මිත්‍රත්වය

“අපේ හාමුදුරුවනේ, මම මේක හාමුදුරුවන්ට කොහොම කියන්නද මන්දා…“ ඔහු පැකිලෙමින් කථා කළේය. ?

“මම දොස් කියයි කියලා පැකිලෙන්න එපා. උපදේශකයෙක් හැටියට, ඕනෑම මිනිස් ක්‍රියාකාරකමක් මධ්‍යස්ථව දකින්න මම හුරුවෙලා ඉන්නේ…“

“මේකයි ගැටලුව… මට බරපතල පවකට හවුල් වෙන්න වෙලා තියෙනවා. මම ඒකට හවුල් නොවුනොත් ස්කෝල කාලේ පටන් මම දන්නා මගේ හොදම යාලුවාව මට නැතිවෙනවා…“ ඔහු ශෝකී ස්වරයෙන් කීවේය…?

“ඔය විදිහට කීවාට මට තේරෙන්නෑ… සිද්ධිය, කිසිම දෙයක් නොදන්නා කෙනෙකුට විස්තර කරන විදිහට, මටත් මුල ඉදලාම කියන්න…, ඔයාට මාව විශ්වාස කරන්න පුළුවන් මලයො…, ඒ වාගේම පව් ද පිං ද කියන එකට වඩා, මට වැදගත් ඔයා දැන් ඉන්න මානසික තත්ත්වය. ඒ නිසා බය වෙන්න පැකිලෙන්න දෙයක් නැ… “ මම කීවෙමි.?

විනාඩියක පමණ නිහඬියාවක් ගත විය. ඔහු හුස්ම ගන්නා හඩින් දුරකථනයේ එහා කෙළවර ඔහු තවමත් රැදී සිටිනා බව මට වැටහේ.?

“අපේ හාමුදුරුවො මොකද හිතන්නේ abortion කරන එක ගැන.“ ඔහු මදක් යටපත් වූ ස්වරයෙන් ඇසුවේය. ?

“ ම්ම්ම්… හාමුදුරු නමක් විදිහට ප්‍රාණඝාතයට මට එකඟ වෙන්න බෑ. abortion එකක් කියන්නේ ‘ඝාතනයක්‘. නැත්තං මිනීමැරුමක්. නමුත් උපදේශකයෙක් හැටිය මගේ ආකල්ප, අදාළ පුද්ගලයා අනුව වෙනස් වෙනවා…“ මම කීවෙමි. ✅

“ඒ කීවේ හාමුදුරුවනේ…“ ඔහු ඇසුවේය. ?

“ ඒ කියන්නේ…, දූෂණයට ලක් වෙච්චි තැනැත්තියකට, බාලවයස් කාරියකට සහ දරුවෙක් හදාගන්න තරම් සුදුසු වටපිටාවක් නැති තැනැත්තියකට abortion කරන එක පවක් ද පිනක් ද කියන එක කෙසේවෙතත්, කරන්න එපා කියන්න මට අයිතියක් නෑනේ…“ මම කීවේමි.?

@elearninglk

“හාමුදුරුවනේ… ‘සුදුසු වටපිටාක් නැති‘ නැති කෙනෙක් කීවේ මොනවාගේ අයට ද?“… මගේ උත්තරයෙන් ඔහු තරමක් උද්යෝගයෙන් විමසයි.?

“විවාහ නොවුන කෙනෙක්ට මට කියන්න බෑනේ, ඕක පවක්, ඕක කරන්න එපා කියලා… මොකද, අවිවාහකව ඉදගෙන දරුවෙක් හදන්න තරම් සුදුසු වටපිටාවක් ලොකේ කොහේවත් නෑනේ. අන්තිමට ඒ දැරිවිට දරු ප්‍රසූතියට කලින් සමාජයෙන් අහන එව්වාට උත්තර දීලාම සියදිවි හානිකරගන්න සිද්ධවෙයි. ඒකයි මම කීවේ situation එක අනුව මගේ අදහස මට වෙනස් කරගන්න වෙනවා මට.“?

