ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – දෙවන කොටස
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – පළමු කොටස
දේවානම්පියතිස්ස රජ දවසින් පස්සේ අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වුණු 150කටත් වඩා අධික රාජ්‍ය පාලකයන්ගෙන් 95%ක්ම බුදු සසුන වෙනුවෙන් ඇප කැප වුණා. ලංකාවේ රජෙකුගෙන් මිනිසුන් බලාපොරොත්තු වුණේ කරුණු දෙකයි. එකක් තමයි ආර්ථික සංවර්ධනය (කෘෂිකර්මය සහ වාරි කර්මාන්තය දියුණු කිරීම). අනිත් එක තමයි බුදු සසුනේ චිරස්ථිතිය (සංඝයාට අනුග්‍රහය දැක්වීම සහ වෙහෙර විහාර නිර්මාණය).
ඒ නිසා බුදු සසුන වෙනුවෙන් ඇපකැපව සේවය කිරීම සෑම රජ කෙනෙකුගේම යුතුකමක් සහ වගකීමක් වෙනවා. දේවානම්පියතිස්ස රජුගෙන් පස්සේ අනුරපුර රාජධානියේ බුදු සසුන වෙනුවෙන් කැප වුණු රජවරුන් අතරේ ප්‍රබලම රජවරුන් ගණනාවක් ඉන්නවා. ඒ අතරිනුත් ප්රබලතම රජවරුන් කිහිප දෙනෙක් ගැන සදහන් කළොත් වටිනවා.
දේවානම්පියතිස්ස රජුගෙන් පස්සේ බුදු සමයේ ව්‍යාප්තිය වෙනුවෙන් සේවාවක් කරපු පළමුවැන්නා දුටුගැමුණු රජතුමායි. ශ්‍රී ලාංකිකයන් අතරේ ඔහුට තියෙන ගරුත්වය වෙනත් කිසිම රජ කෙනෙකුට නැති තරම්. වසර ගණනාවක් තිස්සේ අපේ රට යටත් කරගෙන හිටපු දකුණු ඉන්දීය ආක්‍රමණිකයෙක් වුණු එළාර රජුට විරුද්ධව නිදහස් සටන ආරම්භ කළේ “මාගේ මේ ව්‍යායාමය හුදෙක් රජ සැප පිණිස නොව, බුදු සසුනේ චිරස්ථිතිය උදෙසාය” යන ප්‍රකාශය පෙරදැරි කරගෙනයි.
මේ නිසා මේ සටන් ව්‍යාපාරයට රටේ සෑම වැසියෙකුගෙන් මෙන්ම මහා සංඝරත්නයෙන්ද ආශිර්වාදය ලැබුනා. ගැමුණු රජතුමා අනුරපුරයේ සටනට යන විට මහා සංඝරත්නය පිරිත් කියමින් හමුදාව ඉදිරියෙන් ගමන් කළා කියලා සදහන් වෙනවා. යුද්ධ ව්‍යාපාරය වෙනුවෙන් මහා සංඝරත්නය අනුශාසනා සහිතව යම් කැපවීමක් කළා. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ ප්‍රධානීන් දස දෙනා අතරේ හිටපු ථෙරපුත්තාභය නම් තැනැත්තා භික්ෂුවක් ලෙස ඉද, රට බේරා ගැනීමේ මෙහෙයුම වෙනුවෙන් සිවුරු හැර දාලා ආපු කෙනෙක්.
යුද්ධ ජයග්රහණයෙන් පස්සේ රජතුමා පොරොන්දු වුණු විදිහටම ශාසනයේ අභිවෘද්ධිය වෙනුවෙන්, තම සහෝදරයා වූ සද්ධාතිස්සත් සමග එක්වී බොහෝ වැඩ කටයුතු සිදු කළා. රුවන්වැලි මහා සෑය නිර්මාණය කිරීමේ ගෞරවය හිමිවන්නේද ගැමුණු රජතුමාටයි. මේ පොළොවේ ඇති බුදුන් වහන්සේගේ විශාලතම ශාරීරික ධාතු එකතුව තැන්පත් කරලා තියෙන්නේ රුවන්වැලි සෑයෙයි. ඒ වගේම සංඝරත්නය වෙනුවෙන් ලෝවමහාපායත්, මිරිසවැටිය ස්තූපය, විජිතපුර විහාරය ආදී වශයෙන් වෙහෙර විහාර ගණනාවක් එතුමාගේ මූලිකත්වයෙන් නිර්මාණය වුණා.
