ගණ්ඩතින්දු ජාතකය : සියලු විපත් වලට හේතුව දේශපාලනය බව
අතීතයේ කම්පිල්ල නම් රටේ පංචාල නම් රජු ධර්මයේ පිහිටා යුක්තිසහගතව රට පාලනය කළේ නැහැ. ඔහු අයුක්තිසහගතව සහ අධර්මිෂ්ඨව රට පාලනය කළේය. අප මහා බෝධිසත්වයන්වහන්සේ මේ කාලයේදී රුක් දෙවියෙක් ලෙස ඉපදී සිටියේය. එතුමාට මේ රජුගේ දුර්වල අධාර්මික පාලනයේ ආදීනව පෙන්වා දීමට සිත් විය.
දිනක් දේවතාවා රාත්‍රියේ සිහිනයෙන් මෙන් රජුට කතාකර රටේ ජනතාව ඔබතුමා ගැන කෙබඳු ආකල්පයක් දරන්නේ දැයි පරීක්ෂා කර බලන ලෙස උපදෙස් දුන්නේය. මේ උපදෙස ක්‍රියාත්මක කරන්නට සිතූ රජතුමා තම පුරෝහිත (ප්‍රධාන උපදේශක) සමඟ අප්‍රසිද්ධ වේශයෙන් පසල් දනව්වකට එනම් රාජධානියේ ගමකට ගියේය.
මෙසේ රජු සහ පුරෝහිත ටික දුරක් යද්දී වලක වැටී අතපය බිඳී විලාප නගමින් රජුට සාප කරන මැහැල්ලක් මුණගැසුණා. දුබල වූ නුඹ නුඹේම වරදින් නොසැලකිල්ලෙන් ගමන්ගත් නිසා වලක වැටී මෙසේ අසාධාරණ ලෙස රජුට සාප කරන්නේ ඇයි දැයි ඔවුන් මැහැල්ලගෙන් විමසුවා. එවිට ඇය තමාගේ වයසට ඔරොත්තු නොදෙන මහා බරක් තමා වෙත පැටවී තිබෙන බව මැසිවිලි නඟමින් මෙසේ පෙන්වා දුන්නා.
“දීග දෙන වයසේ දූලා දෙන්නෙක් මට ඉන්නවා. ඔවුන් දීග ගෙනියන්න කිසිවෙක් එන්නේ නැහැ. ඉතින් උන් දෙන්නා පෝෂණය කරන්න වෙලා තියෙන්නේ මට. කැළේට ගොස් දර ටිකක් හරි, පලා ටිකක් හරි කඩා ගෙනැවිත් ඒවා විකුණලා, දුෂ්කර ජීවිතයක් ගත කරන්නයි මට වෙලා තියෙන්නේ. තමන්ටවත් තනියම ජීවත් වෙන්න බැරි කාලෙක දීග කන්න පිරිමි සූදානම් නැහැ. මගේ දියණිවරු දෙන්නා ගෙදරට නාකි වෙන්නේ ඒ නිසයි. මේ අධාර්මික පාලනය නිසා රට මේ තත්වයට වැටී ඇති බව මැහැල්ල කෙඳිරිගාමින් පැහැදිලි කළා. මැහැල්ලගේ සාපය සාධාරණ බව දෙදෙනාම වටහා ගත්තා.
වෙස්වලාගත් රජුට සහ පුරෝහිතයාට මීළඟට හමුවුණේ කටුවක් කකුලේ ඇනී කකුල අල්ලාගෙන රජුට ශාප කරන මහළු මිනිසෙකි. අපොයි මගේ කකුල, මේ පංචාලයා හීයක් ඇනිලා මැරියන්. දුෂ්ඨ රජාට මීට වඩා සියගුණයක් වේදනාවක් දැනියං.. කියා ඔහුට ශාප කරමින් ඉන්නවා. රජුටත් පුරෝහිතටත් මේක පුදුමයක්. වෙස්වලාගත් පුරෝහිත මේ මහල්ලාගෙන් අහනවා, ඇයි නාකියෝ උඹට පිස්සුද ? අහිංසක රජ්ජුරුවන්ට බනින්නේ? මේ කටු පාරට ගෙනත් දැම්මේ රජ්ජුරුවන්ද?
