විභාගය සහ ප්‍රේමය (CUP Theory)

“ඔබ වහන්සේට කරදයක් නැතිනම්, මට call එකක් ගන්න” යනුවෙන් මා හට කෙටි පණිවිඩයක් මා ඉතා හිතවත් දායක මහත්මියක් විසින් තබා තිබුණි. හිතවත් බව නිසාම මම ඇමතුමක් ගතිමි. ?

“තෙරුවන් සරණයි, නෝනා මට පිණිවිඩයක් තියලා තිබ්බා නේද?” මම කීවෙමි.

“අනේ එහෙමයි අපේ හාමුදුරුවනේ… තෙරුවන්සරනයි. මම සෑහෙන හිතේ වේදනාවෙන් ඉන්නේ…” ?

යනුවෙන්, ඇයගේ එකම පුතු, පෙර දින නිකුත් කරන ලද විභාග ප්‍රතිඵලට අනුව, commerce විෂයට B. C. C. ලැබීම ගැන කනස්සල්ලෙන් පසුවෙන බවත්, තමන් හා සැමියා ද කනගාටු වන අයුරු ගැනත්, පුතුගේ දක්ෂතා ගැනත්, නෑදෑයන් ඉදිරියේ සිද්ධ වන්නට නියමිත ලැජ්ජාව ගැනත් දිර්ඝ විස්තරයක් කළා ය.

“චිත්ත විරේකය” පිණිස මම ද අසා සිටියමි. (දුක පිට කරගන්නට ඉඩ දීම චිත්ත වීරේකයකි).?

“පුතාට පොඩ්ඩක් කතා කරන්න කියන්නකො මාත් එක්ක.” මම ඇයට කීවෙමි.

“අනේ ලොකුම පිනක් අපේ හාමුදුරුවනේ… හරියට කෑමක්වත් නැ ගත්තේ තවම” යැයි කියා ඇය සමු දුන්නාය.

——————–
පැය භාගයකට පමණ පසුව.

“අයොධ්‍ය” කොහොමද මලයා ඉතිං”, ?

“ඉන්නවා අපේ හාමුදුරුවනේ…” යනුවෙන් ශෝකා කූල හඬකින් පිළිතුරු දුන්නෙය.

“මම ඔයාව දන්නේ පොඩි කාලේ ඉදන්, දහම්පාසලෙත් ඔයා දක්ෂව හිටියානේ. මට මතකයි ඔයාට හොඳම O/L result එකක් තිබ්බා…” මම කීවෙමි. ?

“එහෙමයි A8, B1.” ඔහු කීවේය. එම ජයග්‍රහණය පිළිබඳව යම් අභිමානයක් ඇති බව මට ඒ පිළිතුරෙන් තේරුම් ගියේය.

“ඒකනේ… එතකොට මොකද පුතා මේ වුනේ…” මම බොහෝම ලෙංගතුව ඇසීමි.

“මටත් විශ්වාස කරගන්න බෑ අපේ හාමුදුරුවනේ මෙච්චර අඩු වුනේ කොහොමද කියලා…” යනුවෙන් හැඩුම්බරව කීවේය. ?

“පුතා, අයොධ්‍ය.. අහන්නකො ලමයො… ඔයාට පුළුවන් මට ඕනෑම දෙයක් කියන්න… මම ඔයා කියන දේවල් එහෙමම රහසිගතව තියාගන්නවා… අම්මලාට මොකුත් කියන්නෑ… ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන්” යනුවෙන් මම කීවෙමි.

“එහෙමයි…”

“ඔයාට සම්බන්ධයක් එහෙම තියෙනවාද?”

මා එසේ විමසුවේ… මේ වයසේ තරුණයෙකුට ප්‍රතිඵල අඩුවීමට ඇති මුල්ම හේතුව, මෙය විය යුතු බවට සිතමිනි. මන්ද යත් ඔහුගේ පවුල් පසුබිමේ වෙනත් ගැටලු කාරී සිද්ධි නොමැති බව මම දනිමි.

ඔහුගෙන් පිළිතුරක් නැත.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ඈ … ලමයො… love එකක් තියෙනවා නේද?”?

“එහෙමයි.” යනුවෙන් කනට ඇසෙන නො ඇසෙන ගානට පිළිතුරු ලැබිණි.

“එකේ වරදක් නැ… දැන් ඉතිං ඔයාට අවුරුදු 18ට වැඩිනේ… මොනවා කරන කෙනෙක් ද? මම ඇසුවෙමි.

“ලබන අවුරුද්දේ A/L කරන්නේ…” එයද යාන්තමට කීවේය.

“අම්මලා දන්නවාද “

“අනේ නෑ අපේ හාමුදුරුවනේ… “ යනුවෙන් මදක් බය සහිතව කීවේය.

“හරි හරි මම ඔව්වා කියන්න යන්නෑ, දැන් එතකොට ආයේ විභාගය ගන්නවද?

