බ්‍රිතාන්‍යයේ සාමි මණ්ඩලය අහෝසියි?

December 25, 2022

බ්‍රිතාන්‍යයේ අනාගතය පිළිබඳ එරට කම්කරු පක්ෂය විසින් පත්කරන ලද ගෝර්ඩන් බ්‍රවුන් කොමිසමෙහි වාර්තාව මෑතකදී එළිදැක්වුණා. “නව බ්‍රිතාන්‍යයක්: අපගේ ප්‍රජාතන්ත්‍රවාදය නවීකරණය කිරීම සහ ආර්ථිකය යළි ගොඩනැගීම​” යන මැයෙන් පළ කරන ලද මෙම වාර්තාව මගින් ඉදිරිපත් කෙරුණ යෝජනා අතර එරට සාමි මණ්ඩලය අහෝසි කිරීමේ යෝජනාව කෙරෙහි විශේෂ අවධානයක් යොමුවුණා.

බ්‍රිතාන්‍යයේ පාර්ලිමේන්තුවේ ඉහළ මන්ත්‍රී මණ්ඩලය වන සාමි මණ්ඩලයෙහි මූලික කාර් යයක් වන්නේ එරට පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය විසින් සම්මත කෙරෙන පනත් කෙටුම්පත් සුපරික්ෂාවට ලක් කිරීම සහ අවශ්‍ය සංශෝධන යෝජනා කිරීමයි. අතීතයේදී පනත් කෙටුම්පත් සම්මත වීම වැළැක්වීමට ද ඊට හැකියාව තිබුණද 1911 පාර්ලිමේන්තු පනත සහ 1949 පාර්ලිමේන්තු පනත මගින් ඊට ඇති අවකාශයන් බොහෝකොටම සීමා කෙරුණා.


Click on the Image

කෙසේ වෙතත් සාමි මන්ත්‍රී මණ්ඩලය තුළ විවිධ ක්ෂේත්‍රයන් හි විශේෂඥ දැනුමක් ඇති සාමාජිකයන් වන බැවින් එහි ස්ථාවර කමිටුවලින් පනත් කෙටුම්පත් පිළිබඳ කෙරෙන විශ්ලේෂණයන් කෙරෙහි යම් වැදගත්කමක් ජනිත වනවා. පහළ මන්ත්‍රී මණ්ඩලය මෙන් නොව සාමිවරුන් ජනතා ඡන්දයෙන් පත් නොවන බැවින් ඔවුන්ට සිය කටයුතුවලදී මහජන මතයට නැමීමේ අවශ්‍යතාවයක් නොමැති වීම ඇතැම් අවස්ථාවලදී වැදගත් වාසියක් ලෙස ද සැලකීමට හැකියාවක් තිබෙනවා.

සාමි මණ්ඩලය කෙරෙහි වන විවේචන
කෙසේ වෙතත්, මහජන ඡන්දයෙන් පත් නොකිරීමේ කරුණ මත ම සාමි මණ්ඩලය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආයතනයක් වන්නේයැ යි වන චෝදනාව අලුත් චෝදනාවක් ද නොවෙයි. මෙම ප්‍රකට චෝදනාවෙන් පරිබාහිරව​ ගෝර්ඩන් බ්‍රවුන් කොමිසම විසින් සාමි මණ්ඩලය පිළිබඳ ප්‍රධාන චෝදනා තුනක් ගෙනහැර දක්වනවා.

පළමු චෝදනාව නම් සාමි මණ්ඩලය යනු මධ්‍යතන යුගයේ යල්පැනගිය ක්‍රමවේදයන් හි ඉතිරි වූ ශේෂයක් බවයි. සාමි මණ්ඩලයට පාරම්පරික උරුමයෙන් පත්වන සාමිවරුන් 92 දෙනා පිළිබඳ සඳහන් කරමින් බ්‍රවුන් කොමිෂන් වාර්තාව මේ බව පෙන්වා දෙනවා.

කෙසේ වෙතත්, ආගමික තනතුරු හේතුවෙන් සාමි මණ්ඩලයට පත්වන බිෂොප්වරුන් (උපරිමය 26 ක්) පිළිබඳ බ්‍රවුන් කොමිෂම මෙම චෝදනාව ඉදිරිපත් කරන්නේ නැහැ.


ගෝර්ඩන් බ්‍රවුන්

ගෝර්ඩන් බ්‍රවුන් කොමිසන් වාර්තාව සඳහන් කරන පරිදි සාමි මණ්ඩලය පිළිබඳ ඊළඟ සහ වඩා බරපතල චෝදනාව වන්නේ එහි සාමාජිකත්වය පිළිබඳ සීමාවක් නොමැති වීම සහ ඊට මන්ත්‍රීන් පත්කෙරෙන ආකාරයයි. වර්තමානයේ ලෝකයේ පවතින සියළුම ජාතික මට්ටමේ ව්‍යවස්ථාදායක මන්ත්‍රණ සභා අතුරින් දෙවැනි විශාලම මන්ත්‍රණ සභාව සාමි මණ්ඩලය බව මෙම වාර්තාවෙන් පෙන්වා දෙනවා.