“එහෙමයි…“ abortion ගැන මගේ ලිහිල් අදහස් දැක්වීම ඔහුට ප්‍රබෝධයක් ඇති කර ඇති සේයාවක් පෙනේ…☺️

“අනික මලයො… අපි මොන තර්ක විතරක් දැම්මත් පව් පිං ගැන… අදාල situation එකට මුහුණ දීපු ගෑනු කෙනෙක්නේ ඒකෙන් පිච්චෙන්නේ… ඒකේ වේදනාව දන්නේ, මේක පව් කියලා දැනෙන තරමටමත්, තවත් පිච්චේන්නේ ඒ ගෑනු කෙනාමයි…“ මම කීවෙමි.?

“එහෙමයි…“ ඔහුගේ ස්වරය නැවතත් වේදනාකාරීබවක් හඟවයි.?

“මට ඇත්ත කියන්න දරුවො.., ඔයාගේ සම්බන්ධයක් නිසා වෙච්චි දෙයක් ගැන ද ඔය අහන්නේ…“ මම ඇසුවෙමි…?


Click on the Image

“ඔන්න ඕක තමයි හාමුදුරුවනේ මට මෙතැන තියෙන දෙවැනි ප්‍රශ්නය…“ ඔහු කීවේය.?

“මොකද්ද… මම ඇසුවෙමි.

“මම මේ ප්‍රශ්නයට මැදිහත් වුනොත්, මම කරපු දෙයක් විදිහට තමයි කට්ටිය මුලින්ම මං දිහා බලන්නේ…“ ඔහු කීවේය…?

“හොදයි … කියන්නකො සම්පූර්ණ සිද්ධිය…“ මම කීවෙමි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

“හාමුදුරුවනේ, එයාගේ නම තිලිණි. (කල්පිත නමකි) එයයි මායි එකම ගමේ, එකම nursery, එකම දහම්පාසලේ… අපි girls college, boys college වලින් වෙනස් වුනත්, ගියපු tuition එහෙමත් එකම එව්වා. අපේ subjects එකයි. ඒත් අපි දෙන්නා හොදම හොද යාලුවො මිසක්, ආදරවන්තයො නෙවෙයි.“? “යාලුකම අපේ ගෙවල් වලිනුත් දන්නවා. ගමේ අයත් දන්නවා. නොදන්නා කෙනෙක් නැති තරම්, ඇත්තටම අපි අපේ දෙමාපියන්ට නොකියන දේවල් සහ අපේ ආදරය කරන දෙන්නාට නොකියන දේවල් කතා කරන්න හොදම හොද කල්‍යාණ මිත්‍රයො…“

“කල්‍යාණ මිත්‍රයන් වීමට ගැහැනු පිරිමි බේදයක් නෑනේ ඉතිං…“ මම කීවෙමි.☺️

“එහෙමයි… මටත් girlfriend කෙනෙක් ඉන්නවා… ඉතිං මේව්වට hospitals ගානේ බඩගාන්න වෙලා ඒකත් නැති වෙන දෙයක් මට උනොත්…“ ඔහු එක දිගට කියවාගෙන යයි.? “එයාට ඉන්නවා නැවක වැඩ කරන boyfriend කෙනෙක්… ඒ සම්බන්ධයට දැන් අවුරුදු 2ක් විතර ඇති. ගෙදරින් ඒ සම්බන්ධයට කැමැත්තක් නැ. ගෙදරින් එව්වා ඔක්කම දන්නවා. එත් Australia පදිංචි පවුලක කෙනෙක්ට තිලිණිව බන්දන්න තමයි හිතාගෙන ඉන්නේ උපාධියට පස්සේ. ඒ පැත්තෙනුත් මෙයාට කතා කරනවා. මේ සම්බන්ධය ගැන කීවොත් ගැටලුවක් එයි කියලා, ඒ යෝජනාව ගැන තිළිණි විරුද්ධවෙලා නැ. ඇත්තටම විරුද්ධ වෙන්න කියන්න පුළුවන් හේතුවක් නෑනේ. තිලිණි තවම 2nd-year හාමුදුරුවනේ.“?