“එහෙමයි….”

“එහෙනම් ඉතිං ඔය love එක ටික කාලයක් break කරලා තියාගන්න වෙයි… ඒක ඒ ලමයටත් හොඳයිනේ, මොකද ඒ ලමයත් විභාගනේ…” මම කීවෙමි. ?

ඒ පැත්තෙන් පිළිතුරක් නැත. නව යෞවන ප්‍රෙමයේ නවමු අත්දැකීම් විඳින ඔහුට විභාගය අමතක වූවා විය යුතුය.

“පුතා අයොධ්‍ය, මම කියන ටිකත් අහගන්නකො… ඔයාටයි ඒ ළමයටයි දෙන්නටම වැදගත් වෙයි…”

“එහෙමයි…”

“ඔයා commerce නේද කරන්නේ… මෙක පොඩි Bio පාඩමක්…” ✅

“ඔයා කියන්න බලන්න අපි පාඩම් කරන එව්වා කොහෙද තැන්පත් වෙන්නේ.?

“හිතේ…” ඔහු කීවේය.

“ඔව් හිතේ… කීවාට ඉතිං මොළයේ… මස්තිස්කය කියන කොටසේ… memory කිවාත් වරදක් නැ.

“එහෙමයි…”

“එතකොට machine එකක් ක්‍රියාත්මක වෙන්න current එකක් ඕනේ වාගේ මොළයේ සියලු ක්‍රියාකාරකම් සම්බන්ධව ක්‍රියාත්මක current එකට කියනවා ATP කියලා. හරිද??

“එහෙමයි…”

“එතකොට ඔය මස්තිස්කයේ තියෙන නියුරෝන ශෛල වල, අපි පාඩම් කරන මතකයන් ගබඩා කරගන්න අර කියන ATP එක විශාල වශයෙන් වැය වෙනවා. මොළයේ ස්වභාවික ක්‍රියාකාරිත්වය තමයි ඔය ATP එක පරිස්සං කරගෙන වැඩ කරන එක. එතකොට ඇහෙන් දකින එව්වා, මොළයේ ඇස සම්බන්ධ කොටසින් අරගෙන මතකයේ ගබඩා කරනවා, කනට ඇහෙන ඒවායෙන් අරගෙන ගබඩා කරනවා. “

“එහෙමයි… පාඩම් කරනවා කියන්නේ එහෙමනේ…” ඔහු කීවේය.

“අන්න හරි. එතකොට අහලා තියෙනවාද ගුරුවරු කියන්නේ උගන්වන වෙලාවට වෙන වැඩ කරන්න එපා අවධානයෙන් අහගන්න කියලා…”

“එහෙමයි…”

“ඒ කතාව මෙතැනට අදාළයි, හිතන්නකො ඔයා අත් දෙකෙන් desk එකට තට්ටුවක් දානගමන් ඕක අහගෙන ඉන්නවා කියලා…”

“එතකොට… අත් දෙක ක්‍රියාත්මක වෙන්න මොළයේ අත් සම්බන්ධ කොටස ක්‍රියාත්මක වෙනවා, ඒකේ තාලය අල්ලන්න වාගේ. එතකොට මොළය බලන්නේ නිතරම ATP එක පරිස්සං කරගන්න නිසා, ඔයා උගන්වන එක ඇසින් බලලා කනෙන් අහලා මතක තියාගන්න එකට නෙවෙයි වැඩියෙන් දෙන්නේ, අත්දෙකෙන් කරන තට්ටුවට. “ ?

“ඒ කියන්නේ අවධානය තියෙන්න ඕනේ කියලානේ..”

“අන්න හරි Concentration තියෙන්නේ. ඕනේ. ?

“දැන් එතකොට ඔයා O/L කරද්දි ඔයාට අවධානය දෙන්න තිබ්බේ ඉගැනීමට විතරයි, ඒ කියන්නේ ඔයාගේ ATP එක යොදාගන්නේ ඒකට.

ඊට පස්සේ ඔයාට phone එකක් හම්බුනා, game ගහන්න ගත්තා, පස්සේ love එකකුත් පටන් ගත්තා නේද??
එහා පැත්තෙන් නිහඩය. ?

“ඔයාට තියෙන්නේ වෙන අයට තියෙන්නෙත් පැය 24යි. එතකොට මොළයේ හැටි තමයි කැමැති දේට තමයි ATP එක වැඩිපුර දෙන්නේ. දැන් ඔයාගේ මොළයේ සතුටු සහගත අරමුණු කීපයක් තියෙනවා පාඩම් කරනවා කියන්නේ අසතුටු අරමුණක්. එතකොට අර memory භාවිත කරමින් කරගන්න ගබඩා කිරීමට දෙන්නේ අඩු ඉඩක්. “

“එහෙමයි තේරුණා…”

“අන්න දෙවැනි කාරණාව තේරුණා. Understanding.?

