ප්‍රංශ ජනතාව මැක්‍රොන්ට දුන් කණේ පහර​

June 29, 2022

පසුගියදා නිමා වූ ප්‍රංශ පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් වෙත බලාපොරොත්තු නොවූ ආකාරයේ පරාජයක් ගෙන ආවා. එක් අතකින් ඔහුගේ අන්සම්බ්ල (Ensemble) සන්ධානයට පාර්ලිමේන්තු බහුතරය අහිමි වීම මෙන්ම අනෙක් අතින් අන්ත දක්ෂිනාංශික ජාතික රැළිය පක්ෂය බලාපොරොත්තු නොවූ තරම් ආසන ප්‍රමාණයක් ලබාගැනීම මෙම මැතිවරණයේ අනපේක්ෂිත ප්‍රතිඵල වුණා.

ජනාධිපතිවරණය ජයගෙන මාස තුනක් ගතවීමට මත්තෙන් මෙසේ පාර්ලිමේන්තු මැතිවරණයේදී අසාර්ථක වීම මැක්‍රොන් ලද පරාජයක් ලෙස සැලකිය හැකියි.

@elearninglk

මුලින්ම අපි ප්‍රංශ මහමැතිවරණ ක්‍රමවේදය පිළිබඳව සොයාබලමු. ප්‍රංශ පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලයෙහි ආසන 577 ක් වනවා. එයට මන්ත්‍රීන් තෝරාගන්නේ කේවල ක්‍රමයටයි. කෙසේ වුවද එය සුවිශේෂී කේවල ක්‍රමයක් වනවා. ඊට හේතුව වන්නේ එම මැතිවරණය වට දෙකකින් පැවැත්වීමයි.

මෙහිදී පළමු වටයේදී ම අපේක්ෂකයකු ජයග්‍රහණය කිරීමට නම් ඔහු හෝ ඇය එම ආසනයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 50 ක් ඉක්මවා ලබාගතයුතු අතර එම සංඛ්‍යාව ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 25 ක් ඉක්මවිය යුතුයි. එනම්, යම් ආසනයක අපේක්ෂකයකු සියයට 50 ඉක්මවූ ප්‍රතිශතයක් ලබාගත්තත් එම ආසනයේ ප්‍රකාශිත ඡන්ද සංඛ්‍යාව අඩු වුණොත් දෙවන වටයේ ඡන්ද විමසීමක් පැවැත්වෙනවා.


Click on the Image

දෙවැනි වටයේදී එම ආසනයේ පළමු හා දෙවන ස්ථානයට පැමිණි අපේක්ෂකයන් අනිවාර්යයෙන් තරග වදිනවා. ඊට අමතරව පළමු වටයේදී ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවෙන් සියයට 12.5 ඉක්මවූ වෙනත් අපේක්ෂකයකු සිටියහොත් ඔහු හෝ ඇය ද දෙවන වටයට සුදුසුකම් ලබනවා.

මේ ක්‍රමය හඳුන්වා දෙන ලද්දේ 1958දී යි. එකල මෙම ක්‍රමය හඳුන්වා දුන්නේ ප්‍රංශ කොමියුනිස්ට් පක්ෂයේ බලය බිඳීම සඳහා යි. ඊට පෙර කොමියුනිස්ට් පක්ෂය පාර්ලිමේන්තු ආසනවලින් සියයට 25 – 30 ක් පමණ දිනාගන්නට හැකියාව තිබූ පක්ෂයක් වුණා. නමුත් අලුත් ක්‍රමයේදී දෙවැනි වටයකට තරගය ගිය විට​, අන් සියළු පක්ෂවල ආධාරකරුවන් කොමියුනිස්ට් අපේක්ෂකයන් පරාජය කිරීමට ඡන්දය දුන් හෙයින් නව ක්‍රමය යටතේ කොමියුනිස්ට් පක්ෂ මන්ත්‍රීන් කිහිපදෙනකුට වඩා පාර්ලිමේන්තුවට ප්‍රවේශ වූයේ නැහැ.

දිගු කාලීනව ගත්විට​, මෙය කොමියුනිස්ට් පක්ෂය දුර්වල වීමට එක් හේතුවක් වූ අතර සමාජවාදී පක්ෂය ප්‍රංශයේ ප්‍රධාන දේශපාලන බලවේගයක් බවට පත්වූයේ ඒ අනුවයි.