“ම්ම්ම්…“ මම සාවදානව අසා සිටිමි.

“ තිලිණිගේ boy, මාසෙකට විතර කලින් ලංකාවට ඇවිල්ලා ආයේ ගියා නැවට. ආයෙත් මාස 5කට වාගේ පස්සේ තමයි එන්නේ ලංකාවට…“ කියා, ඔහු නිහඩවිය.?

“ඉතිං….“

“ඉතිං හාමුදුරුවනේ… දැන් තිලිණි pregnant කියලා කීවා ඊයේ හවස…“

“ඔහ්… ඉතිං…“???

“ඉතිං හාමුදුරුවනේ එයා abortion එකක් කරගන්න මගෙන් උදව් ඉල්ලනවා…, මම කොහොමද එහෙම දේකට උදව් කරන්නේ පව් කියලා දැන දැන…“ ඔහු ශෝකයෙන් කීවේය.? “දැන් දවස් දෙක තුනකට කලින් urine test කරන HCG එකක් ඉල්ලලා මැරෙන්න හැදුවා…, එයා පෙනුමෙන් ටිකක් පොඩියි, ඒ නිසා pharmacy ගිහිල්ලා එව්වා ඉල්ලනකොට මිනිස්සු අමුතුවට බලනවා කියලා මට තමයි ඒකත් කරන්න වුනේ. හාමුදුරුවන්ට තේරෙනවානේ මගේ තත්ත්වය.“?


Click on the Image

“ඔව් මලයො… මට තේරෙනවා…, දැන් එතකොට නැවේ පිරිමි ලමයාට මේ ගැන කියලා නැද්ද??

“මම කීවා කියන්න කියලා, මේ දෙන්නා කාලයක් ඉදලා එකට ඉන්න අය, නුපුරුදු අය නෙවෙයි. මේ පාර පරිස්සං නොවීම නිසා වෙච්ච දෙයක්ලු. කලිනුත් තිළිණිට සම්බන්ධකමක් තිබ්බා… ඒ වාගේම මෙයාට ගෙදරින් තියෙන බලපෑම නිසා උපාධිය ඉවරවෙනකොට සම්බන්ධය නතර කරන්න තමයි දෙන්නා කතා කරගෙන ඉන්නේ. ඉතිං එහෙම තත්ත්වයක් යටතේ මේක කියන්න බෑ කියලා කියන්නේ…“?

“ඇත්තටම හාමුදුරුවනේ කලින් හිටපු boyfriendට වඩා, මේ පිරිමි ලමයා හොදයි, තිලිණිත් ගොඩක් කැමැති. එත් තිලිණිගේ ඉගැනීමත් එක්ක, හදිසි තීරණයක් ගන්නවත් විදිහක් නැ. අනික මෙහෙම දෙයක් කියලා, එයාගේ හිතත් කළබල කරලා ආයේ හදිස්සියේ ලංකාවට ගෙන්නගෙන කලබලයක් කරන්න බෑලු.?

“අම්මලාට කියන්න කොහොමත් බෑ, ඉතිං හාමුදුරුවනේ සියලු දුක අහන්නේ මම… ඒ මදිවට දැන් මෙහෙම දේකටත් හවුල් වෙන්න වෙලා…“

“ම්ම්ම්… හරිම සංකීර්ණ ගැටලුවක්… කොහෙන් බැලුවත් සෑහෙන හිරවීමක් තියෙනවා… කොයි උත්තරය දුන්නත් එතැන තවත් ප්‍රශ්නයක් එනවා. පව් පිං ගැන කෙසේ වෙතත් මට ඔයාට කියන්න තියෙන්නේ මෙහෙම දෙයක්…? අම්මට තාත්තට පෙම්වතාට නොකියන දෙයක් ඔයාට කියන්නේ… හේතුව ඔයාව හොදම යාලුවා හැටියට දකින නිසා. කල්‍යාණ මිත්‍රයා කියන්නේ දුක-සැප කියන දෙකටම ඉන්නා අයට. මේ වෙලාවේ ඇය මුහුණපාලා ඉන්නේ මේ ලෝකයේ කාන්තාවක් මුහුණපාන අතිශය බරපතල ගැටලුවට. ?

