නිවැරදි ස්වස්තිකය

January 3, 2022

වාස්තු විද්‍යාව ගැන කතා කරනකොට ගොඩක් වෙලාවට එක එක සලකුණු සම්බන්ධව කතා කෙරෙනවා . ඇත්තටම යන්තර වගේ දේවල් වල වුණත් තියෙන්නේ යම් යම් සලකුණු තමයි . අකුරු කියන්නෙත් යම් සලකුණු එකතුවක් . අකුරු වලට තේරුමක් තියෙනවා . ඒ කියන්නේ ඒ ඒ අකුරු වලට අදාළ ශක්තියක් හිමි වෙනවා . මිනිසුන් විශාල ප්‍රමාණයක් කතා කරන ලියන කියන භාෂාවක් වුණාම ඒ භාෂාවට ශක්තියක් හිමි වෙනවා .

ඒත් අද වෙනකොට වැඩි ප්‍රමාණයක් ඉන්දියාවේ භාවිතා වෙන නාගර අක්ෂර වලට තමයි වැඩි ශක්තියක් හිමි වෙන්නේ . මෙන්න මේ වගේ අක්ෂරත් බිහි වෙන්න කලින් බිහිවුණු සංකේතයක් ගැන තමයි අපි අද කතා කරන්නේ .

“ ස්වස්තිකය “ තමයි ඒ සංකේතය . ස්වස්තිකය කිව්වාම ඕනෑම කෙනෙක් මතක් කරන්නේ හිට්ලර්ව . මොකද හිට්ලර් මේ ස්වස්තික සංකේතය පාවිච්චි කරපු නිසා . නමුත් හිට්ලර් අනුන්වත් තමන්වත් විනාශ කරේ සහ විනාශ කරගත්තේ මේ ස්වස්තිකය වැරදියට භාවිතා කරපු නිසා කියලා පිළිගැනීමක් තියෙනවා .

මට මතකයි ජේතවනාරාම කැණීම් වලින් ස්වස්තික ලකුණු හමුවුණා කියලා . ඒ ස්වස්තික ලකුණ නිවැරදි පැත්තට තමයි පිහිටලා තියෙන්නේ . මේ ස්වස්තික ලකුණේ වැරදි නිවැරදි පැති මොනවද කියලා අපි බලමු .

මේ ලෝකයේ පිහිටලා තියෙන සියලුම දේවල් පඨවි ආපෝ තේජෝ වායෝ සහ ආකාශ කියන පංච මහා ධාතූන් වලට අයත් වෙනවා . මේ පහ අතරේ පවතින ශක්ති ගලනය වීම තුලින් සමතුලිත තත්වයට පත්වෙලා තමයි මේ ලෝකයේ ඝන ද්‍රව වායු කියන දේවල් පවතින්න .

මේ පැවැත්ම තේරුම් ගන්න එක සහ ඒවායේ විනාශය තේරුම් ගැනීම යම් ආකාරයකට ලෝකයේ සත්‍ය තත්වය අවබෝධ කරගැනීම කියලා කියන්න පුළුවන් .



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

මේ ශක්තීන් එකිනෙකා සමග බද්ධ කිරීමේ හැකියාවක් සහ සමතුලිත කිරීමේ හැකියාවක් මේ ස්වස්තිකය කියන සලකුණට හිමි වෙනවා . ස්වස්තික සලකුණ මගින් ආකර්ෂණය කරන ශක්තීන් විසින් ලෝකයේ පැවැත්ම නිසියාකාරව පවත්වා ගන්නවා කියලාත් කියන්න පුළුවන් . ස්වස්තිකයෙන් ශක්තිය සමතුලිත කිරීම මෙන්න මේ වගේ දෙයක් කියලා සරළව විස්තර කරන්න බැහැ .

මේ ස්වස්තික සලකුණ ඔස්සේ ශක්තිය හැසිරවීම කරලා ගොඩක් දේවල් කරන්න පුළුවන් . ආධ්‍යාත්මික ශක්තිය පවා හසුරුවන්න පුළුවන් මේ සලකුණ හරියට භාවිතා කරනවානම් .

ස්වස්තිකය කියන සලකුණ සහ ඒ සංකල්පය ආරම්භ වෙන්නේ මොන කාලයේ ඉඳලා ද කියලා පොත්වල සඳහන් කිරීමක් වෙන්නේ නැහැ . හොයාගන්නත් ඇත්තටම අමාරුයි . ඒත් බුදුන් වහන්සේගේ සිරිපතුලේ තියෙන මංගල ලකුණුවල ස්වස්තික සලකුණ අයත් වෙනවා . ඒ නිසා ඉතාමත් ඈත අතීතය දක්වා ස්වස්තික සලකුණ ශක්තිමත් සලකුණක් විදියට පැවතිලා තියෙනවා කියලා විශ්වාස කරන්න පුළුවන් .