එවිට මහල්ලා මෙසේ පැහැදිලි කළේය. මේ දුෂ්ඨ පංචාල රජුගේ අධාර්මික පාලනය හේතුවෙන් රටේ හොර හතුරෝ වැඩිවෙලා. දවල් කාලයේ උගේ රාජ භටයෝ අපේ ඔළුව කනවා. ඒ මදිවට රාත්‍රියේ හොරු අපේ ඔළුව කනවා. උන්ගෙන් බේරෙන්න ගෙවල් වටේ කටු අකුල් දාගෙනයි අපි ඉන්නේ. තමුන්නාන්සේට කියන්න එයින් කටුවක් තමයි මගේ කකුලේ ඇනුනේ. මෙය ඇසූ රජුත් පුරෝහිතත් මහල්ලාගේ ශාපය සාධාරණ බව වටහා ගත්හ.
මෙසේ ටික දුරක් ඇවිදගෙන යනවිට දහවල් ඉර හැරී හෝරාවක් පමණ ගෙවී තිබුණි. මීළඟට ඔවුන්ට කුඹුරක් දෙසින් “පංචාලයා නැසියන්.. ඕකා යුද්ධයකදී වත් කඩු ගෑවිලා නැසියන්!” යැයි කියමින් ගොවියෙක් හිසෙහි අත් දෙක තබාගෙන රජතුමාට ශාප කරනවා දක්නට ලැබුණි. ඔහුගේ සීසාන සාලි නම් ගොනා කුඹුරේ වැටී දඟලනවා. උගේ කකුලක් සීසාන නගුල් තලයට කැපී ලේ ගලනවා. අප්‍රසිද්ධ වේශයෙන් සිටි රජු සහ පුරෝහිත ඔහුගෙන් මෙසේ ඇහුවා.
තමන්ගේ නොසැලකිල්ලෙන් නේද ගොනා තුවාල වුණේ? එහෙම තියෙද්දී රජතුමාට සාප කරන්නේ ඇයි? එවිට ගොවියා මේ දෙදෙනාට මෙසේ පැහැදිලි කළා. මම උදේ ඉඳන් මේ ගොනාගෙන් වැඩ ගන්නවා. දවල් මගේ බිරිඳ මට කෑම ගෙන එන විට රාජ භටයෝ ඒවා බලෙන් උදුරාගෙන කාලා. ඇය ඒ නිසා ආපසු ගෙදර ගියා කෑම ටිකක් උයාගෙන එන්න. මම නිරපරාදේ රජ්ජුරුවන්ට බැන බැන කේන්තියෙන් මගේ සාලි නම් ගොනාට පහර දුන්නා. මගේ බිරිඳ එන මග බලමින් සීසාන විට මේ ගොනා හෙම්බත් වෙලා මඩේ වැටිලා. මම ඒක දැක්කේ නැහැ. මේ හී තලයට ඌ කැපුණේ මගේ වරදින්. ඒ වුණාට මේ දුෂ්ඨ පංචාල රජු ඒකට වග කියන්න ඕන. ඌ නිසා තමයි මේ සියලු විපත් එක පිට එක එන්නේ. මෙය ඇසූ රජුත් පුරෝහිතත්, ඒ කතාවත් සාධාරණ බව වටහා ගත්හ.
මීළඟට ඔවුන් දෙදෙනාට දකින්නට ලැබුණේ කුලප්පු වී කඹය කඩාගෙන කැළෑ වදින කුළු දෙනකි. කිරි හට්ටියත් බිඳී කිරි ටික විසිරී තිබුණි. ගොපල්ලෙක් ඇසක් තුවාල කරගෙන මෙසේ කියමින් රජුට ශාප කරමින් සිටියේය. ” කුරිරු පංචාලයාගේ ඔළුව කිරි මුට්ටිය බිඳුනා වගේ කුඩුවෙයන්!”
මෙතරම් දරුණු ලෙස රජුට සාප කිරීමට හේතුව ගොපල්ලාගෙන් විමසූ විට ඔහු ඊට මෙසේ පිළිතුරු දුන්නේය.
“මේ පංචාල රජුගේ මැති ඇමැත්තාගේ පටන් පහළම නිලධාරියා දක්වා එකවගේ ජනතාව පීඩාවට පත් කරනවා. උන්ට කොච්චර කිරි දොවා දුන්නත් මදි. අපේ වැස්සියන්ගේ කිරි ප්‍රමාණවත් නැති නිසා කැළෑවෙන් කුළු ගවයන් අල්ලාගෙන කිරි දොවන්න අපට සිදුවෙලා. උන්ගෙන් කිරි දොවන එක ලේසි නැහැ. ඉල්ලන තරම් කිරි නොදුන්නොත් අපට නොයෙක් අයුරින් හිරිහැර කරනවා. මේ කුළු දෙනගෙන් මගේ ඇහැ තුවාල වුණෙත් මේ කුරිරු පාලකයොත් උගේ හෙන්චයියොත් නිසා තමයි. ඔහු ඇහැ අල්ලාගෙන තවමත් රජුට ශාප කරනවා. තම පාලනයේ වරදින් මේ අපරාධයත් සිදුවූ බව රජු වටහාගත්තා.