ගැමුණු රජතුමාගෙන් පසුව කරලියට පිවිසෙන ප්රබලතම චරිතය තමයි වළගම්බා රජතුමා. ඒ කියන්නේ දුටුගැමුණුගේ සහෝදරයාගේ බාල පුත්‍රයා. මේ කාලයේ තමයි අපේ රටේ බුදු සසුන පිහිටෙව්වායින් පස්සේ බුදු සසුනට ආපු අභාග්‍යසම්පන්නම කාල වකවානුව. එක පැත්තකින් තීය කියලා බ්‍රාහ්මණයින් පිරිසක් රජු එක්ක යුද්ධ කරන්න ලෑස්ති වෙනවා. තවත් පැත්තකින් දකුණු ඉන්දියාවෙන් දැවැන්ත ද්‍රවිඩ ආක්‍රමණයක් එල්ල වෙනවා (සත් ද්‍රවිඩ ආක්‍රමණය). තවත් අතකින් මහා සාගතයක් (බැමිණිතියා සාය).
සතුරාගෙන් සතුරා විනාශ කිරීමේ න්‍යාය සූක්ෂමව ක්‍රියාවට නංවන රජතුමා ස්වදේශික ආක්‍රමණිකයන් විනාශ කිරීමේ අරමුණින් ඔවුන් සහ විදේශීය ආක්‍රමණිකයන් අතර යුද්ධයක් ඇති කළා. ස්වදේශික ආක්‍රමණිකයන් සමූල ඝාතනය වීමත් සමග, විදේශීය ආක්‍රමණිකයන් සමග යුද්ධය ආරම්භ කළත්, නොසිතූ මොහොතක යුද්ධයෙන් පරාජයට පත් වෙන රජතුමා, මලය දේශයට පලා ගිහින් අවුරුදු 14ක් සහ මාස 7ක් හැංගිලා හිටියා.
මේ කාලය අතරතුර කුපික්කලතිස්ස කියලා හිමි නමක් රජතුමා හට උපස්ථාන කරන අතරේ රජතුමාත් සමග එකතු වෙලා නිදහස ලබා ගැනීම වෙනුවෙන් සැලසුම් නිර්මාණය කරමින්, සටනට අවශ්‍ය කරන විශාල හමුදාවක් ගොඩ නැගුවා. වසර 14කට පසුව නැවතත් සටන් වදින රජතුමා, විදේශිකයන් පරාජය කරමින්, දෙවන වරටත් සිහසුන ලබා ගන්නවා. කුපික්කලතිස්ස හිමියන්ගේ ආධාර රජතුමාට නොලැබුනේ නම් යුද්ධය නිසැකයෙන්ම පරදිනවා. මේ නිසා තමයි මහා සංඝරත්නයට “ජාතියේ මුර දේවතාවුන්” කියලා කියන්නේ.
ඊට පස්සේ කුපික්කලතිස්ස හිමියන්ගේ මෙහෙවර වෙනුවෙන් රජතුමා අභයගිරි විහාර සංකීර්ණය හදලා පූජා කරනවා. මෙම පූජාවට මහා විහාරයේ භික්ෂූන් විරුද්ධ වූ නිසා රජුත් මහා විහාරයත් අතර ගැටුමක් හට ගන්නවා. ඒ මෙය පෞද්ගලිකව සිද්ධ කරන පූජාවක් නිසා. ඊට පස්සේ මහා විහාරයෙන් වෙන්වෙලා කුපික්කලතිස්ස හිමියන් තමන්ගේ ශිෂ්‍යයන් 500ක් සමග අභයගිරියේ පදිංචියට යන අතර මෙය ලංකාවේ ශාසන ඉතිහාසයේ දෙකඩ වීමක් ලෙසත්, ලංකාවේ ප්‍රථම පෞද්ගලික ආරාම පූජාව ලෙසත් ඉතිහාස පොත්වල සදහන් වෙනවා.