ජ්‍යෝතිෂ විද්‍යාව ඇත්තටම බුදු දහමට වඩා පරණයි . ජ්‍යෝතිෂ විද්‍යාවේ සහ හස්ත රේඛා විද්‍යාවේ ස්වස්තික සම්බන්ධව විස්තර කරන්නේ ඒවා මනුෂ්‍ය ශරීරයේ පිහිටන්නේ කොහොමද සහ ඒවා පිහිටීම නිසා මොනවද වෙන්නේ කියන කරුණු කාරණා එක්ක .

ඒ නිසා ස්වස්තික සලකුණ බුදු සිරිපතුලේ පිහිටියා වුණත් මේ සලකුණ මොකක්ද කියන එක ඊටත් ඈත අතීතයේ හිටපු අය දැනගෙන ඉඳලා තියෙනවා කියලා අපිට සාධාරණව හිතන්න පුළුවන් . හැබැයි මේ හැම තැනකම පිහිටලා තියෙනවා කියලා කියන්නේ දක්ෂිණාවර්ත ස්වස්තිකය . දක්ෂිනාවර්ත වෙනවා කියන්නේ මොකක්ද කියලා හරියට තේරුම් ගන්න බැරි වීම නිසා ස්වස්තිකය වැරදියට භාවිතා කිරීමක් තමයි අද කාලයේ වෙන්නේ .

නිවැරදි ස්වස්තිකය සුළඟ වැදීම නිසා කැරකෙන්නේ දකුණු පැත්තට . වැරදි ස්වස්තිකය , ඒ කියන්නේ විනාශ චක්‍රය කැරකෙන්නේ සුළඟ වැදිලා වම් පැත්තට .

ඒත් මේ සුළඟ වැදීම කියන දේ ගැන හිතන්නේ නැතුව නිකන් රූපය දිහා බලාගෙන ඉන්නකොට අපිට හිතෙන්නේ විනාශ චක්‍රය දකුණටත් ස්වස්තික චක්‍රය වමටත් කැරකෙන විදියට තියෙනවා කියලා . ඒ නිසා දකුණට කැරකෙනවා කියලා වැරදියට හිතලා බොහෝ දෙනෙක් විනාශ චක්‍රය ස්වස්තිකය කියලා වැරදියට හඳුනාගෙන තියෙනවා .

ස්වස්තික ලකුණ අද වෙනකොට පෙරදිග රටවල්වල වගේම යුරෝපීය රටවල් වලත් භාවිතා වෙනවා කියලා අපිට දකින්න පුළුවන් . හැබැයි වැරදි පැත්තට තියෙන ස්වස්තිකය භාවිතා කරගෙන ආව සමහර රටවල් තමන්ගේ සලකුණ වැරදියි කියලා තේරුම් අරගෙන ඒ සලකුණේ පැත්ත අනික් පැත්තට හරවලා පාවිච්චියට අරගෙන තියෙනවා .

මේ තියෙන්නේ වැරදි ස්වස්තික ලකුණක් .

මේ නිවැරදි ස්වස්තික ලකුණ .

ස්වස්තික සලකුණ සටහන් කරලා සමහර නිවෙස් අතීතයේ හදලා තියෙනවා කියලා අපි දැකලා තියෙනවා . සමහර වලව්වලත් බිත්තියේ ඉස්සරහාම ලොකුවට ස්වස්තික සලකුණක් සටහන් කරලා තියෙනවා . මේ සලකුණ තියෙන නිවාසවල පරම්පරා තවමත් ජීවත් වෙනවා .

නිවැරදි ස්වස්තික සලකුණ තෝරාගන්න ඔයාලට මේ ලිපිය වැදගත් වෙයි කියලා හිතලා තමයි ස්වස්තිකය ගැන විස්තර ටිකක් අරගෙන ආවේ .

තවත් ලිපියකින් හමුවෙමු .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

eLearning.lk නිවේදනය
මෙම ලිපිය පල කිරීමේ මූලික සහ එකම අරමුණ වන්නේ ස්වස්තිකය, ස්වස්තිකයේ ඉතිහාසය සහ ස්වස්තිකය සම්බන්ධ සංස්කෘතික කාරණාවන් පිළිබඳව ඔබ වෙත දැනුමක් ලබා දීම පමණි. මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.