දෙවිනුවර සිංහාසන දේවාලය

ඉන්දීය කතා සහ ලංකාවේ කතා වලට අනුව පාර්වතියගේ පුත්‍රයා විදියට හඳුන්වන කතරගම දෙවියන් ලංකාවට ආවේ සුර අසුර යුද්ධය මැඩ පවත්වන්න . ඒ යුද්ධය නතරකරන්න පාර්වතී දේවිය තමන්ගේ වේලායුධය කතරගම දෙවියන්ට ලබා දෙනවා . අසුර යුද්ධයෙන් ජය අරගෙන එන කතරගම දෙවියන් ලංකාවට මුලින්ම පය තියන්නේ දෙවිනුවරට .

දෙවිනුවර ප්‍රදෙශයේ ඉස්සර තිබිලා තියෙනවා දූපත් හතක් . මේවායේත් ඉඳලා තියෙන්නේ අසුරයින් . ඒ අයවත් පරාජය කරපු කතරගම දෙවියන් අවසානයේ තමන්ගේ පියා , ශිව දෙවියන් කලින් වාසය කරපු කඳු හතකින් වටවෙච්ච කතරගම ප්‍රදේශය තමන්ගේ වාසස්ථානය විදියට තෝරාගෙන තමන්ගේ ඉන්දීය බිරිඳ තේවානි අම්මාත් ලංකාවේ බිරිඳ වල්ලි අම්මාත් කියන දෙදෙනා එක්ක ඒ ප්‍රදේශයේ නතර වෙනවා .

මෙන්න මේ කතරගම දෙවියන් ලංකාවට ගොඩ බැස්ස තැන තමයි අවසානයේදී දාපුළුසෙන් රජතුමාගේ ප්‍රධානත්වයෙන් දේවාලයක් ඉදිවෙන්නේ සිංහාසන දේවාලය කියලා . මේ දේවාලය පිටිපස්සේ තියෙන්නේ මුහුද . ඒ මුහුදු වෙරළට කියන්නේ සිංහාසන වැල්ල කියලා .

දැන් එමු අපි විෂ්ණු දෙවියන්ගේ කතාවට . විෂ්ණු දෙවියන් කිහිරි කොටයක් විදියට ලංකාවට පාවෙලා ආවා කියන කතාවේදී ඒ කිහිරි කොටය දෙවුන්දරට එනවා කියලා ඉස්සෙල්ලම හීනෙන් දැක්කේ සීනිගම දේවාලයේ කපු නිලය .

ඒ කපු මහතා දෙවුන්දරට පෙරහරින් එන්න කලින් කිහිරි කොටය දෙවුන්දරට පාවෙලා ඇවිත් තියෙනවා . තමාව පිළිගන්න කෙනෙක් නැති නිසා අන්තිමට මගුල් වැල්ල කියන ස්ථානයට මේ කිහිරි කොටය පාවෙලා යනවා .


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඒ කිහිරි කොටය මගුල් වැල්ලෙන් ගොඩගත්ත සීනිගම දේවාලයේ කපු මහතා මහ පෙරහරින් මේ කිහිරි කොටය කරතියාගෙන ඇවිත් අද විෂ්ණු දේවාලය තැම්පත් කරපු ස්ථානයේ තැම්පත් කරනවා .

ඊට කලින් දාපුළුසෙන් රජතුමාටත් හීනෙන් පෙනිලා තියෙනවා මෙහෙම පාවෙලා එන කිහිරි කොටයෙන් දේව රූපය කප්පවලා දේවාලයක හදවලා එතන ඒ රූපය තැම්පත් කරවන්න ඕන කියලා .

ඉතින් රාජ ගෞරවය ඇතිව තමයි මේ පෙරහැර සිද්ද කරලා තියෙන්නේ . ඉතින් ඒ කිහිරි කඳ දේවාලය හදන ස්ථානයට රැගෙන ආව පාර තමයි සිංහාසන පාර කියලා කියන්නේ .

සිංහාසන වැල්ලේ අද පිහිටලා තියෙන සිංහාසන දේවාලය පෙරහැර කාලයට බැතිමතුන්ට විවෘත වෙනවා . මේ දේවාලයේ කපු පරම්පරාව තමයි ” අන්රාහැන්නදි ” කියන නම් ලබාගෙන තියෙන්නේ . ඉන්දියාවේ ආන්ද්‍ර දේශයෙන් ආව අය තමයි මේ කපු පරපුර නියෝජනය කරන්නේ . අන්ද්‍රා කියන නම තමයි පස්සේ කාලෙක අන්රා වෙලා තියෙන්නේ .

ඔය අන්දරේ කියලා කියන්නෙත් ඒවගේ ඉන්දියන් පරපුරක ශ්‍රී ලංකන් චරිතයක් තමයි . චරිතයක් විදියට කතා කරන අන්දරේ ඉපදිලා තියෙන්නේ දෙවුන්දර කිරල වැල්ලේ . මේ අන්ද්‍රා දේශයෙන් ආව අයගෙන් අන්දරේ පැවත එනවා කියලා තමයි විශ්වාස කරන්නේ . අන්දරේ ජනකතා වල කියවෙන විදියට සුදු චරිතයක්ම නෙවෙයි කියලා තමයි මමනම් විශ්වාස කරන්නේ . අන්දරේගේ වස්කවි ගැන හිතනකොට අන්දරේ යන්තර මන්තර වගේ දේවල් පවා දැනගෙන හිටපු කෙනෙක් කියලා තමයි මම විශ්වාස කරන්නේ .

