විදේශ විනිමය අනුපාත තීරණය වෙන හැටි

මෙතනදි අපි USD/LKR කියන වැඩි වශයෙන්ම කතාබහට ලක්වෙන, එහෙම නැත්නම් ජාත්‍යන්තර වෙළෙදාමේදී ලංකාවට වැඩිපුරම බලපෑමක් ඇතිකරන විනිමය අනුපාතය අරගනිමු, කතාකිරීමේ පහසුවට. සරලව කිව්වොත් ඩොලර් එකක් සඳහා රුපියල් කීයක් ගෙවන්ඩ ඕනෙද කියන එක තීරණය වෙන්නෙ කොහොමද කියන එක ගැන කතා කරමු.

හරි, සාමාන්‍යයෙන් රටක විනිමය අනුපාත තීරණය වෙන්ඩ බලපාන මූලික කාරණා දෙකක් තියෙනවා. පළවෙනි එක තමා ඒ රටේ ප්‍රාග්ධන සචලතාවය (Capital Mobility). අනිත් එක තමා ඒ රටේ ශුද්ධ අපනයන (Net Exports).

අපි මුලින්ම ගනිමු ප්‍රාග්ධන සචලතාවය කියන කාරණාව. මෙතනදි කතා කරන්නෙ යම් රටක් කොච්චර දුරට ප්‍රාග්ධන හුවමාරුව (Exchange of Capital) කෙරෙහි අනුගමනය කරන ප්‍රතිපත්තිය ගැන. ඇත්තටම ප්‍රායෝගිකව බැලුවොත් මේ කියන්නෙ රටකින් පිටතට ප්‍රාග්ධනය යවන්ඩ කොච්චර පහසුද නැද්ද කියන එක ගැන. මොකද අපි පෞද්ගලිකව අත්දැකල තියෙනව වගේ තමන්ට කවුරුහරි සල්ලි දෙනවට, එහෙම නැත්නම් අනුන්ගෙ සල්ලි ගන්ඩ හැමෝම වගේ කැමතියි.

හැබැයි ඒ සල්ලි ආපහු දෙන්ඩ හුඟදෙනෙක් අකැමැතියි. ඉතිං ලෝකෙ හුඟක් රටවල් එහෙමත් ඒ වගේ තමයි, මිනිස්සු වගේම තමා ඉතිං රටවල් වුණත්. තමන්ගෙ රටට ප්‍රාග්ධනය එනවට කැමතියි. නමුත් යනවට අකැමැතියි. ඒගොල්ලන්ට ඒ සඳහා හේතු තියෙනව. ඉතිං ප්‍රාග්ධනය හුවමාරුව සම්බන්ධයෙන් මේ වගේ ප්‍රතිපත්තියක් අනුගමනය කරන රටවල්වලට අපි කියනව දුර්වල ප්‍රාග්ධන සචලතාවයක් සහිත රටවල් කියලා (Countries with Weaker Capital Mobility).

අනිත් කාරණාව ඇවිල්ල ශුද්ධ අපනයන කියන එක. මේ කියන්නෙ යම් රටක ආනයන වල අගය අපනයන වල අගයෙන් අඩු කලහම ලැබෙන අගය [අපනයන (-) ආනයන] [Exports (-) Imports]. ලංකාවෙ තත්වය ගත්තොත් සාමාන්‍යයෙන් මේක ඍණ අගයක්. මොකද ලංකාවෙ අපනයන ආදායමට වඩා ආනයන වියදම් වැඩියි. මේක පහුගිය අවුරුදු විස්සක විතර ඉඳල (සමහරවිට ඊටත් කලින් ඉඳල) තියෙන තත්වයක්. ඕකට අපි සාමාන්‍යයෙන් කියනව ගෙවුම් ශේෂ හිඟයක් (Balance of Payment deficit) කියලා. ඉතිං ලංකාවට එහෙම ලෝක වෙළෙඳපොළේ Plug ගලවන්ඩ, එහෙම කරල ආර්ථික ක්‍රියාවලිය පවත්වගෙන යන්ඩ බෑ ඔය සංදර්භය ඇතුලෙ.