මෑත කාලයේදී මෙම ඡන්ද ක්‍රමය අවාසියට හිටියේ අන්ත වාමාංශික කඳවුරට නොව අන්ත දක්ෂිනාංශික කඳවුරටයි. උදාහරණයක් ලෙස ගතහොත් 2017 මැතිවරණයේ පළමු වටයේදී ප්‍රංශ ජාතික රැළිය (එකළ ජාතික පෙරමුණ​) සියයට අටක් ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබාගත්ත ද දිනාගත්තේ ආසන අටක් පමණයි. 2022 මැතිවරණයේදී එහි පැහැදිලි වෙනසක් සිදුවීම මැතිවරණ ප්‍රතිඵලයට බලපෑවා. එනම්, ඡන්ද ක්‍රමය හේතුවෙන් කොමියුනිස්ට්වාදීන් දුර්වල වූ අයුරින් ජාතික රැළිය දුර්වල වූයේ නැහැ.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඡන්ද ප්‍රතිඵලය
මහමැතිවරණ ප්‍රතිඵලය අනුව අන්සම්බ්ල සන්ධානය ආසන 245 ක් දිනාගත්තා. ඔවුන්ගේ ප්‍රධානම ප්‍රතිවාදියා වූ නූපේස් සන්ධානය (New Ecological and Social People’s Union – NUPES) ආසන 131 ක් දිනාගන්නට සමත් වුණා. නමුත් විශාලම පුදුමය වූයේ ජාතික රැළිය ආසන 89 ක් දිනාගැනීමයි.

රිපබ්ලිකන් පක්ෂය ආසන 64 ක් දිනාගත් අතර පනහකට ආසන්න ප්‍රමාණය විවිධ වාමාංශික​, දක්ෂිනාංශික​, ප්‍රාදේශීය කණ්ඩායම් (ප්‍රංශයේ මෙවන් කුඩා ප්‍රාදේශීය දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් කිහිපයක්ම​ තිබෙනවා) අතර බෙදී ගියා. අන්තවාදී දක්ෂිනාංශික එරික් සෙමූර්ගේ පක්ෂයට ආසන දිනාගන්නට ලැබුණේ නැහැ.


ඡන්ද ප්‍රතිඵලය

වාමාංශික සහ ජාතිකවාදී කණ්ඩායම්වල සාර්ථකත්වය පිළිබඳ මෙහිදී අප විශේෂයෙන් සලකා බැලීම වැදගත් වනවා. වාමාංශික සන්ධානය පිළිබඳ මුලින්ම සොයා බලමු. 2017 ජනාධිපතිවරණයේදී එම්මානුවෙල් මැක්‍රොන් සැලකියයුතු තරමකින් මධ්‍ය වාමාංශික සහ පරිසරවේදී කණ්ඩායම් තමන් වටා එකතු කරගන්නට සමත් වුණා.

නමුත් මේ වනවිට ඔවුන් ඔහු කෙරේ බලාපොරොත්තු කඩ ව සිටිනවා. 2022 ජනාධිපතිවරණයේදී ශෝන් ලූක් මිලන්ශොන් දෙවන ස්ථානයට පැමිණීමට අපොහොසත් වූයේ ඉතා සුළු ඡන්ද සංඛාවකින්. ඇත්තෙන්ම එකළ නූපේස් සන්ධානය වූයේ නම් ඇතැම්විට මිලන්ශොන්ට දෙවන ස්ථානයට පැමිණීමටත් අවකාශය තිබුණා.

කලක් තිස්සේ ප්‍රංශ වාමාංශය දුර්වල කළ බෙදීම් මඳකට පසෙකලා මැතිවරණය සඳහා ඒකාබද්ධ වීම නූපේස් සන්ධානය ඔස්සේ සිදුවුණා. මේ අනුව මිලන්ශොන්ගේ “නොනැමුණු ප්‍රංශය​” පක්ෂයත්, ප්‍රංශ සමාජවාදී පක්ෂයත්, පරිසරවේදී කණ්ඩායමත්, කොමියුනිස්ට් පක්ෂයත් එක් සන්ධානයක් ලෙස තරග වැදුණා.