ඒත් මතය ප්‍රතික්ෂේප කරන වර්තමාන ඉතිහාසඥයන් පවසන්නේ අභයගිරිය එවකට සැප පහසුකම් අතින් අග්‍රගන්‍ය වූ ස්ථානයක් නිසාත්, විදේශීය භික්ෂූන් අභයගිරියට පමණක් වැඩම කළ නිසාත්, මහා විහාරයේ භික්ෂූන් අභයගිරියත් සමග මහත් වූ ඊර්ෂ්‍යාවකින් පෙලුනා කියලයි.
පස්සේ කාලයක අභයගිරි විහාරය කේන්ද්‍ර කරගෙන විශාල ආගමික සහ විද්‍යා ප්රබෝධයක් ඇති වෙනවා. විදේශීය භික්ෂූන්ගේ පැමිණීමත් සමග ලොව වටා ඇති දැනුමේ භාණ්ඩාගාරයක් බවට පත් වෙනවා. ඊටත් පසු කාලයක අභයගිරිය ලංකාවේ මහායාන බුදු දහමේ කේන්ද්‍රස්ථානය බවට පත් වෙනවා. ඒ වගේම විවිධ නිකායන් බිහි වෙනවා. මේවාට අමතරව ලංකාරාමය, දඹුල්ල ලෙන් විහාරය, ලෙනවර විහාරය ආදී වශයෙන් විහාරාරාම ගණනාවක් ඉදි කරන්න වළගම්බා රජු පියවර ගන්නවා.
මාතලේ “ආලෝක විහාරය” හෙවත් “අළු විහාරයේ” ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කිරීමත් වළගම්බා රාජ්‍ය සමයෙම සිද්ධ වුණු එක තවත් විශේෂත්වයක්. මේ කාලය තුළ අපේ රටේ තිබුණු මහා සාගතය නිසා දහස් ගණන් භික්ෂූන් වහන්සේලා අපවත් වුණා. බොහෝ පිරිසක් මේ දේශගුණය ඉවසගන්න බැරුව වෙනත් වෙනත් රටවල් වලට වැඩම කළා. මේ වෙන කොට තිබුණේ ධර්මය කට පාඩමින් ඉදිරියට පවත්වා ගෙන යන ක්‍රමයක්. ඉතින් භික්ෂූන් වහන්සේලාගේ අපවත් වීම නිසා බුද්ධ ධර්මය අපේ රටෙන් මැකිලා යන්න පටන් ගත්තා.
පොත්පත්වල තියෙන විදිහට නම් මේ මහා සාගතය නිසා, සමහරක් හාමුදුරුවරු අපවත් වෙන්න ඔන්න මෙන්න තියෙද්දිත් පොළොවේ, වැල්ලෙ තමන්ට ඒ වෙලාවේ මතකයට එන ධර්ම කරුණු සටහන් කළාලු. තවත් හාමුදුරුවරු අපවත් වෙන්න යන බව දැන ගෙන, අසාධ්‍ය තත්වයේ හිටියත්, තමන්ගේ ළග ඉන්න හාමුදුරුවරුන්ට කණට කොදුරලා තමන් දන්න දහම් කරුණු දේශනා කළා. මේ මහා සාගතය නිසා ඒ හාමුදුරුවරුත් ඉක්මනින්ම අපවත් වෙන බව දැන දැනත් මේ දේවල් කළේ, අසිරිමත් ශ්‍රී සද්ධර්මය තව මොහොතකට හරි ආරක්ෂා කරන්නයි.