ඊට වඩා විශාල මන්ත්‍රණ සභාව වන්නේ චීනයේ ජාතික මහජන කොන්ග්‍රසය යි. එහි සාමාජිකයන් 2,500 ක් වන අතර සාමි මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව අද වනවිට 786 ක්. තවද​, මන්ත්‍රණ සභා දෙකක් සහිත පාර්ලිමේන්තුවක් ඇති රටවල් අතුරින් පහළ මන්ත්‍රී මණ්ඩලයට වඩා ඉහළ මන්ත්‍රී මණ්ඩලයේ සාමාජික සංඛ්‍යාව විශාල වන එකම රට බ්‍රිතාන්‍යය යි.

@elearninglk

සාමි මණ්ඩලයට පරම්පරාවෙන් සහ ආගමික තනතුරු හේතුවෙන් පත්වන මන්ත්‍රීවරුන් හැරුණු කළ​, නව සාමාජිකයන් පත්කළ හැක්කේ අගමැතිවරයාටයි. මෙම සාමාජිකයන් ජීවිතාන්තය තෙක් සාමාජිකත්වය දරන සාමිවරුන් බවට පත්වනවා. අගමැතිවරයකු ඉල්ලා අස්වූ පසු හෝ පාර්ලිමේන්තුව විසුරුවා හැරිය පසු එවක සිටින අගමැතිවරයාට නව සාමිවරුන් පත්කිරීමේ අවස්ථාව ලැබෙනවා.

ගෝර්ඩන් බ්‍රවුන් කොමිසම චෝදනා කරන්නේ පසුගිය දශකය තුළ කොන්සර්වේටිව් අගමැතිවරුන් විසින් තම පක්ෂයට ආධාර කළ පුද්ගලයන්ව එම හේතුව නිසාම සාමිවරුන් ලෙස පත්කළ බවයි. “ඔබේ පවුම් මිලියන තුන ගෙව්වාම සාමිවරයෙක් ලෙස පත්වීම් ලබන්න පුළුවනි” යයි කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු සභාපතිවරයකු සන්ඩේ ටයිම්ස් පුවත්පත සමග ඍජුවම සඳහන් කළේ යැයි බ්‍රවුන් කොමිසම මතක් කර සිටිනවා. ඇත්ත වශයෙන්ම පක්ෂය වෙත ආධාර කරන්නන් සාමිවරුන් ලෙස පත්කිරීමේ චෝදනාව​ කම්කරු පක්ෂයේ ටෝනි බ්ලෙයාර් වෙත ද අතීතයේ එල්ල වූවක්.


Click on the Image

බ්‍රවුන් කොමිසම ඉදිරිපත් කරන තුන්වන චෝදනාව වන්නේ සාමි මණ්ඩලය විසින් බ්‍රිතාන්‍ය ජනතාව නිසි පරිදි නියෝජනය නොකෙරෙන බවයි. සාමිවරුන් වැඩිදෙනෙක් ලන්ඩනය ඇතුළු ගිණිකොණදිග එංගලන්තයෙහි පදිංචි පුද්ගලයන් බවත් පාක්ෂිකත්වය සැලකූ විට කම්කරු (ලේබර්) සහ ලිබරල් ඩිමොක්‍රටික් (ලිබ් ඩෙම්) සාමාජිකයන් එකතු කළ ද කොන්සර්වේටිව් පාක්ෂික සාමිවරුන් සංඛ්‍යාව ඊට වැඩි බවත් බ්‍රවුන් කොමිසම පෙන්වා දෙනවා.

මෙම කරුණු හේතුවෙන් සාමි මණ් ඩලය කෙරෙහි ජනතාවගේ විශ්වාසය බිඳවැටී ඇති බවත් සියයට 71 ක් දෙනා එහි ප්‍රතිසංස්කරණ සිදුවීම අත්‍යවශ්‍ය බව ප්‍රකාශ කරන බවත් බ්‍රවුන් කොමිසම පවසනවා.

නව මන්ත්‍රී මණ්ඩලයක්
මේ අනුව ගෝර්ඩන් බ්‍රවුන් කොමිසම විසින් බ්‍රිතාන්‍යයට නව උත්තර මන්ත්‍රී මණ්ඩලයක් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. ඔවුන් පවසන්නේ මෙම මන්ත්‍රණ සභාව සාමාජිකයන් 200 දෙනකුගෙන් පමණ සමන්විත මහජන ඡන්දයෙන් පත්වන සභාවක් වියයුතු බවයි. එය ජාතීන්ගේ සහ ප්‍රදේශයන්ගේ සභාව (Assembly of Nations and Regions) ලෙස හඳුන්වාදීමට ද යෝජනා කෙරෙන අතර පළාත් මට්ටමකින් එහි සාමාජිකයන් තෝරාගැනීම සුදුසු බව ද යෝජනා කෙරෙනවා. එමගින් භූගෝලීයව සහ ජනගහනය අනුව වඩා සමතුලිත ලෙස නියෝජනයන් සකස් වන මන්ත්‍රණ සභාවක් අපේක්ෂා කෙරෙනවා. මේ අනුව​, නිශ්චිතව ප්‍රකාශ නොකළ ද කිසියම් සමානුපාතික ක්‍රමයක් අන්තර්ගත මැතිවරණ ක්‍රමයක් යෝජනා කෙරෙන බව පෙනී යනවා. දැනට බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය තෝරාගැනෙන්නේ කේවල ක්‍රමය අනුවයි.


