සුබ ගමන් මැරඩෝනා !

November 26, 2020

මේ, ඊයේ (2020.11.25) ජීවන ගමනට සමු දුන්න ලෝක පූජිත සුපිරි පාපන්දු ක්‍රීඩා තරුව (ඩියේගෝ මැරඩෝනා) වෙනුවෙන් තැබෙන පුංචි සටහනක්.

1960 අවුරුද්දේ උපත ලබපු ආර්ජන්ටිනානු පාපන්දු ක්‍රීඩක, ඩියේගෝ මරඩෝනාව හඳුන්වන්නේ එතෙක් මෙතෙක් ලෝකයේ බිහි වුණු ශ්‍රේෂ්ඨතම පාපන්දු ක්‍රීඩකයෙක් විදිහටයි.

ලෝක පාපන්දු ක්‍රීඩා සංගමයෙන් එක් වරක් පමණක් පුද කරන “20 වන ශතවර්ෂයේ හොඳම පාපන්දු ක්‍රීඩකයාට හිමි FIFA Player of the 20th Century සම්මනයෙන් පිදුම් ලබපු ඩියේගෝ, මිය යන විට 60 වන වියේ පසු වුණා. පාපන්දු ක්‍රීඩා පිටියේදී ඩියේගෝ මරඩෝනාව හැඳින්නුවේ “එල් පිබේ ඩි ඔරෝ” නොහොත් ඉංග්‍රීසි භාෂාවෙන් නම්, The Golden Kid කියන අනුවර්ථ නාමයෙන්.


Photo Credits : www.wallpapersafari.com

පාපන්දු පිටියේදී මරඩෝනාගේ සාර්ථකත්වයට, මරඩෝනාගේ නායකත්වය, අනාගත දැක්ම සහ සිතීමේ හැකියාව, පාපන්දුව පාලනය කිරීම, පාපන්දුව පිරිනැමීම, ක්‍රීඩකයන් පසු කිරීම, පන්දුව පාලනය කිරීම සහ Dribbling හැකියාව වගේම, මරඩෝනාගේ උසත් බලපාලා තියෙනවා.

මරඩෝනා කියන්නෙ අනිත් පාපන්දු ක්‍රීඩකයන්ට සාපේක්ෂව ලොකු උසක් තිබුණු ක්‍රීඩකයෙක් නෙවේ. මරඩෝනාගේ උස මීටර 1.65 යි. වේගයෙන් දුවගෙන යනකොට, දුවගෙන යන දිශාවට පාපන්දුව ලැබුණම (Dribbling), ඒ පාපන්දුව ප්‍රතිවාදී පාපන්දු ක්‍රීඩකයන් අතරින් වේගයෙන් අරගෙන යන්න ඔහුට පුලුවන්කම ලැබුණා. මරඩෝනා පාපන්දු ක්‍රීඩා පිටියේ ඉන්නකොට, අනිත් පාපන්දු ක්‍රීඩකයන්ට ලැබුණෙ විශාල උත්තේජනයක්. ඒ, “තරඟය ජයග්‍රහණය කළ හැකියි” කියන සිතුවිල්ලයි. ඒ විතරක් නෙවේ, Free Kick අවස්ථාවන් වලදී, අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ලබාගන්න ක්‍රීඩකයෙක් විදිහටත් ඔහු ප්‍රසිද්ධියක් ලැබුවා.


Photo Credits : www.ew.com

අංක 10 ජර්සියෙන් පිටියට පිවිසුණු මරඩෝනා, ලෝක පාපන්දු පිටියේ පළමු වරට දෙවතාවක් Transfer Fee වාර්තාව හිමි කරගත්ත ක්‍රීඩකයාද වනවා. ඒ කියන්නෙ පාපන්දු සමාජ දෙකක් (Football Clubs) අතර කෙරෙන ව්‍යාපාරික ගනුදෙනුවක්. ඒ ගනුදෙනුවෙන් එක් ක්‍රීඩකයෙක්, එක් සමාජ ශාලාවක සිට අනෙක් පාපන්දු සමාජයට මාරු කරන්න පුලුවන්. පළවෙනි අවස්ථාවේදී මරඩෝනාව ඩොලර් මිලියන 5 ක් වෙනුවෙන් බාසිලෝනා කණ්ඩායමට හුවමාරු කෙරුණා. දෙවෙනි අවස්ථාවේදී ඩොලර් මිලියන 6.9ක මුදලකට ඔහුව Napoli කණ්ඩායම ලබා ගන්නවා.