මේ නිසා අපේ හාමුදුරුවරු 500 නමක් එකතු වෙලා ගොඩක් වටිනා තීරණයක් ගන්නවා. ඒ තමයි බුදුන් වහන්සේ දේශනා කරපු 84 000ක ධර්ම ස්කන්ධය හෙවත් සූත්‍ර, විනය, අභිධර්ම කියන ත්‍රිපිටකය ග්රන්ථාරූඩ කිරීම. බුදු දහම කට පාඩමින් පවත්වා ගෙන යනවා වගේම, ග්රන්ථවලත් ඒ දේවල් සටහන් කරනකොට, ආයිත් මේ වගේ සාගතයක් ආවත් බය වෙන්න දෙයක් නෑ. මොකද ධර්මය මේ පොත්වල සටහන් වෙලා තියෙන නිසා. මහා වංශයට අනුව මේ විශේෂ කටයුත්තට අනුග්‍රහය දුන්න කෙනෙක් හොයා ගන්න නෑ. ඒත් මේකට ප්‍රාදේශීය නායකයෙක් හරි අගමැතිවරයෙක් හරි අනුග්‍රහය දුන්නා කියලා මතයක් තියෙනවා.
නමුත් වර්තමානය වෙන කොට මේකත් ප්‍රතික්ෂේපිත මතයක්. වර්තමාන මතය නම් වළගම්බා රජතුමා මේකට සහයෝගය දුන්නා කියන එකයි. මහා වංශය ලියන්නේ මහා විහාරයේ හිමි නමක්. ඉතින් මේකෙදි පක්ෂග්රාහී බවක් පෙන්නුම් කරලා තියෙනවා. මහා විහාරයත් එක්ක ගැටුම් ඇති කර ගත්තු රජවරු මහා වංශයෙන් විසික් වෙලා ගිහිල්ලා තියෙනවා. මහා විහාරයට පක්ෂව වැඩ කරපු රජවරු ගැන ඉහළ වර්ණනාවන් තියෙනවා.
මේක මහා පරිමාණයේ යෝධ ව්‍යාපෘතියක්. බුදු හාමුදුරුවන්ගේ 84 000ක ධර්ම ස්කන්ධය සූත්‍ර, විනය, අභිධර්ම විදිහට කොටස් 3කට බෙදලා ඒවා එකින් එක, පුස්කොල පොත්වල සටහන් කරන්න ඕන. ඊට පස්සෙ ඒවා කිහිප වරක් නැවත නැවත කියවලා, වැරදි නිවැරදි කර ගන්න ඕන. ඊට පස්සෙ මේකෙන් පිටපත් ගොඩක් ගන්න ඕන. ඒ වගේම තවත් පිටපත් වගයක් වෙනම අරගෙන එව්වා අනිත් බෞද්ධ රටවලටත් යවන්න ඕන. ඉතින් මේ වගේ දේකට “රාජ්‍ය අනුග්‍රහය” අනිවාර්යෙන්ම අවශ්‍යයි. රජතුමා මහා විහාරයේ හාමුදුරුවරු එක්ක ප්‍රශ්න ඇති කර ගෙන හිටියත්, මේ කටයුත්ත සමස්ථ බුදු සසුනේම චිරස්තිථිය සහ පැවැත්ම උදෙසා සිද්ධ කරපු දෙයක්.
වළගම්බා රජතුමාගෙන් පස්සේ එන ප්රබලතමයා තමයි මහසෙන් රජතුමා. අපේ රටට මහායාන බුදු දහම පළවෙනි වතාවට පැමිණෙන්නේ “වෝහාරික තිස්ස” රාජ්‍ය පාලන සමයේ. මහායානික භික්ෂුන් වහන්සේලා, අපේ රටේ ධර්ම ප්රචාරයේ යෙදුනත් ප්‍රචාරය කරන්නේ මහායානික බුදු දහම නිසා, වෝහාරික තිස්ස රජ්ජුරුවෝ මේ භික්ෂූන් වහන්සෙලාව අල්ලලා, කන්දකින් පල්ලෙහට තල්ලු කරලා දැම්මා කියලා පොත්පත් වල සදහන් වෙනවා. මේ භයානක සිදු වීම නිසා, අපේ රටේ මහායාන ධර්මය ප්‍රචාරය වීම ටික කාලයකට නතර වෙනවා. ආයිත් අපේ රටේ මහායානය ප්‍රචාරය වෙන්න පටන් ගන්නේ ගෝඨාබය රාජ්‍ය සමයේදී.
