ඉම්රාන් අත්අඩංගුවට ගැනීමේ ජවනිකාව​

May 24, 2023

පාකිස්ථානය ඉතාම ව්‍යාකූල මාවතක ගමන් කරමින් තිබෙන බව පැහැදිලි කරුණක්. එක් අතකින් එරට ඉතිහාසයේ දරුණුම ආර්ථික අවපාතයට මුහුණ දී සිටිනවා. එමෙන්ම මාස කිහිපයකට පෙර​ සිදුවූ දරුණු ජල ගැලීම් හේතුවෙන් අවතැන් වූ මිලියන ගණනක් තවමත් අසරණව දිවි ගෙවනවා.

ඒ සමග ඇතිවූ රෝග සහ මන්ද පෝෂණය දරුවන් ඇතුළු විශාල පිරිසකට බලපා අවසන්. දේශපාලන වශයෙන් රට ගමන් ගන්නේ ද ව්‍යාකූල මාවතකයි. ඒ අතරවාරයේ, මැයි 9 වනදා හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගත් පසු යුධ හමුදාවට එරෙහිව මතුවූ දැවැන්ත උද්ඝෝෂණ මගින් පෙන්වා දුන්නේ කිසියම් ආකාරයක පාලන ව්‍යුහයක් පවත්වාගත් එම ආයතනය ද ජනතාවගේ විරෝධයට​ භාජනය වෙමින් පවතින බවයි. මේ අතර පාකිස්ථාන දේශපාලකයන් රටේ ප්‍රශ්න පිළිබඳ නොතකා සිය බල අරගලවල නිරත වනු දක්නට ලැබෙනවා.

@elearninglk

පාකිස්ථාන රේන්ජර්වරුන් විසින් හිටපු අගමැති ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගන්නා ලද්දේ ඉස්ලාමාබාද් මහාධිකරණ භූමියේදී යි. ඔහුට එරෙහිව ගොනු වී ඇති එක් දූෂණ නඩුවකට මුහුණදීම සඳහා අධිකරණය වෙත පැමිණි ඔහුගේ ජෛවමිතික දත්ත සටහන් කරගනු ලබන අවස්ථාවේ රේන්ජර්වරුන් එම ස්ථානය වෙත කඩා වැදුණා. ඉම්රාන්ගේ පාකිස්ථාන් තෙහෙරීක් ඊ ඉන්සාෆ් (PTI) පක්ෂය ප්‍රකාශ කළේ ඉම්රාන්ගේ නීතීඥයන්ට ද පහර දී ඔහුව බලෙන් පැහැරගෙන ගිය බවයි.

ඉම්රාන් අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ඔහුගේ ආධාරකරුවන් විසින් අරඹන ලද විරෝධතා හේතුවෙන් පාකිස්ථානයම කැළඹී ගියා. නගර ගණනාවක විරෝධතා ඇතිවූ අතර යුධ හමුදාවට ද පහරදීම් සිදුවුණා. රාවල්පිණ්ඩි හි හමුදා මූලස්ථානය සහ ලාහෝරයේ බලසේනා ප්‍රධානියාගේ නිවස ආදී ස්ථාන වෙත ද පහරදීම් සිදු කෙරුණා.


ඉම්රාන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ නැගුණු විරෝධතා

මේ අතර ඉස්ලාමාබාද් මහාධිකරණය මැයි 9 වනදා රාත්‍රියේ නිවේදනය කළේ ඉම්රාන් ඛාන් අත්අඩංගුවට ගැනීම නීත්‍යනුකූල බවයි. ඔහුව ජාතික වගවීම් කාර්යංශයේ (National Accountability Bureau) නියෝග මත අත්අඩංගුවට ගන්නා ලද බව දැනගන්නට ලැබුණා. ජාතික වගවීම් කාර්යාලය දූෂණ චෝදනා පිළිබඳ කටයුතු කරන, ව්‍යවස්ථාපිතව පිහිටුවන ලද බලගතු ආයතනයක් වන අතර එහි වර්තමාන ප්‍රධානියා වන්නේ හිටපු හමුදා නිලධාරියෙක්.

කෙසේ වෙතත් දින දෙකකට පසු පාකිස්ථාන ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉම්රාන් අත් අඩංගුවට ගැනීම නීති විරෝධී බවට ප්‍රකාශයට පත් කරනු ලැබුණා. ඒ අනුව ඔහු නැවත ඉස්ලාමාබාද් මහාධිකරණය හමුවේ පෙනී සිටි අතර එහිදී ඔහුට ඇප ලබාදෙනු ලැබුණා. මේ අතරවාරයේ පාකිස්ථාන් තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂය පවසා සිටින්නේ ඔවුන්ගේ ක්‍රියාධරයන් ගණනාවක් අත්අඩංගුවට ගෙන ඇති බවයි. මේ වනවිට මැයි 9 වනදා සිට ඇතිවූ කලබල හා සම්බන්ධව 4,000 ක් පමණ දෙනා අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔවුන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ද පාකිස්ථාන බලධාරීන් සූදානම් වනවා. පාකිස්ථාන අධිකරණ පද්ධතිය ඉම්රාන් ඛාන්ට හිතවාදී යයි චෝදනා කරන බලධාරීන් මේ වනවිට විශේෂ අධිකරණ ක්‍රියාවලියක් සඳහා ද සූදානම් වනවා.


