ප්‍රංශ හමුදා මාලි රාජ්‍යයෙන් ඉවත්වෙති

February 18, 2022

ඉස්ලාමීය අන්තවාදී සංවිධානවලට එරෙහිව මෙහෙයුම්වල නිරතව සිටි ප්‍රංශය ප්‍රමුඛ රටවල් කිහිපයක හමුදා බටහිර අප්‍රිකාවේ මාලි රාජ්‍යයෙන් ඉවත් කරගන්නා බව 2022 පෙබරවාරි 17 වනදා නිල වශයෙන් නිවේදනය කෙරුණා. කෙසේ වෙතත් මෙම තත්ත්වය ටික කලක පටන් මතුවෙමින් පැවති තත්ත්වයක්. ඊට හේතු වූයේ ප්‍රංශය සහ මාලි හි හමුදා පාලනය අතර ඇතිවූ මතභේද යි.

පෙබරවාරියේදී මැතිවරණ පැවැත්වීම සඳහා මාලි හි හමුදා පාලනය මුලින් පොරොන්දු වී සිටිය ද පසුව ඔවුන් එය ඉටු නොකිරීමත් ඒ වෙනුවට 2025 තෙක් බලයේ සිටීමට තීරණය කිරීමත් හේතුවෙන් මෙම මතගැටුම් තීව්‍ර වුණා.

මාලි රාජ්‍යය තුළ බර්හානේ මෙහෙයුම යටතේ ක්‍රියාත්මක ප්‍රංශ හමුදා ද ටකූබා මෙහෙයුම යටතේ වූ යුරෝපීය හමුදාවන් ද කැනේඩියානුවන් පිරිසක් ද වුණා. මෙම පිරිස් සියල්ල ඉවත් කරගැනීමේ ඉඩක් ඇතැයි වාර්තා වනවා. ප්‍රංශ හමුදා ඉවත් කරගැනීමත් සමග අනෙකුත් හමුදා කණ්ඩායම්වලට ද එහි රැඳී සිටීමේ හැකියාව අවම වනු ඇති.

මාලි හි විදෙස් හමුදා
මාලි රාජ්‍යයේ මේ වනවිට විවිධ මෙහෙයුම්වලට අදාල විදේශීය හමුදා කණ්ඩායම් සිටිනවා. ඒ අතරින් එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා සහ පොලිස් සාමාජිකයන් 15,000 ක් ද යුරෝපා සංගම් පුහුණුවීම් කණ්ඩායමෙහි සෙබළුන් දහසක් පමණද, බර්හානේ මෙහෙයුමට අදාල ප්‍රංශ සෙබළුන් 2,500 ක් ද ටකූබා මෙහෙයුමට අදාල යුරෝපා සෙබළුන් 900 ක් පමණ ද වනවා.


මාලි රාජ්‍යය​

2014 වසරේ පමණ සිට ප්‍රංශ සෙබළුන් 5,000 ක පමණ ප්‍රමාණයක් මාලි හි රඳවා තිබුණ ද පසුව එය 2,500 දක්වා අඩු කරනු ලැබුණා. මේ අතර කලාපයේ ආරක්ෂාව සඳහා කටයුතු කරන G-5 සහෙල් ඒකාබද්ධ හමුදා බලකායෙහි කොටසක් ලෙස කලාපීය රටවල හමුදා සාමාජිකයන් ද 5,000 ක් පමණ එහි සිටින බව සඳහන්. මේ අතර රුසියානු පුද්ගලික ආරක්ෂක සමාගමක් වන වැග්නර් සමාගමේ කුලී සෙබළුන් ද දහසක් පමණ මාලි හි සිටිතැයි බටහිර රටවල් විශ්වාස කරනවා.

මාලි හි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවන්ට ශ්‍රී ලංකාවෙන් ද හමුදා කණ්ඩායම් දායක වුණා.

හමුදා පාලනය හා මතභේද
මාලි හමුදා පාලනයෙහි සැඟවුණු අවශ්‍යතා හේතුවෙන් තමන් තවදුරටත් එහි රැඳී නොසිටින බව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන් සඳහන් කළා. කෙසේ වෙතත් තම හමුදා මාලි හිදී අසාර්ථක වූයේ යයි කෙරෙන ප්‍රකාශයන් තමන් සහමුලින්ම ප්‍රතික්ෂේප කරන බව ද මැක්‍රොන් අවධාරණය කළා.


මාලි හමුදා පාලක​ අසිමි ගොයිටා

ඔහු සඳහන් කළේ බර්හානේ මෙහෙයුම ඉදිරියේදී නයිගර් රාජ්‍යය මූලස්ථානය කරගෙන ක්‍රියාත්මක වනු ඇති බවයි. තවද ප්‍රංශයේ සේබර් විශේෂ ඒකකය බුර්කිනා ෆාසෝ හි දිගටම රැඳී සිටින බව ද ඔහු පෙන්වා දුන්නා. බුර්කිනා ෆාසෝ රාජ්‍යය ද මේ වනවිට පවතින්නේ හමුදා පාලනයක් යටතේ යි.

