හයිදරාබාද් හි නම වෙනස් කිරීමට ඡන්දය ඉල්ලන බීජේපී ය​

July 19, 2022

ඉන්දියාවේ තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණය 2023 දෙසැම්බරයේ හෝ ඊට පෙර හෝ පැවැත්වීමට නියමිතව තිබෙනවා. භාරතීය ජනතා පක්ෂය මෙම මැතිවරණය පිළිබඳ විශාල වැදගත්කමක් ලබාදෙන බව පෙනී ගොස් තිබෙනවා. එහෙයින්ම එම පක්ෂය සිය ජාතික විධායක කමිටු රැස්වීම 2022 ජූලි 2 සහ 3 දෙදින තුළ තෙලන්ගනාවේ හයිදරාබාද් හිදී පවත්වන ලද අතර එම නගරයේ නම වෙනස් කිරීමේ සටන් පාඨය යළි කරළියට ගෙනවිත් තිබෙනවා.

හයිදරාබාද් හි නම භාග්‍යනගර් ලෙස වෙනස් කිරීමේ යෝජනාව මීට පෙර ද බීජේපී නායකයන් කිහිපදෙනකු විසින් ඉදිරිපත් කර තිබුණා. නමුත් එය නැවත මෙම අවස්ථාවේ කරලියට ගෙන ඒම පිළිබඳ අප විමසා බැලිය යුතුයි. සරලව කිවහොත් මෙය බීජේපී ව්‍යාප්‍තිය සඳහා වන තවත් එක් වැදගත් අවස්ථාවක් බව පෙනෙන්නට තිබෙනවා.

@elearninglk

හයිදරාබාද් ද භාග්‍යනගර් ද​?
හයිදරාබාද් නගරයෙහි නම පිළිබඳ මතභේදය එක්තරා පුරාවෘත්තයක් මත රැඳී තිබෙනවා. ගොල්කොන්ඩා සුල්තාන් රාජ්‍යයේ පස්වැනි පාලකයා වූ සුල්තාන් කූලි කුටුබ් ෂා, හින්දු කාන්තාවක වූ භග්මතී සමග ප්‍රේම සම්බන්ධයක් අරඹා තිබෙනවා.

සුල්තාන් බවට පත්වීමෙන් පසු ඔහු ඇයව විවාහ කරගෙන ඇති අතර භාග්නගර් නමින් නගරයක් ඉදිකර තිබෙනවා.

භාග්‍යනගර් යන්න භාග්නගර් යන්නෙන් බිඳී එන්නක් බවයි සැලකෙන්නේ. භග්මතී ඉස්ලාම් දහම වැළඳගෙන ඇගේ නම හයිදර් මහාල් ලෙස වෙනස් කරගෙන ඇති අතර ඒ අනුව ඇගේ නමින් වූ නගරය හයිදරාබාද් ලෙස නම් වී තිබෙනවා.

කෙසේ නමුත් මෙම පුරාවෘත්තයෙහි සත්‍යතාව පිළිබඳ ඉතිහාසඥයන් අතර එකඟතාවයක් නැහැ. හයිදරාබාද් නගරය ඉස්ලාමයේ සිව්වන කාලිෆ්වරයා වූ අලී වෙනුවෙන් නම් කරන්නට ඇති බවයි සැලකෙන්නේ. හයිදර් යනු ද අලී වෙනුවෙන් භාවිතා වූ නමක්.


භාග්‍යලක්ෂ්මී කෝවිල. පිටිපසින් පෙනෙන්නේ චාර්මිනාර් ස්මාරකයයි

බ්‍රිතාන්‍ය පාලනය අවසන් දශක එකහමාරක පමණ කාලය තුළ භාග්‍යනගර් පිළිබඳ යළි කතාබහක් ඇති වූ බව සඳහන්. පාකිස්ථානය නම් රාජ්‍යයක් නිර්මාණය කිරීම සඳහා වූ ව්‍යාපාරය පසුබිමෙහි හයිදරාබාදය ද ඊට සම්බන්ධ කිරීමේ යෝජනාවක් එහි පාලක පැළැන්තිය අතර ව්‍යාප්ත වුණා.

එවිට එම යෝජනාවට එරෙහිව මෙම ප්‍රදේශයේ හින්දු බහුතර ජනයාගේ අයිතිය ආරක්ෂා කරන අදහස ඇතිව ලක්ෂ්මී දෙවඟනගේ ස්වරූපයක් ලෙස භාග්‍ය ලක්ෂ්මී වෙනුවෙන් නම් වූ භාග්‍යනගර් පිළිබඳ කතාබහක් නිර්මාණය කෙරුණා. 1960 දශකයේදී පමණ හයිදරාබාද් හි ඓතිහාසික චාර්මිනාර් ස්මාරකය අසළ භාග්‍ය ලක්ෂ්මී කෝවිලක් ද ඉදිකර තිබෙනවා. නමුත් ඉන්දියාවේ පුරාවිද්‍යා ආයතනය සඳහන් කරන්නේ එය අනවසර ඉදිකිරීමක් බවයි.



වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

බීජේපීයේ භාග්‍යනගර් කැක්කුම
බීජේපීයේ භාග්‍යනගර් පිළිබඳ කැක්කුම උත්සන්න වී ඇත්තේ තෙලන්ගනා ප්‍රාන්තයේ සිය පක්ෂ කටයුතු ව්‍යාප්ත කිරීමත් සමගයි. 2014 දී තෙලන්ගනා ප්‍රාන්තය බිහිවූ අවස්ථාවේ සිට මේ දක්වා එහි දේශපාලනය තුළ ප්‍රමුඛ බලවේගය වන්නේ කේ. චන්ද්‍රසේකර් රාඕ (KCR) විසින් මෙහෙයවන තෙලන්ගනා රාශ්ඨ්‍ර සමිති (TRS) පක්ෂයයි. 2018 ප්‍රාන්ත සභා මැතිවරණයේදී ද එම පක්ෂය එහි දී පහසු ජයක් වාර්තා කළා. එහිදී එම පක්ෂය ප්‍රාන්ත සභා ආසන 119 න් 88 ක්ම දිනාගත්තා. බීජේපී ය දිනාගත්තේ එක් අසුනක් පමණයි.


කේ. චන්ද්‍රසේකර් රාඕ හෙවත් KCR

දකුණුදිග ඉන්දියාව දෙසට කෙරෙන බීජේපී ව්‍යාප්තියෙහි වැදගත් ස්ථානයක් ලෙස තෙලන්ගනාව සැලකීමට පුළුවන්. එක් අතකින් එහි සැලකියයුතු මුස්ලිම් ජනගහනයක් වන හෙයින් හින්දු මුස්ලිම් භේදය ඇවිස්සීමට ද හැකියාවක් තිබෙනවා. එමෙන්ම චන්ද්‍රසේකර් රාඕ ප්‍රකටම බීජේපී විරෝධී දේශපාලකයකු හෙයින් 2024 මහමැතිවරණයට පෙර ඔහුව ඔහුගේ බලකොටුවේදීම පරාජය කිරීමේ හැකියාවක් ලදහොත් එය බීජේපීයට ඉතා වාසිදායක වනු ඇති.

බීජේපීය 2020 දෙසැම්බර් 1 වනදා පවත්වන ලද හයිදරාබාද් මහ නගර සභා මැතිවරණයේදී භාග්‍යනගර් සටන් පාඨය කරලියට රැගෙන ආවා. මහ නගර සභා ඡන්දයකදී දකින්නට නොලැබෙන ආකාරයේ දැවැන්ත ඡන්ද ව්‍යාපාරයක් එහිදී එම පක්ෂය විසින් මෙහෙයවනු ලැබුණා.


Click on the Image

උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි අදිත්‍යනාත් එම මැතිවරණ සටනේ පෙරමුණෙන්ම සිටියා පමණක් නොව අගමැති මෝදි හැරුණු විට අභ්‍යන්තර කටයුතු ඇමති අමිත් ෂා ඇතුළු බීජේපීයේ ප්‍රධාන පෙළේ තරු සියල්ලක්ම පාහේ හයිදරාබාද් වෙත මැතිවරණ ප්‍රචාරක කටයුතු උදෙසා පැමිණියා.

ඒ සා විශාල මැතිවරණ ව්‍යාපාරයකින් පසු ඔවුන් තෙලන්ගනා රාෂ්ඨ්‍ර සමිති පක්ෂයේ ඡන්ද ප්‍රමාණය ආසන්නයටම පැමිණීමට සමත් වූ අතර හයිදරාබාද් හි ඡන්දවලින් සියයට 35ක් දිනාගත්තා. එය ඊට පෙර මහ නගර සභා ඡන්දයේදී ලද සියයට 10 ක ප්‍රතිශතය සමග සසඳද්දී අති විශාල ජයග්‍රහණයක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.


Click on the Image

විධායක සභා රැස්වීම
භාරතීය ජනතා පක්ෂ විධායක සභා රැස්වීම 2022 ජූලි 2-3 දෙදින තුළ හයිදරාබාද් හිදී පවත්වනු ලැබුණා. අගමැති නරේන්ද්‍ර මෝදි ඇතුළුව පක්ෂ ප්‍රබලයින් ඊට සහභාගී වුණා.

මෙම රැස්වීමට පෙර බීජේපීයෙහි විශාල රථ පෙළපාලියක් ද හයිදරාබාද් හි පවත්වන ලද අතර උත්තර් ප්‍රදේශ් මහ ඇමති යෝගි ආදිත්‍යනාත් නැවතත් භාග්‍ය ලක්ෂ්මී දේවස්ථානය වෙත ගොස් ආගමික වතාවත් සිදුකර හයිදරාබාද් නගරයේ නම භාග්‍යනගර් ලෙස වෙනස් කළයුතු බවට ප්‍රකාශ කර සිටියා.


මෝදි, අමිත් ෂා සහ J.P. නඩ්ඩා

බීජේපී ප්‍රබලයකු වන රවී ශංකර් ප්‍රසාද් කියා සිටියේ සර්දාර් වල්ලභායි පටෙල් එක් භාරතයක්, ශ්‍රේෂ්ඨ භාරතයක් යන ප්‍රකාශය කළේ භාග්‍යනගර් හිදී බව මෝදි කියා සිටි බවයි.

එමෙන්ම බීජේපී ප්‍රබලයකු වන ජේ. පී. නඩ්ඩා සඳහන් කරන්නේ මෙසේ නගරයේ නම වෙනස් කිරීම සම්බන්ධව බීජේපී මැතිවරණ ජයග්‍රහණයකින් අනතුරුව ප්‍රාන්ත ආණ්ඩුව විසින් තීරණයක් ගනු ඇති බවයි. ඒ අනුව සියළු කරුණු පෙළගැසෙන්නේ මීළඟ තෙලන්ගනා ප්‍රාන්ත මැතිවරණයේ බීජේපී ප්‍රධාන සටන් පාඨය බවට භාග්‍යනගර් පත්වීම වෙතයි.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.