වැඩි විස්තර සඳහා ඡායාරූපය මත Click කරන්න

ඉම්රාන් අභියෝගය
ඉම්රාන් ඛාන් විසින් පාකිස්ථාන යුධ හමුදාව වෙත එල්ල කරන අභියෝගය ඉතා ප්‍රබල බව පැහැදිලිව පෙනී යනවා. 2018 දී ඉම්රාන් ඛාන් බලයට පත්වූයේ ද යුධ හමුදාවේ අනුග්‍රහය සහිතවයි.

එහෙත් වසර හතරක් තුළ ඔවුන් අතර සබඳතාවයන් පළුදු වුණා. 2022 අප්‍රේල් මාසයේදී තමන්ව විශ්වාසභංග යෝජනාවක් මගින් පරාජයට පත් කරනු ලැබූ පසු ඔහු දිගින් දිගටම යුධ හමුදාව විවේචනය කරන්නට වුණා. එමෙන්ම ඉම්රාන්ගේ පුද්ගලික ආකර්ශණය සහ ඔහුගේ ඉස්ලාමීය​, ජනකාන්තවාදී දේශපාලන සටන් පාඨ හේතුවෙන් විශාල පිරිසක් ඔහු වටා එක්වනු දක්නට ලැබුණා. එක් පසෙකින් ඔහු දැවැන්ත වීදි බලයක් ගොඩනගාගත්තා. අනෙක් අතින් රටේ වෘත්තීයවේදීන් මෙන්ම යුධ හමුදාවේ ඇතැම් කොටස් අතර ද ඔහුගේ අදහස් සඳහා පිළිගැනීමක් ඇතිවී තිබෙනවා.


Click on the Image

ඉම්රාන් පාකිස්ථාන හමුදාවට එරෙහිව ජනතාව උසිගන්වන්නේ මෙසේ ගොඩනගාගත් සහයෝගය ඇතිවයි. පාකිස්ථාන බුද්ධි සේවයේ නියෝජ්‍ය ප්‍රධානියා ආදී නිලධාරීන් වෙත ඔහු පුද්ගලිකව චෝදනා කළේ ද එම සහයෝගය පිළිබඳ දැනුවත්භාවය හේතුවෙන්. බලධාරීන් ඉම්රාන්ට එරෙහිව දූෂණ චෝදනා, රාජ්‍ය ද්‍රෝහී චෝදනා ආදිය මත පදනම්ව නඩු සියයකට වඩා ගොනුකර තිබුණත් ඔහුගේ අනුගාමිකයන් ඔහු වෙනුවෙන් දිගින් දිගටම පෙනී සිටිනවා.

පාකිස්ථානයේ පවතින අර්බුදවලට මෙතෙක් වැඩියෙන්ම දෝෂාරෝපණයන් එල්ල වූයේ දේශපාලකයන් වෙතයි. නමුත් ඔවුන්ට මුවාවී එරට ආර්ථිකයේ සහ දේශපාලනයේ සැලකියයුතු පංගුවක් පාලනය කරන්නේ යුධ හමුදාවයි. ඉම්රාන් ඛාන් විසින් දිගහරිනු ලබන චෝදනා හේතුවෙන් මේ වනවිට යුධ හමුදාව වෙත ද එම දෝෂාරෝපණ එල්ල වීමට පටන් ගෙන තිබෙනවා. එමෙන්ම අතීත සිදුවීම් පිළිබඳව පාකිස්ථානයේ පිළිගත් කරුණු ද ඉම්රාන් විසින් අභියෝගයට ලක්කරනු ලබනවා. උදාහරණයක් ලෙස​, මෙතෙක් පාකිස්ථානයේ ප්‍රබල මතයක් වූයේ 1971 යුද්ධයේ පරාජය දේශපාලකයන්ගේ අසාර්ථකත්වය මත සිදුවූවක් බවයි. නමුත් ඉම්රාන් මෑත දිනෙක එම පරාජය පිළිබඳ යුධ හමුදාවේ වගකීම ගැන ඍජුවම චෝදනා කළා.


Click on the Image

පාකිස්ථාන බල අරගල
ඉම්රාන්ගේ අනුගාමිකයන් විසින් ඇතිකළ කලබල දරුණු අතට හැරුණහොත් පාකිස්ථාන හමුදාව බලය අතට ගනු ඇතැයි ද මතයක් ඇතැම් විචාරකයන් විසින් ඉදිරිපත් කෙරුණා.