දැන් ඔය කියපු කාරණාව ඔස්සෙ අපි තවදුරටත් කතාකලොත් අපිට මෙහෙම දෙයක් තේරුම්ගන්ඩ පුළුවන්. අපේ රටේ එදිනෙදා ආනයන-අපනයන වලදි අපේ ආනයන අපනයනවලට වඩා වැඩියි. ඒ කියන්නෙ රටෙන් එලියට යන විදේශ විනිමය ප්‍රවාහය (Exchange outflow) ලොකුයි රට ඇතුලට එන විනිමය ප්‍රවාහයට (Exchange inflow) වඩා. එතකොට වෙන්නෙ රට ඇතුලෙ යම් ඕනෑම අවස්ථාවක තියෙන විදේශ විනිමය ප්‍රමාණය අවශ්‍ය ප්‍රමාණයට වඩා අඩුයි සහ ඒ නිසා ඒ තියෙන ප්‍රමාණයට තියෙන ඉල්ලුම වැඩියි.

@elearninglk

විදේශ විනිමයට තියෙන ඉල්ලුම වැඩියි කියන්නෙ විදේශ විනිමය සඳහා ගෙවන්ඩ ඕනෙ මිල වැඩි වෙනවයි කියන එක. උදාහරණයක් හැටියට ඕගොල්ලන්ගෙ හංදියෙ කඩේ තියෙන්නෙ හාල් කිලෝ සීයක් නම්, ඕගොල්ලන්ගෙ ගමේ අයට හාල් කිලෝ පන්සීයක් ඕනෙනම්, වෙන අහල පහල කඩේකුත් නැත්නම්, කඩේ තියෙන හාල් ටික මුදලාලි දෙන්නෙ වැඩියෙන්ම ගෙවන එක්කෙනාට හෝ කීපදෙනාටනෙ. ඉතිං විදේශ විනිමය කතාවත් ඔයිට වඩා පොඩ්ඩක් සංකීර්ණ වුණාට එතනත් ඉල්ලුම-සැපයුම වැඩකරන්නෙ ඔය විදිහට.

අනිත් එක අපි මුලින්ම කතා කරපු ප්‍රාග්ධන සචලතාවය කියන එක. එතනදි වෙන්නෙ මේ වගේ දෙයක්. ලෝකෙම ඉන්න සල්ලිකාරයො බලන්නෙ තමන්ගෙ වත්කම් උපරිම ප්‍රතිලාභයක් ලැබෙන විදිහට ආයෝජනය කරන්ඩ. විවිධ ආයෝජන මාදිලි (Investment models) සහ ඒ ඒ අයගෙ අවදානම් රුචිකත්වය (Risk appetites) වගේ ටිකක් විතර සංකීර්ණ දේවල් අමතක කරල සරලව බැලුවොත් ඒගොල්ලොත් බලන්නෙ තමන්ගෙ ආයෝජනයට උපරිම ප්‍රතිලාභයක් ලබාගන්ඩ.

සරල උදාහරණයක් හැටියට මෙහෙම හිතන්ඩකො. යම් වෙලාවක ඇමරිකාවෙ පොළී අනුපාතය 3%, ලංකාවෙ පොළී අනුපාතය 12%. එතකොට කෙනෙක්ට ඇමරිකාවෙ ආයෝජනය කරල ලබාගන්න ප්‍රතිලාභයට වඩා හතර ගුණයක ප්‍රතිලාභයක් ලබාගන්ඩ පුළුවන්නෙ ලංකාවෙ ආයෝජනය කරල. එතකොට ඒ අය තෝරාගන්නෙ තමන්ට ප්‍රතිලාභය වැඩි ආයෝජනය. ඔය ක්‍රියාවලියට ඉංග්‍රීසියෙන් කියන්නෙ Capital Flight කියලා.