අපේ රටේ තියෙන ථේරවාදය එදා ඉදලම ආරක්ෂා කළේ, දේවානම්පියතිස්ස රජ දවස ස්ථාපිත කරපු “මහා විහාරය”යි. මහායානයේ ආගමනයට තදින්ම විරුද්ධ වුණු මහා විහාරයේ භික්ෂූන්, මෙය වහාම නවත්තන ලෙස රජතුමාගෙන් ඉල්ලීමක් කළා. මේ නිසා රජතුමා මහායානික භික්ෂූන් වහන්සේලාගේ ශරීරවල, රත් කළ යකඩයකින් සළකුණු තබලා රටින් පිටුවහල් කළා. ලංකාවෙන් ඉන්දියාවට වැඩම කරපු උන්වහන්සේලා, ඉන්දියාවේ ජීවත් වෙන්න ගත්තා. මින් එක් හිමිනමකගේ ශිෂ්‍යයෙක්ට මේ සිදුවීම දැන ගන්න ලැබෙනවා. උන්වහන්සේ ලංකාවෙන් ඉන්දියාවට ගියපු “සංඝමිත්ත” කියලා හිමි නමක්. තමන්ගේ ගුරු හාමුදුරුවරුන්ට කළ දේට මහා විහාරයෙන් සහ රජුගෙන් පළිගන්න උන්වහන්සේ ලංකාවට වැඩම කරනවා. ලංකාවට වැඩම කරලා ගෝඨාභය රජතුමත් සමග මිත්‍ර වෙන උන්වහන්සේට රජතුමා, ඔහුගේ දරුවන් දෙදෙනා වුණු ජෙට්ටතිස්සගේ සහ මහසෙන්ගේ අධ්‍යාපන කටයුතු භාර කරනවා.
සංඝමිත්ත කුමාරවරු දෙදෙනාට අධ්‍යාපනය දෙන ගමන් මහා විහාර සහ ථේරවාද විරෝධී අදහස් උගන්නනවා. වැඩිමහල් ජෙට්ටතිස්ස මෙය ප්‍රතික්ෂේප කළත්, මහසෙන් මේවා ඉහළින්ම පිළිගන්නවා. පසු කාලයක ගෝඨාභයගේ මරණින් පසුව ජෙට්ඨතිස්ස සිංහාසනාරූඪ වෙනවා. ජෙට්ඨතිස්සව ඝාතනය කර මහසෙන් කුමාරයාව ඉක්මනින් රජ කරවන්න, සංඝමිත්ත කරමින් හිටිය කුමන්ත්‍රණයක් හසු වී, සංඝමිත්ත ඉන්දියාවට පලා යනවා.
වසර 10කට පස්සේ ජෙට්ඨතිස්සගේ අභාවයෙන් පසුව රජවෙන මහසෙන් රජතුමා, සංඝමිත්තව ලංකාවට ගෙන්නගෙන උපදේශක තනතුරේ පිහිටවනවා. මහා විහාරයෙන් පලි ගැනීමේ චේතනාව ක්‍රියාත්මක කරන සංඝමිත්ත ථේරවාද බෞද්ධ විරෝධී සහ මහා විහාර විරෝධී අදහස් රජතුමාගේ මනසට ඇතුල් කරනවා. ඊට පස්සෙ රජතුමා මහා විහාරයට දන් දෙන අයට මරණ දඩුවම ක්‍රියාත්මක කරන්න නීතියක් පනවනවා. දානය නොලැබෙන නිසා මහා විහාරයේ භික්ෂූන් විදෙස් රටවලට සහ පිට පළාත් වලට වැඩම කරනවා. ඊට පස්සෙ සංඝමිත්ත ඇතුළු පිරිස මහා විහාරයේ තියෙන සියලුම දේවල් කොල්ල කාලා, රජුගේ ආධාර ඇතිව, ඇතුන් ලවා මහා විහාරය මුළුමනින්ම බිමට සමතලා කරනවා.