කෙසේ වෙතත් ඉම්රාන් නිදහස් කිරීමෙන් අනතුරුව මුලින් වූ කලබල යම් ප්‍රමාණයකට අඩු වූ අතර හමුදාව බලය අල්ලාගත්තේ නැහැ. පාකිස්ථානයේ පවතින අර්බුදවලට තමන්ට විසඳුමක් නොමැති බව දන්නා නිසාත්, අන්තර්ජාතික සම්බාධක පැනවීමේ ඉඩ ප්‍රස්ථා නිසාත් යුධ හමුදාව එවන් පියවරක් ගන්නේ නැති බවයි පෙනී යන්නේ.


පාකිස්ථානයේ පාසැල් අධ්‍යාපනය ඇත්තේ එතරම් සුබදායී තැනක නොවේ

කෙසේ වෙතත් මීළඟ පාකිස්ථාන මහමැතිවරණය ඔක්තෝබරයේදී පමණ පැවැත්වීමට නියමිතව තිබෙනවා. එම මැතිවරණයෙන් ඉම්රාන් ඛාන්ගේ පාකිස්ථාන් තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂය ජයගැනීමේ විශාල අවකාශයක් නිර්මාණය වී තිබෙනවා. නමුත් එවන් අවස්ථාවකට ඉඩදීමට යුධ හමුදාව සූදානම් වන්නේ නැහැ. එහෙයින් කිසියම් අයුරකින් රටේ බලය ඔවුන් විසින් අල්ලාගනීද යන සැකය දිගටම පවතිනවා.

මේ අතර පාකිස්ථානයේ අගමැති ධුරයට තමන් සුදුසු බව පෙන්නුම් කිරීම සඳහා විදේශ ඇමති බිලාවල් භූතෝ සර්දාරි විශාල උත්සාහයක යෙදෙනවා. මෑත කාලයේ ඔහු විවිධ අවස්ථාවලදී දැඩි ඉන්දියානු විරෝධයක් පෙන්නුම් කරන ප්‍රකාශ සිදුකළේ ද එම අරමුණින් බව පැහැදිලියි.

පාකිස්ථාන යුධ හමුදාව ද මේ අවස්ථාවේ සිටින්නේ අග්‍රාමාත්‍යවරයා ලෙස කිනම් රූකඩයක් පත් කරන්නේද යයි අවිනිශ්චිතභාවයකින්.

අගමැති ශබාෂ් ෂරීෆ් සාපේක්ෂව හොඳින් සිය කටයුතු කරගෙන යන බවක් පෙනුණත්, ෂරීෆ් පවුලේ අපේක්ෂා පිළිබඳ හමුදාවේ ඇතැමුන් තුළ ඇත්තේ අවිනිශ්චිතභාවයක්. මේ අතර බිලාවල් පෙන්නුම් කිරීමට උත්සාහ කරන්නේ ෂරීෆ්ට වඩා තමුන් සුදුසු අගමැතිවරයකු බවයි.


ශබාෂ් ෂරීෆ්

මේ බල අරගල අතර පාකිස්ථානයේ අර්බුද දිනෙන් දින උත්සන්න වනවා. කයිබර් පක්තුන්ක්වා සහ බලොචිස්ථාන් හි ත්‍රස්ත තර්ජන​, ජලගැලීමෙන් අසරණභාවයට පත්වූ දස ලක්ෂ ගණන් මිනිසුන්, විනාශ වූ කෘෂි බිම්, අධ්‍යාපනයෙහි පවතින ඉතා නොදියුණු තත්ත්වය සහ එනිසාම ප්‍රමාණාත්මකව විශාල නමුත් ගුණාත්මකව නොදියුණු පිරිසක් සෑම වසරකදීම ශ්‍රම බලකායට එකතු වීම, ආර්ථික අර්බුදය යනාදී අභියෝග රැසකට පාකිස්ථානය මුහුණදෙනවා.

මෙම අර්බුදය විසඳීමේ අවශ්‍යතාවයක් හෝ හැකියාවක් හෝ වර්තමාන දේශපාලන හෝ හමුදා නායකත්වය පෙන්නුම් කරන්නේ නැහැ.

අප රටේ ප්‍රවීණ විදෙස් දේශපාලන විශ්ලේෂකවරයෙක් සහ විචාරකයෙක් වන චාමර ප්‍රසන්න සුමනපාල මහතා, ඔහුගේ මූලික උපාධිය භෞතික විද්‍යා විෂයන්ගෙන් කොළඹ විශ්ව විද්‍යාලයෙන් ලබා ගත්තේය. එනමුත් ඉතිහාසය සහ ලෝක දේශපාලනය අධ්‍යයනය සඳහා තිබෙන ප්‍රියතාවය හේතුවෙන් ඔහු ඒ පිළිබඳ ලේඛනයේ සහ විශ්ලේෂණයෙහි යෙදීම තෝරා ගත්තේය. ඔහුගේ ප්‍රියතම විෂය වන්නේ නූතන යුරෝපා ඉතිහාසයයි.