ඉතිං ඔය කියන Capital Flight එක ඔය විදිහට වෙන්ඩ නම් සාමාන්‍යයෙන් ඒ අදාල රටේ විදේශ විනිමය හුවමාරුව සම්බන්ධයෙන් තියෙන ප්‍රතිපත්තිය ලිහිල් වෙන්ඩ ඕනෙ. මොකද තමන්ගෙ ආයෝජනය නැවත ලබාගන්ඩ පුළුවන් කියන විශ්වාසය නැතුව කවුරුවත් ආයෝජනය කරන්නෙ නෑනෙ.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඉතිං ලංකාව සම්බන්ධයෙන් ගත්තොත් ලංකාව අර මුලින්ම කියපු විදිහට දුර්වල ප්‍රාග්ධන සචලතාවයක් තියෙන රටක් නිසා ඔය විදිහට ප්‍රාග්ධනය ලංකාව ඇතුලට ඒමේ අඩුවක් තියෙනව, රට ඇතුලෙ පොළී කොච්චර වැඩි වුණත්. ඉතිං ඔතනදි ඇවිල්ල සිද්ධවෙන්නෙ විදේශ විනිමය සැපයුමේ අඩුවක්. එතනදිත් වෙන්නෙ අර කලින් කිව්ව හාල් උදාහරණෙ වගේම කතාවක් පොඩ්ඩක් වෙනස් විදිහට, සැපයුම අඩු වුණහම මිල ඉහළ යනව.

ලංකාව ප්‍රාග්ධන සචලතාවය අඩු ප්‍රතිපත්තියක ඉන්ඩත් හේතු කාරණා ගොඩක් තියෙනව. ඉතිං එක සැරේටම ප්‍රාග්ධන සචලතාවය වැඩිකරල විදේශ විනිමය ප්‍රශ්නෙ විසඳන්ඩ පුළුවන් කියලා මේ සටහනෙන් ඕගොල්ලන්ගෙ ඔළුවට ගියා නම් ඒක වැරදියි, ඒක එහෙම නෙමෙයි. මොකද ඔය උඩින් කියලා තියෙන කාරණා දෙකම ඒ ඒ කාරණා වෙන වෙනම එකිනෙකින් ස්වායත්තව අරගෙන, වෙනත් භාහිර බලපෑම් නැහැයි කියන උපකල්පනය උඩ ඉඳල කරපු පැහැදිලි කිරීම්.


Click on the Image

නමුත් ඇත්ත තත්වය ඔයිට වඩා සෑහෙන්ඩ සංකීර්ණයි මොකද ඔය කතා කරපු සිද්ධීන් ඔක්කොම වගේ එකිනෙක මත විවිධ ආකාරයේ බලපෑම් ඇතිකරනව ප්‍රායෝගික තත්වයන්වලදි.

ඔය ටික ඇවිල්ල විදේශ විනිමය අනුපාතිකය තීරණය වීම සම්බන්ධයෙන් තියෙන බොහොම සරල කාරණා පෙළගැස්වීමක් විතරයි. විදේශ විනිමය අනුපාතිකය වෙළෙඳපොළ බලවේගවලින් විතරක් තීරණය වෙන්නෙ කොහොමද? එහෙම නැත්නම් රටක මහ බැංකුව විදේශ විනිමය අනුපාතිකය තීරණයට මැදිහත්වෙන්නෙ කොහොමද? ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල එක් එක අවස්ථාවන්වල වෙනස් වෙන්නෙ ඇයි? ඩොලර් සීයේ නෝට්ටුවලට වැඩි රුපියල් ප්‍රමාණයක් සහ අනිත් නෝට්ටුවලට අඩු රුපියල් ප්‍රමාණයක් ගෙවන්නෙ ඇයි? වගේ එව්ව මෙතන කතාකරල නෑ. එව්ව අපි පස්සෙ වෙලාවක කතාකරන්ඩ බලමු.


Click on the Image

වෘත්තියෙන් ණය අවදානම් විශ්ලේෂකවරයෙකු වන තරීන් මුහන්දිරම් මහතා ආර්ථික විද්‍යාව, මූල්‍ය හා බටහිර දර්ශනය පිළිබඳව විශාල උනන්දුවක් දක්වන්නෙකි. ඔහු eLearning.lk බ්ලොග් අඩවිය හරහා ඔබගේ දැනුම උදෙසා ආර්ථික විද්‍යාව, සාහිත්‍යය, බටහිර දර්ශනය, ඉතිහාසය සහ ජාත්‍යන්තර දේශපාලනය පිළිබඳව ලිපි සම්පාදනය කරයි.