස් පක්ෂ නායකත්ව නිලවරණයේදී ද සමාජ ස්ථර සහ සම්බන්ධතා පිළිබඳ විවාදය, වැඩපිළිවෙලවල් පිළිබඳ විවාදයට වඩා වැදගත් වී ඇති බව මේ අනුව පෙනී යනවා.

පක්ෂ සභාපතිවරයා තෝරාගන්නේ සමස්ථ ඉන්දියානු කොන්ග්‍රස් කමිටුවේ සහ ප්‍රාදේශීය කොන්ග්‍රස් කමිටුවල​ සාමාජිකයන් විසින් බැවින් ද ප්‍රබල නායකයින් කිහිප දෙනකුගේම සහය කාර්ගේට හිමිව ඇති හෙයින් ද ශෂී තරූර්ට වඩා නායකත්වයට පත්වීමේ ඉඩකඩ ඇත්තේ කාර්ගේට බවයි පෙනී යන්නේ.

දකුණ​, කොන්ග්‍රස් පක්ෂය සහ බීජේපී ය​​
විශේෂයෙන්ම 1977 ඉන්දීය මහමැතිවරණයේ සිට දකුණුදිග ඉන්දියාව කොන්ග්‍රස් පක්ෂයට ඉතා වැදගත් ප්‍රදේශයක් වුණා. 1977 මහමැතිවරණය ඇත්තෙන්ම කොන්ග්‍රස් පක්ෂයට අන්ත පරාජයක් ගෙන ආ මැතිවරණයක්. ගුජරාටයේ සහ ඊසානදිග ඉන්දියාවේ හැරුණු විට උතුරු ඉන්දියාවේ දී කොන්ග්‍රස් පක්ෂය අතුගෑවී ගියා කිවහොත් නිවැරදියි. කොටින්ම අගමැති ඉන්දිරා ගාන්ධි පවා සිය ආසනයෙන් පරාජය වුණා. නමුත් අවසන් ප්‍රතිඵලය පමණක් නිරීක්ෂණය කරන්නකුට මෙම පරාජය දිස්වන්නේ නැහැ. මක් නිසාද යත්, දකුණුදිග ඉන්දියාවේ ප්‍රාන්තවල කොන්ග්‍රස් පක්ෂය ඉතා හොඳ ප්‍රතිඵල පෙන්වූ නිසයි.

භාරතීය ජනතා පක්ෂය උතුරු ඉන්දියාව මුළුල්ලේ සිය අතු පතර විහිදද්දී, දකුණුදිග ඉන්දියාව ඔවුන්ට ජයගැනීමට අපහසු ඉලක්කයක් බවට පත්ව තිබෙනවා. රජිව් ගාන්ධි විසින් ගන්නා ලද අදූරදර්ශී දේශපාලන තීන්දුවක් හේතුවෙන් 1990 ගණන්වල මුලදී කර්ණාටකයට රිංගා ගැනීමට බීජේපීය සමත් වූ නමුත් තමිල්නාඩු, ආන්ද්‍රා ප්‍රදේශ්, තෙලන්ගනා සහ කේරළ ප්‍රාන්තවල ඔවුන් සිටින්නේ ඉතා නොවැදගත් තත්ත්වයකයි. දැන් දැන් තෙලන්ගනාවේ ඔවුන් සිය සලකුණ තබමින් සිටින නමුත් අනෙක් ප්‍රාන්තවල බලය ඔවුන්ගෙන් තව බොහෝ ඈතයි.

@elearninglk

මේ අතර 1977 තරම් ම සාර්ථක ලෙස නොවුණත්, 2014 සහ 2019 මහමැතිවරණවලදී ද සහමුලින් අතුගෑවී යෑමෙන් වැළකී යාමට කොන්ග්‍රස් පක්ෂයට හැකියාව ලැබුණේ දකුණුදිග ප්‍රාන්තවල තවමත් ඔවුන්ට යම් තරමක බලයක් තිබෙන නිසයි. එම බලය ද 1977 තරම් ප්‍රබල වන්නේ නැහැ.

නමුත් කොන්ග්‍රස් පක්ෂය තවමත් පවතින්නේ දකුණ නිසයි. එහෙයින් දකුණුදිග ප්‍රාන්තවල දේශපාලකයන් දෙදෙනකු එම පක්ෂයේ නායකත්වයට තරග වැදීම ස්වාභාවික කරුණක් ලෙස පෙනී යනවා.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.