එතැනින් නික්මුණු ඔවුන් දෙදෙනාට දකින්නටත් අහන්නටත් ලැබුණේ ගම්වැසියන් රජුට කරන සාපයයි. මහ වැස්සියෙක් ගම දෙවනත් වෙන්න විලාප තබනවා. බලා ඉන්න බැරි වැස්සිය අයිති පවුලේ අයත් ගමේ කොල්ලන් කුරුට්ටන් සියලු දෙනාත් කුරිරු පංචාල රජ්ජුරුවන් හා ඔහුගේ මුළු පවුලම විනාශ වේවායි සාප කරනවා. ඇයි මේ අය රජුට සාප කරන්නේ ? කියා මේ දෙදෙනා කෙනෙකුගෙන් ඇසූ විට ඔවුන් මෙසේ පැහැදිලි කළා.
“මේ වැස්සියගේ පැටියා රාජපුරුෂයන් විසින් රැගෙන ගිහින් මරාගෙන කාලා. ඒ යක්කු පැටියාගේ හමත් කඩු කොපු හදාගන්න ගෙනිහිල්ලා. පැටියා නැති ශෝකයෙන් නඟන මේ විලාපය අහගෙන ඉන්න බැරිව ගමේ මිනිස්සු රජ්ජුරුවන්ට සාප කරනවා.” රජු මෙය අසා මෙයටත් තමා වගකිවයුතු බව තේරුම් ගත්තා.
එතැනින් ඉවත් වී ටික දුරක් යනවිට ජලය සිඳුණු දිය කඩිත්තක ගෙම්බන් දෙදෙනෙක් “ඕකා මැරියන්! ඕකා මැරියන්!” කියමින් රජුට සාප කරනවා.
“ගෙම්බනේ නුඹලා මේ විදියට රජුට සාප කරන්නේ ඇයි?”
එයට ගෙම්බන් මෙසේ පැහැදිලි කිරීමක් කළහ. “මේ අධාර්මික පාලකයාගේ හෙංචයියන්, හිතු මනාපේ මහා පරිමානයෙන්, නිස්කාරණයේ වනාන්තර විනාශ කරනවා. දර ටික පටවනවා. සතුන් මරා දමනවා. මේ නිසා දැන් නිසි කලට වැසි වසින්නේ නැහැ. පරිසරය දරාගන්න බැරි විදියට රස්නෙයි. වගාවන් පාලු වෙලා. සාගතය පැතිරිලා. කපුටන්ට කන්නට යමක් සොයාගන්නට බැරිම තැන කපුටන් වියළි දිය කඩිතිවල ඉන්න අපිව අල්ලා ගිල දමනවා. මේ රජාගෙ අධාර්මික පාලනය නිසයි මේ ඔක්කොම කරදර.
රජුටත් පුරෝහිතටත් හොඳටම තේරුණා රටේ සියලුම ලොකු කුඩා විපත්වලට පාලකයා සම්පූර්ණයෙන් වගකිව යුතු බව.
රටක් පාලනය කරන පාලකයා ධාර්මිකව කටයුතු කොට, ඉහළ සිට පහළට පැතිරෙන ආදර්ශයෙන් ජනතාවට නායකත්වය දිය යුතු බව මේ කතාවෙන් පෙනෙනවා. එමෙන්ම පාලකයා මනා සැලැස්මක් ක්‍රියාවට නංවා, මනා සුභසාධන වැඩපිළිවෙළක් ඔස්සේ ජනතාවගේ ජීවන බර අඩු කොට, රටේ ආර්ථිකය නංවාලිය යුතු බවත් මේ කතාවෙන් පෙනෙනවා.
තවද පාලකයා පරිසරය ආරක්ෂා කළ යුතු බවත්, දුරාචාරය පිටු දැක, සදාචාරය ඔස්සේ සෞභාග්‍යය ළඟා කරගත යුතු බවත් මින් කියැවෙනවා.
eLearning.lk නිවේදනය
මෙම පල කිරීමේ සඳහන් වන කිසිවක් eLearning.lk අප ආයතනයේ අදහස් නොවන බව කරුණාවෙන් සළකන්න.