මේත් එක්කම රට පුරා රජුට විරුද්ධව කැරැල්ලක් ඇති වෙලා, ඒක මහා යුද්ධයක් දක්වා ව්‍යාප්ත වෙනවා. රජුගේ බිසවත්, රජුගේ විශ්වාසවන්තම සෙනවියත් කැරලිකාර හමුදාව සමග එකතු වෙනවා. පසුව මහා විහාරයෙන් රටට වුණු සේවාවත්, ථේරවාදී බුදු දහමේ සුපිරිසිදු බවත්, සංඝමිත්තගේ කුමන්ත්රණයත් ගැන රජතුමාට කරුණු පැහැදිලි කරන රජතුමාගේ විශ්වාසවන්ත සෙනවියා රජතුමාගේ වැරදි ආකල්ප බිද දමා, රජුව යහ මගට ගන්නවා. මේ සිදුවීම ගැන මුළු මහත් බෞද්ධ ජනයාගෙන්ම සමාව ගන්න රජතුමා, මහා විහාරය තිබූ ආකාරයටම නිර්මාණය කරවන්න කටයුතු කරනවා. මේ අතරේ ථූපාරාම චෛත්‍යය බිද දමමින් සිටින සංඝමිත්ත ඇතුළු පිරිස රජතුමාගේ බිසවගේ සැලැස්මකට අනුව ඝාතනයට ලක් වෙනවා. රජතුමා මහා විහාර භූමිය කිට්ටුව බුදුන් වහන්සේගේ පටී ධාතුව නිධන් කරලා ජේතවනාරාම විහාර සංකීර්ණයත් නිර්මාණය කරනවා.
ජේතවනාරාමය කේන්ද්‍ර කර ගෙන අභයගිරියේ සහ මහා විහාරයේ වගේම මහා විද්‍යා ප්රබෝධයක් ඇති වෙනවා. දෙස් විදෙස් ගිහි පැවිදි පිරිස්, අධ්‍යාපනය ලබන්න ඇදිලා එනවා. ජේතවනාරාම ස්තූපය ලෝකයේ තියෙන විශාලම ස්තූපයයි. ඒ වගේම විශාලතම ගඩොල් ඉදි කිරීමයි. ජේතවනාරාමය විශාලත්වයෙන් දෙවෙනි වෙන්නෙ, ඊජිප්තුවේ මහා පිරමීඩයට විතරයි. අඩි 400ක් උස මේ චෛත්‍යය හදන්න, පිහිටි ගල හමු වෙනකන් අඩි 26ක් ගැඹුරට අත්තිවාරමක් දානවා, ඕනෑම භූ චලනයකට ඔරොත්තු දීගන්න පුලුවන් විදිහට. පස්සෙ කාලයක ජේතවනාරාමයෙන් බිහි වෙනවා “සාගලික” කියලා නිකායකුත්. මේ නිකාය පොළොන්නරු යුගයේ මහා පරාක්‍රමබාහු රාජ්‍ය සමයේ මුල් අවධිය වෙනකන් තියෙනවා. මේ නිසා මහාසේන රජු ඉතිහාසගත වන්නේ “බොහෝ පිංද බොහෝ පව්ද කළ රජ කෙනෙක්” ලෙසයි.