“ඔයා O/L ඉහලින් පාස් ඒ කියන්නේ ඔයාගේ අවබෝධය හොදයි. ඕකට IQ level එක කියලා කියන්නේ. අවධානය තිබ්බාට යමක් තේරුම් ගත්තේ නැත්තං අපට ඒ විෂයය අප්‍රිය වෙනවා. එතකොටත් මතකයේ ගබඩා කිරීම අපහසු වෙනවා. එක එක එක්නෙකා එක එක බුද්ධිමට්ටමනේ. එතකොට ඔයාගේ ප්‍රතිඵල එක්ක ඔයා බුද්ධිමට පහළ කෙනෙක් නෙවෙයි. ☺️

“එහෙනම් අපේ හාමුදුරුවනේ මට මොකද වුනේ…” ඔහු ඇසුවේය.

“තුන්වෙනි කාරණාවට වේලාව නැති වුනා. තුන් වෙනි කාරණාව තමයි Practice. නිතර නිතර පුහුණු කිරීම.?

“මොනවද පුහුණු කරන්නේ අපේ හාමුදුරුවනේ…

“අර මතකයට ඇතුළ් කිරීමයි. මතකයෙන් එලියට ගැනීමයි. (input out put) අපි යමක් පාඩම් කරන්නත් ඕනේ ඇස් දෙක සහ කන්දෙක යොදාගෙන ඒ වාගේම ඒ ටික ක්‍රමාණුකූලව ගලාගෙන එනවාද බලන්න නැවත නැවත ලියන්න ඕනේ, මතකයෙන් කියන්න ඕනේ. විභාගය කියන්නේ ගිහින් ලියන එකනේ නේද?”
“එහෙමයි…”

“එතකොට ඔයාගේ විෂය වැඩිපුර practice කරන එකක්. ඒකට වෙන අයට තියෙන පැය 24ම තමයි ඔයාට තියෙන්නේ. එතකොට ඔයා ඒ වෙලාවෙන් ටික ටික love එකට, phone එකට, game එකට වෙන් කරාම පාඩම් කරන්න හෝ practice කරන්න වෙලාව මදි. එතකොට තමයි විභාගයදී ඔයාගේ දක්ෂතා එලියට නොඑන්නේ…” ?

“ම්ම්ම්ම්…. “ඔහු කල්පනා කරන බවක් පෙනුනි.

“ඔකට කෙටියෙන් CUP theory කියලා. අවධානය, අවබෝධය, පුහුණුව යන වචන තුනේ මුල් අකුරු අරගෙන. (Concentration / Understanding / practice)✅?


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“ෂා… අදමයි ඇහුවේ අපේ හාමුදුරුවනේ…

“දරුවො… අහන්නකො ඔයා වාසනාවන්තයි, ඔයාට හොද IQ මට්ටමක් දෙමාපිය ජාන වලින්ම ලැබිලා තියෙනවා. වෙනත් ආර්ථික කරදර නැ. එතකොට ඔයාට තියෙන්නේ තව මාස 8ක් 10ක් කැප කිරීමක් කරන්න.

“ඒවාගේම ඔයාට පුළුවන් ඔයාගේ මේ පාර විභාගය බාධාවක් වෙච්චි ප්‍රේමය, විභාගයට හයියක් කරගන්න. “

“ඇැ ඒ කොහොමද, “ ඔහු විශ්මයෙන් ඇසුවේය.

“එයාත් ඔයත් දෙන්නම campus යනවා, එහෙදි හම්බෙනවා කියන දැඩි අදහස හිතට ගන්න”

“ෂහ් ඒක නම් නියමයි” කොලුවාගේ ඇගට ජවයක් ආ බවක් පෙන්න තිබුණි.

පුද්ගලයෙකුට හැකියාව මෙන්ම motivation එකක්ද අවශ්‍ය වේ. මා ඔහුට ලබා දුන්නේ එබදු උත්තේජනයකි. ?

“ඉතිං පොඩි කාලයකට, ඔයාගේ love එකට අංක 2 දීලා, අධ්‍යාපනය සම්බන්ධ මාතෘකා ටිකක් අංක 1ට තියාගන්න. මොකද ඔයාව විශ්වාස කරලානේ අම්මලාට ඔයාට නිදහස දිලා තියෙන්නේ “

“අනේ එහෙමයි අපේ හාමුදුරුවනේ බොහොම පිං ඔබ වහන්සේට.

සටහන
? විභාගයට වඩා වෙනත් අරමුණු මුලික වීම නිසා දුක් විඳිනා දරුවන් වෙනුවෙනි. නැවත උත්සහා කරන්න.

? සත්ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්යතාවය පිණිස, අනන්යතාවය හඳුනා ගත නො හැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න)

තවත් මනෝ උපදේශනය සම්බන්ධ ලිපි සඳහා : Counselling – හෙරලි

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.