Photo Credits : www.en.as.com

මේ විදිහට මරඩෝනා, පාපන්දු සමාජ විශාල ප්‍රමාණයක ක්‍රීඩා කරනවා. ඒ අතරින් Argentinos Juniors, Boca Juniors, Barcelona, Napoli, Sevilla and Newell’s Old Boys වගේ කණ්ඩායම් ප්‍රධානයි. ආර්ජන්ටිනාව සමඟ ඔහුගේ ජාත්‍යන්තර වෘත්තීය දිවියේදී ඔහු කැප් 91 ක් ලබාගෙන තියෙනවා වගේම ගෝල 34ක් ලබා ගෙන තියෙනවා.

1986 දී මෙක්සිකෝවේ පවත්වපු ලෝක පාපන්දු කුසලාන තරඟයද ඇතුළුව ලෝක පාපන්දු කුසලාන හතරකට මරඩෝනා ක්‍රීඩා කළා. 1986 දී ආර්ජන්ටිනාවේ නායකත්වය දරපු තරගාවලියේ, අවසන් මහා තරඟයේදී බටහිර ජර්මනියට එරෙහිව තමන්ගේ කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ මරඩෝනා, ආර්ජන්ටිනාවට පාපන්දු ලෝක කුසලානය ලබා දුන්නා වගේම, තරඟාවලියේ හොඳම ක්‍රීඩකයා විදිහට Golden Ball සම්මානයත් හිමි කර ගත්තා.


Photo Credits : www.hpr2.org

ඒ වගේම ඒ ලෝක කුසලාන තරඟාවලියෙම (අවසාන මහා තරඟයට, තරඟ දෙකකට කලින්) එංගලන්තයට එරෙහිව ගෝල 2-1ක ජයක් ලබා ගනිමින් ලෝක පාපන්දු ක්‍රීඩා ඉතිහාසයේ තමන්ගෙ නම, රන් අකුරින් ලියවගන්න සමත් වුණා.

ඒකට කරුණු දෙකක් බලපෑවා. එකක් තමයි The Hand of God නමින් හඳුන්වන මරඩෝනා වාර්තා කරපු විශිෂ්ඨතම ගෝලයක් (හොර කිරීමක්ද නැද්ද කියලා තීරණය කරගන්න බැරි වුණු ගෝලයක්). දෙවෙනි හේතුව තමයි, එංගලන්ත ක්‍රීඩකයින් පස්දෙනෙකු පසුකර, එක දිගට මීටර් 60ක් (යාර 66) බෝලය රැගෙන යෑම. ගොඩක් පාපන්දු ක්‍රීඩා ලෝලීන් මේක හඳුන්වන්නේ සියවසේ ඉලක්කය (Goal of the Century) කියලයි.


Photo Credits : www.indianexpress.com

2008 නොවැම්බරයේදී ආජන්ටිනාවේ ජාතික පාපන්දු කණ්ඩායමේ පුහුණුකරු තනතුර මරඩෝනා භාර ගන්නවා. 2010 අවුරුද්දේ දකුණු අප්‍රිකාවේ පැවති ලෝක කුසලාන තරඟාවලිය අවසානයෙත් මරඩෝනා එම කණ්ඩායමම භාරව හිටියා.

2011 සහ 2012 අවුරුදු සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ Pro League තරගාවලියේ ඩුබායි වල පාපන්දු සමාජයක් වන වන Al Wasl පාපන්දු සමාජයේ පුහුණුකරු විදිහට කටයුතු කරන මරඩෝනා, 2017දි Fujairah පාපන්දු සමාජයේ පුහුණුකරු බවට පත්වෙනවා. 2018 අවුරුද්දෙ මැයි මාසයේදී මරඩෝනා, Belarusian පාපන්දු සමාජයේ නව සභාපතිවරයා විදිහට තේරී පත් වෙනවා.


Photo Credits : www.goal.com

2018 අවුරුද්දේ සැප්තැම්බර් ඉදලා 2019 අවුරුද්දේ ජුනි දක්වා මරඩෝනා, මෙක්සිකානු පාපන්දු සමාජයක් වන Dorados පාපන්දු සමාජයේ පුහුණුකරු විදිහට කටයුතු කළා. මරඩෝනාගේ ජීවිතයේ අවසාන සමය වෙනකොට, මරඩෝනා ආර්ජන්ටිනාවේ Gimnasia de La Plata පාපන්දු සමාජයේ පුහුණුකරු තනතුර දැරුවා.

තොරතුරු තාක්ෂණ සන්නිවේදන ක්ෂේත්‍රයේ වෙබ් අඩවි නිර්මාණකරණය පිළිබඳ වසර 10කට ආසන්න කාලයක් සේවයේ නියතුව සිටි දනුල වික්‍රමආරච්චි, මේ වන විට පූර්ණකාලීනව eLearning.lk ආයතනයට සම්බන්ධ වී, එහි මාධ්‍ය හා තොරතුරු අධ්‍යක්ෂණ අංශය සඳහා තම දායකත්වය ලබා දෙමින් සිටියි.