ඊටත් පස්සේ එන ප්රබලතමයා තමයි ධාතුසේන රජතුමා. ධාතුසේන රජතුමා කුඩා කාලයේදී අපේ රටට එල්ල වෙන දැවැන්ත දකුණු ඉන්දීය ආක්‍රමණයක් (ෂඩ් ද්‍රවිඩ ආක්‍රමණය) නිසා, සිහසුනට උරුමකම් කී කුමාරවරු ඝාතනය වෙන්න ගන්නවා. ඉතින් ඔහුගේ මාමා කෙනෙක් වුණු මහානාම කියන හාමුදුරුවෝ, කුමාරයාව මහණ කරලා හොර රහසේ හංගනවා. මහානාම හාමුදුරුවො මේ කුමාරයව තරුණ කාලය වෙනකන් රැක බලා ගන්නවා. කුමාරයට ආරක්ෂාව දෙනවා.
තරුණ වයසට ආවයින් පස්සෙ කුමාරයව උපැවිදි කරලා, ලොකු හමුදාවක් හදනවා. ඊට පස්සෙ සැලසුම් සකස් කරලා, කල් යල් බලලා අරගලය දියත් කරනවා. අරගලය ජයග්‍රහණය කරන ධාතුසේන රජතුමා, ආක්‍රමණිකයන් අතින් විනාශ වුණු පන්සල් ප්‍රතිසංස්කරණය කරලා කලාවාපි විහාරය, වඩුන්නා විහාරය, දක්ඛිනගිරි විහාරය, නාග බහිරව දේවාලය වගේ වෙහෙර විහාර නිර්මාණය කරනවා.
හැම අවුරුද්දකම පොසොන් උත්සවයට මිහිදු පෙරහැරක් කරනවා. අභයගිරියෙ ධර්මරුචි නිකායට අයිති හාමුදුරුවරුන්ට විහාරයක් කරවනවා (මහා විහාරයේ හාමුදුරුවරුන්ගේ ඉල්ලීමක් අනුව). රට වටේට බුදු පිළිම, පිළිම ගෙවල් එහෙමත් හදනවා. ලංකාවේ උසම බුදු පිළිමයක් වෙන, “අවුකන පිළිමය”ත් ධාතුසේන රජතුමාගෙ වැඩක් කියලා තමයි විශ්වාස කරන්නෙ. පිහිටි ගලින්ම නෙළලා තියෙන අවුකන බුදු පිළිමයේ උස අඩි 42ක් විතර වෙනවා. ඒ වගේම රජතුමා රුවන්වැලි මහා සෑය, ජේතවනාරාමය, අභයගිරිය කියන චෛත්‍යය තුනෙම හුණු පිරියම් කරනවා.ඊට පස්සෙ ඒ චෛත්‍යවලට අකුණු ගහන්නෙ නැති විදිහට වීදුරු චුම්බක හයි කරනවා. ඒ කියන්නෙ ඔය චූඩා මාණික්‍ය (අකුණු සන්නායක).
මේ අය තමයි අනුරාධපුර යුගයේ බුදු දහම වෙනුවෙන් ප්රබලතම ප්‍රබල සේවාවක් කරපු ප්රබලතම රජවරු. ඊට අමතරව ධාතුසේනගෙන් රාජ්‍ය පාලකයන් 10 දෙනෙක් ගිය තැන, රාජ්‍යත්වයට පත් වෙන කීර්ති ශ්‍රී මේඝවර්ණාභය රාජ්‍ය සමයේ බුදුන් වහන්සේගේ වම් දළදාව වැඩම කිරීම සිද්ධ වෙනවා. එතැන් පටන් බුදුන් වහන්සේගේ පාත්‍ර ධාතුව, වම් දළදාව යන දෙක රාජ්‍යත්වයේ සංඛේත ලෙස කරලියට පිවිසෙනවා.
මේ දෙක යමෙක් සතුවේද ඔහුට හෝ ඇයට රටේ රජකම හිමිවීමේ න්‍යායක් ක්‍රියාත්මක වෙනවා. දළදා වහන්සේ කේන්ද්‍ර කර ගනිමින් තේවාව, පෙරහැර ආදී වශයෙන් නව සංස්කෘතියක් නිර්මාණය වෙනවා.
ශ්‍රී ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය – තෙවන කොටස