ඒ කියන්නේ ඔයාව ගොඩාක්ම අවශ්‍යම වෙලාව… මම කියන්න තියෙන දේවල් ටික ඔයාට කීවා. ප්‍රශ්නයට කරන්න දේවල් එක්ක, ඊළගට එන ප්‍රශ්නවලට ඔයා ගැහැණියක් විදිහට හිතලා ඇයට උදව් කරන්න වෙයි. පිරිමියෙක් විදිහට හිතුවට හරියන්නෑ.? මම දන්නෑ ඔයා ගන්නා තීරණය මොකද්ද කියලා. ඇයව හම්බෙලා කතා කරන්න. ගැටලුවට තියෙන සෑම උත්තරයක් ගැනම බලන්න. ඊට පස්සේ ඇයට මුහුණ දෙන්න වෙන තත්ත්වය ගැන සානුකම්පිතව බලන්න. බලලා හානිය අවම තීරණය ගන්න.“?

“එහෙමයි…“?

“නමුත් හොදට මතක තියාගන්න… ඇය තමන්ගේ පෙම්වතාට වඩා කුඩා කල පටන් දන්නා යාලුවාවාව විශ්වාස කරන බව, දෙමාපියන්ට වඩා, දෙමාපියන්ට පසුව හඳුනාගත් කල්‍යාණ මිත්‍රත්වය විශ්වාස කරන බව…“

ඔහු මදක් නිහඩව සිට, “එහෙමයි, අවසරයි හාමුදුරුවනේ. ඔබවහන්සේට ගොඩක් පිං. තෙරුවන් සරණයි… කීවේය.?

“තෙරුවන් සරණයි!“



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

සටහන
? “තීහි භික්‍ඛවේ අඩ්ගෙහි සමන්නාගතො මිත්තො සෙවිතබ්බො” – මහණෙනි, කාරණා තුනකින් යුතු මිතුරන් ඇසුරු කළ යුතු වේ. එනම්,
1. දුද්දදං දදාති – දෙන්න බැරි දේවල් දෙන්නා
2. දුක්කරං කරොති – කළ නොහැකි දේවල් කරන්නා
3. දුක්ඛමං ඛමති – ඉවසන්න බැරි දේවල් ඉවසන්නා

? නම්ගම් සියල්ල මන:කල්පිතය. සත්‍ය කතා කිහිපයක් පදනම් කර ගත්, උපදේශනාත්මක අවශ්‍යතාවය පිණිස, අනන්‍යතාවය හඳුනා ගත නොහැකි සේ, නිර්මාණය කරන ලද කල්පිතයක් බව කරුණාවෙන් සලකන්න.

කොළඹ සහ කැළණිය විශ්වවිද්‍යාලයන්හි සහාය කථිකාචාර්යවරයෙක් ලෙස කටයුතු කළ පූජ්‍ය හෙරලියාවල රතනතිස්ස හිමියන් මේ වන විට තායිලන්තයේ ධම්මකාය බෞද්ධ විශ්වවිද්‍යාලයේ ධම්මකාය (DCI) ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ පර්යේෂණ සහකාරවරයෙක් ලෙස කටයුතු කරමින් සිටියි. උන්වහන්සේ eLearning.lk බ්ලොග් අඩවිය සඳහා මිනිස් මනස සහ මනෝ උපදේශන සේවාවන් සම්බන්ධව ලිපි සම්පාදනය කරනු ලබයි.