දෙවිනුවර වන්දනා කරන්න ගිය කෙනෙක් දැකලා ඇති දේවාලයේ ප්‍රධාන දොරටුවෙන් අංශක 180 ක් හැරුනාම තියෙන කෙලින්ම මුහුදට විහිදිලා යන පාර . ඒක තමයි සිංහාසන පාර . ඒ පාර ආරම්භවෙන දේවාලයට ආසනයේ තියෙනවා ගල්කණු පේළි කිහිපයක් .

මම දෙවුන්දර ආවේ ගියේ දැනට අවුරුදු 30 කට කලින් ඉඳලා . ඒ කාලයේ ඉඳලා අද වෙනකොට මේ ගල්කණු පේළි අවුරුද්දට කීපයක් ගානේ කණු ගලවා වැටීම නිසා නැත්තටම නැතිවෙලා තියෙනවා . එකක් පෙරහරට අලි ගැට ගැසීම .

අනික හිතා මතාම ගැලවීම . බස්නායකලා ඒවා ආරක්ෂා කරන්නෙත් නැහැ . කවුරුවත් බලන්නෙත් නැහැ . රත්නපුරේ සමන් දේවාලයේ වහල තවම තෙමෙනවා . ඒක හදන්න දෙන්නේ නැති පුරා විද්‍යාව වත් දෙවුන්දර දේවාලයේ මේ ගල් කණු පේළි ආරක්ෂා කරේ නැහැ . මොකද එයාලට ඒවායේ ඉතිහාසයක් අදාළ නැති නිසා වෙන්න ඇති .

මේ ගල් කණු පේළි අද දේවාලය අසල නතර වෙලා තිබුනට මේවා ඒ කාලයේ සිංහාසන පාර දිගේ සිංහාසන දේවාලය දක්වාම පාර දෙපැත්තෙන් විහිදිලා ගිහින් තියෙනවා පේළි කීපයක් විදියට .

පස්සේ කාලෙක තමයි මේ පාරේ ගෙවල් හදලා මේ ගල් කණු ගලවලා තියෙන්නේ . මේ සිංහාසන පාරේ දෙපැත්තේ තිබ්බ ගල් කණු මතින් විශාල වහළයක් තිබිලා තියෙනවා . මේ වහලය සහිත ආවරණයට කියලා තියෙන්නේ මහවත් මඩුව කියලා . මාවතක් ආවරණය කරගෙන ඉන්න මඩුව කියන අදහස වෙන්න ඇති මේ කියන්නේ .

අවුරුද්දක් ගානේ මේ මඩුව යටින් දේවාභරණ සිංහාසන දේවාලයට වැඩම කරවලා ඒ සිංහාසනේ තැම්පත් කරලා උපචාර විධි පවත්වලා නැවතත් මහ දේවාලයට වැඩම කරලා තැම්පත් කරලා තියෙනවා . අද මහවත් මඩුව නැතත් දැනට අවුරුදු කීපයක් දක්වා ඒ චාරිතයට කෙරුණා .

ඒත් යම් දේශපාලන අරමුණක් නිසා මේ ගමන වෙනස් වුණා . දැන් පෙරහැර පිටත් වෙන්නේ සිංහාසන පාර දිගේ නෙවෙයි . පෙරහැර සම්පූර්ණයෙන්ම කණපිට පැත්තට තමයි ගමන් කරන්නේ . ඉතිහාසයක් නැති මහීෂයන් නිසා අවුරුදු 700 ගානක සිරිත් වෙනස් වෙලා තියෙනවා . ඉතින් මේ මහවත් මඩුව සිංහාසන පාර ගැන එහෙම වැඩි විස්තර සංදේශ කාව්‍ය වල සඳහන් වෙලා තියෙනවා .

අවසාන වශයෙන් පරණ ෆොටෝ දෙකකුත් මම එකතු කරනවා . ඒවාත් බලලා මතක තියාගන්න අද ඉතිරිවෙලා තියෙනවාට වඩා යමක් අපි නැතිකරගෙන තියෙනවා කියලා .

ඔබ සැමට සමන් දෙවිඳුගේ පිහිට ලැබේවා !

තවත් ලිපි සඳහා : හස්ථිනාපුර

eLearning.lk නිවේදනය
මෙම ලිපිය පල කිරීමේ මූලික සහ එකම අරමුණ වන්නේ මෙම ඓතිහාසික ස්ථානයේ ඉතිහාසය, මෙම ස්ථානය හා බැදුනු ඓතිහාසික කතා පුවත් සහ සංස්කෘතික කාරණාවන් පිළිබඳව ඔබ වෙත දැනුමක් ලබා දීම පමණි. මෙහි ඇති ඓතිහාසික සිදුවීම් සහ ජනප්‍රවාද කතාවන් (A සිදුවීම නිසා B සිදුවීම සිදුවිය) සත්‍යයයක් යැයි eLearning.lk අප කිසි විටෙකත් අදහස් කරන්නේ නැත.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජෛවීය විද්‍යා උපාධිධාරීවරයෙක් වන දර්ශන ප්‍රභාත් ධර්මවර්ධන මහතා ජ්‍යෝතිෂ්‍යවේදියෙකු, ලේඛකයෙකු සහ පර්යේෂකයෙකු ලෙස කටයුතු කරනු ලබයි. අප රටේ අලි ඇත් පරපුර පිළිබඳව සහ විවිධ පළාත්වල ඇති ආගමික, සාමාජීය, සංස්කෘතික කරුණු පිළිබඳව තොරතුරු ඔහු eLearning.lk බ්ලොග් අඩවිය ඔස්සේ ගෙන එයි.