මේ හේතුව නිසා බොහොමයක් ආසනවල මධ්‍ය දක්ෂිනාංශික සහ අන්ත දක්ෂිනාංශික ආදී විවිධ කඳවුරුවල දක්ෂිනාංශික අපේක්ෂකයන් කිහිප දෙනකු තරග කරද්දී වාමාංශික කඳවුරේ වූයේ එක් අපේක්ෂකයකු පමණයි.


මිලන්ශොන්

ජාතික රැළිය ආසන ගණනාවක් දිනාගැනීමට කරුණු කිහිපයක් බලපෑවා. එක් අතකින් ජාතික රැළිය සිය පැරණි අන්තවාදී අදහස්වලින් ඈත්ව වඩා මධ්‍යස්ථ මුහුණුවරක් පෙන්නුම් කරන්නට සමත්ව සිටිනවා.

මෙහිදී යම් පැරණි සාමාජික පිරිසක් පක්ෂය කෙරෙහි අප්‍රසාදයට පත්වූ බව සත්‍යයක්. එරික් සෙමූර්ගේ පක්ෂය කරළියට පැමිණීමත් සමග එම කොටස් ඔහු වටා එක් වුණා. නමුත් එයින් සිදුවූයේ ජාතික රැළිය මධ්‍යස්ථ පක්ෂයක් ය යන මතය වඩාත් හොඳින් ජනගත වීමයි.


ලෙ පෙන්

අනෙක් අතට මැතිවරණයේ දෙවන වටයේදී මැක්‍රොන්ගේ පක්ෂය නූපේස් හෝ ජාතික රැළිය යන දෙපාර්ශවයම එක සේ අයහපත් බව ප්‍රකාශ කළා. මීට පෙර සිදුවූයේ අනෙක් සියළු කඳවුරුවල පිරිස් ජාතික රැළියට එරෙහිව ඡන්දය පාවිච්චි කිරීමයි.

නමුත් මැක්‍රොන් කඳවුරේ මෙම නව ප්‍රතිපත්තිය නිසා ඇතැම් ස්ථානවල ජාතික රැළියට වාසිදායක තත්ත්වයක් නිර්මාණය වුණා. දෙවන වටයේදී නූපේස් සහ ජාතික රැළිය අතර තරග සිදුවූ ආසන හැටක පමණ ප්‍රමාණයේදී මෙම තත්ත්වය විශේෂයෙන් ජාතික රැළියට වාසිදායක වුණා.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

බෙදුණු පාර්ලිමේන්තුවක්
මෙම ඡන්ද ප්‍රතිඵලය ඉතා පැහැදිලිව එක් කරුණක් පෙන්වා දෙනවා. මැක්‍රොන් 2022 ජනාධිපතිවරණය ජයගත්තේ ඔහු කෙරේ ජනතාවගේ විශේෂ ප්‍රසාදයක් පැවතීම හේතුවෙන් නොව ඊට වඩා සුදුසු අපේක්ෂකයකු නොවීම හේතුවෙන් බව ඉතා පැහැදිලියි. මාරීන් ල පෙන් හෝ මිලන්ශොන් හෝ සමග තරගයකදී මැක්‍රොන් ජයගැනීම යනු මැක්‍රොන්ගේ ජනප්‍රියත්වයේ සලකුණක් නොවෙයි. එමෙන්ම මැක්‍රොන් අපේක්ෂා කළ ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ඉතා අසීරු වන බවත් මෙහිදී පැහැදිලිව පෙනෙනවා.

මැක්‍රොන්ට පාර්ලිමේන්තු බහුතරයක් නිර්මාණය කරගතහැකි එකම ක්‍රමය නම් රිපබ්ලිකන් පක්ෂය සමග සන්ධානගත වීමයි. එසේ නොමැති නම් ඔහුට පාර්ලිමේන්තුව විසුරුවාහැර නව මැතිවරණයක් කැඳවිය හැකියි. එහෙත් එය ඉතාම අවදානම් සහගත පියවරක් විය හැකියි. ප්‍රංශ ජනතාව තමන් නැවත ජනාධිපති ධුරයට පත්කර මාස තුනක් ගතවීමටත් මත්තෙන් තමන්ව ප්‍රතික්ෂේප කළ බව ඔහු හොඳාකාරවම දන්නා කරුණක්.


Click on the Image

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.