මේ අතර ගිනි බොක්ක ආශ්‍රිත රටවල ආරක්ෂාව තහවුරු කිරීම උදෙසා දැනට ලබාදෙන සහය දිගටම පවත්වාගෙන යන්නේ යයි ද මැක්‍රොන් පවසනවා. ඔහු පෙන්වා දෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායම් තවමත් එම ප්‍රදේශයන් හි පැළපදියම් වීමේ උත්සාහයක යෙදෙන බව යි.

ත්‍රස්ත තර්ජනය
මාලි රාජ්‍යයෙහි විදෙස් හමුදා රැඳී සිටින්නේ දශකයක කාලයක් තිස්සේ පවතින දේශපාලන අස්ථාවරත්වය හමුවේ ඉස්ලාමීය අන්තවාදී කණ්ඩායම්වල තර්ජනය එරටට මෙන්ම කලාපයේ අන් රටවලට ද පැතිර තිබෙන පසුබිමකයි.

මාලි රාජ්‍යයේ වර්තමාන දේශපාලන අස්ථාවරත්වයට මාර්ගය විවර වූයේ 2011 දී ලිබියාවේ මුවම්මර් ගඩාෆි පාලනය බිඳවැටීම ඔස්සේයි. ගඩාෆි වෙනුවෙන් සටන් වැදුණ මාලි හි ටුවාරෙග් ගෝත්‍රිකයන් පිරිසක් ආපසු සියරට පැමිණි පසු කලක් තිස්සේ එරට තුළ මතුවෙමින්, යට යමින් පැවැති ටුවාරෙග් බෙදුම්වාදී ව්‍යාපාරය යළි පණගැන්වුණා.

කෙසේ වෙතත් මේ වනවිට කලාපයේ ඉස්ලාමීය ව්‍යාපාර ද වර්ධනය වෙමින් පැවතුණා. ටුවාරෙග් බෙදුම්වාදී ව්‍යාපාරය ද ඉස්ලාමීය මුහුණුවරක් ගත්තේ එම අරගලය අන්තවාදීන් විසින් පැහැරගැනීමත් සමගයි.

2012 දී එක්තරා අවස්ථාවක මෙම තර්ජනය විසින් මාලි රාජ්‍යයම ගිලගන්නා අවදානමක් මතුවුණා. ත්‍රස්ත ක්‍රියා මර්ධනය සඳහා සිවිල් පාලනය කාර්යක්ෂමව කටයුතු නොකරන්නේ යයි චෝදනා කරමින් හමුදාව බලය අල්ලාගත්තා. කෙසේ වෙතත් බටහිර අප්‍රිකානු ආර්ථික ප්‍රජාව සංවිධානයේ බලපෑම මත එවර එම හමුදා ආණ්ඩුව බලයෙන් ඉවත් වුණා.

එයින් අනතුරුව ගතවූ කාලය තුළ විදෙස් හමුදා සහය ද ඇතිව ත්‍රස්ත ව්‍යාපාරය විසින් එල්ල කෙරුණ බරපතල තර්ජනය පාලනය කරනු ලැබුණා. මාලි හි එක්සත් ජාතීන්ගේ හමුදා මෙන්ම ප්‍රංශ හමුදා සහ අනෙකුත් හමුදාවන් ද මෙහෙයුම් සිදුකරන්නට වුණා.

මාලි හමුදා
කෙසේ වෙතත් 2020 දී සහ 2021 දී සිදුවූ හමුදා කුමන්ත්‍රණ හේතුවෙන් මාලි රාජ්‍යය යළි අනාගතය පිළිබඳ අවිනිශ්චිත​ තත්ත්වයට පත්ව තිබෙනවා. පසුගිය සමයෙහි එරටට එල්ල වන ත්‍රස්ත තර්ජනයන් ද ඉහළ ගියා. බටහිර අප්‍රිකානු කලාපයම මේ වනවිට ඉස්ලාමීය අන්තවාදීන්ගේ ප්‍රධාන ඉලක්කයක් බවට පත්ව තිබෙනවා. කලාපයේ තිබෙන දුර්වල ආණ්ඩු හේතුවෙන් ත්‍රස්තයින්ට සමස්ථ කලාපයේම කටයුතු කිරීම පහසු වී තිබෙනවා.

මාලි රාජ්‍යයෙන් ප්‍රංශ හමුදා ඉවත්වීම තාවකාලිකව මෙම ත්‍රස්ත තර්ජනය වැඩි වීමට හේතු වේ යයි අපේක්ෂා කළ හැකියි. නමුත් එමගින් මාලි රාජ්‍යය යළි කඩාවැටීමේ අවදානමක් මතුවේද යන්න අනාගතයේදී විමසා බැලිය යුතු කරුණක්. හිටපු යටත් විජිත ස්වාමියා වූ ප්‍රංශය සිය රටවල කටයුතුවලට ඇඟිලිගැසීම පිළිබඳ ඇතැම් අප්‍රිකානු රටවල් සිටින්නේ නොකැමැත්තෙන්. එහෙයින් අනාගතයේදී වෙනත් රටවල් සමග එම කලාපීය රාජ්‍යයන් සබඳතා වර්ධනය කරගැනීමේ අවකාශයක් පවතිනවා.

වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.