ලේබර් නායක කියර් ස්ටාමර්

මෙම නව මන්ත්‍රණ සභාව පහළ මන්ත්‍රී මණ්ඩලයට වඩා ප්‍රමුඛ වීමක් බලාපොරොත්තු නොවන අතර නිශ්චිතව සඳහන් කළ යුතු කරුණු කිහිපයක් අරභයා හැරුණු විට​, අන් කරුණු පිළිබඳ වන පනත් කෙටුම්පත් අවහිර කිරීමට ඊට බලයක් ලැබෙන්නේ නැහැ.

කෙසේ වෙතත් පහළ මන්ත්‍රී මණ්ඩලය සහ ඉහළ මන්ත්‍රී මණ්ඩලය අතර බලය බෙදෙන ආකාරය නිශ්චිතව නීතිගත කළ යුතු බව ද බ්‍රවුන් කොමිසම පවසා සිටිනවා. එමෙන්ම ආණ්ඩුවක් පිහිටුවීම​, රාජ්‍ය මුදල් පරිපාලනය ආදිය දැනට කෙරෙන පරිදිම පහළ මන්ත්‍රණ සභාව විසින්ම සිදුකෙරෙනු ඇති. කෙසේ වෙතත් නව ඉහළ මන්ත්‍රී මණ්ඩලයෙහි සාමාජිකයන්ට අමාත්‍යධුර දැරීමේ අවකාශය තිබිය යුතු බව ද බ්‍රවුන් කොමිසම යෝජනා කරනවා.

අලුත් මන්ත්‍රණ සභාවක් ළඟදී එයිද​?
ලේබර් පක්ෂ නායක සර් කියර් ස්ටාමර් පවසා සිටින්නේ මෙම නව මන්ත්‍රණ සභාව පිහිටුවීමේ කටයුත්ත සිය ආණ්ඩුවක පළමු ධුර කාලය තුළ සිදුකිරීමට බලාපොරොත්තු වන බවයි.

ඒ අනුව​, මීළඟ මහමැතිවරණයේදී ලේබර් පක්ෂය බලයට පත්වුවහොත් 2030 වනවිට සාමි මණ්ඩලය අහෝසි කිරීම සිදුවීමේ ඉඩක් පවතිනවා.


1910 ලේබර් පක්ෂ ප්‍රතිපත්ති මාලාවේ සාමි මණ්ඩලය අහෝසි කිරීමේ යෝජනාව​ ප්‍රමුඛ වුණා

කෙසේ වෙතත් සාමි මණ්ඩලය අහෝසි කර නව මන්ත්‍රණ සභාවක් හඳුන්වාදීම පිළිබඳ නෛතික පියවර කෙසේ සිදුවේද යන්න තවම නිශ්චිත නැහැ. එමෙන්ම නව මන්ත්‍රණ සභාවක සංයුතිය​, එය තෝරාගන්නා ආකාරය ආදී කරුණු පිළිබඳව ද තවමත් කරුණු ඇත්තේ යෝජනා මට්ටමේ යි. එමෙන්ම​, ලේබර් යෝජනා විවේචනය කරන්නන් පවසන්නේ වර්තමානයේ බ්‍රිතාන්‍යය මුහුණදෙන ගැටළු අතර සාමි මණ්ඩලය පිළිබඳ කාරණය ප්‍රමුඛ කරගත යුතු නැති බවයි.

සත්‍ය වශයෙන්ම සාමි මණ්ඩලය ප්‍රතිසංස්කරණය කිරීම පිළිබඳ යෝජනාව ද අලුත් එකක් නොවෙයි. මීට දශකයකට පෙර ද ඒ පිළිබඳ විශාල සංවාදයක් ගොඩනැගුණා. එමෙන්ම මීට වසර 112 කට පෙර​, 1910 දී ලේබර් පක්ෂය සාමි මණ්ඩලය අහෝසි කිරීමේ යෝජනාවක් ඉදිරිපත් කර තිබෙනවා. වසර 112 ක් පැරණි ප්‍රතිඥාව ඊළඟ දශකය තුළදී ඉටු කිරීමට ලේබර් පක්ෂයට හැකිවේ යැයි තවම නිශ්චිතව පැවසිය නොහැකියි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.