ඉම්රාන්ට ත්‍රස්ත චෝදනා
පාකිස්ථානයේ දේශපාලන අර්බුදය තවත් උග්‍ර අතට හරවමින් හිටපු අගමැති ඉම්රාන් ඛාන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී පනත යටතේ චෝදනා ගොනු කිරීමට එරට පොලිසිය පියවර ගනු ලැබුණා. ඔහු අත්අඩංගුවට ගැනීමට සූදානම් වන්නේය යන පුවත සැලවීමත් සමග ඔහුගේ ආධාරකරුවන් අගෝස්තු 21 වනදා රාත්‍රියේ ඉස්ලාමාබාද් හි ඔහුගේ නිවස වටා ඒකරාශී වුණා. ඊළඟ දිනයේදී ඔහුගේ නීතීඥයන් විසින් ඉදිරිපත් කෙරුණ අපේක්ෂිත ඇප අයදුම්පතක් අනුව ඔහුට දින කිහිපයකට බලපාන පරිදි ඇප හිමිවුණා.
ඉම්රාන් ඛාන් බලයෙන් පහ කිරීමෙන් අනතුරුව ගතවූ මාස කිහිපය පාකිස්ථානයේ දේශපාලන අර්බුදය තවත් බරපතල කිරීමට සමත්ව තිබෙනවා. එක් පසෙකින් එරට ආර්ථිකය ද ඉතා අවදානම් තත්ත්වයක පවතින අතර ඉම්රාන් ඛාන් මැතිවරණයක් ඉල්ලා සිටිමින් ආණ්ඩුව තදබල ලෙස විවේචනයට භාජනය කරමින් සිටිනවා.
@elearninglk
ඉම්රාන්ට එරෙහි ත්‍රස්ත චෝදනා යටතේ කටයුතු කිරීම සඳහා හේතු වූයේ දින කිහිපයකට පෙර පැවැති රැළියකදී ඔහු විසින් සිදුකෙරුණ කතාවකදී කරන ලද ප්‍රකාශයක් බවයි වාර්තා වන්නේ.
ඔහුගේ ආධාරකරුවකු අත්අඩංගුවට ගෙන ඔහුට වධහිංසා පැමිණවීම පිළිබඳ පොලිසියට චෝදනා කළ ඉම්රාන් ඛාන් ඊට සම්බන්ධ වූවන්ට එරෙහිව කටයුතු කරන බව ප්‍රකාශ කර තිබුණා. පොලිසියට සහ විනිසුරුවරයකුට තර්ජනය කළ බවට චෝදනා කරමින් බලධාරීන් ඔහුට එරෙහි ත්‍රස්ත චෝදනා ගොනුකර තිබෙනවා.
ඉම්රාන් ඛාන් ව අත්අඩංගුවට ගැනීම සඳහා පාලක පාකිස්ථාන මුස්ලිම් ලීගය (නවාස්) සහ පාකිස්ථාන මහජන පක්ෂය ප්‍රමුඛ සන්ධානය විසින් සූදානම් වන්නේ ය යන රාවය පැතිර ගියේ අද ඊයේ නොවේ.
අප්‍රේල් මාසයේ ඔහුව බලයෙන් නෙරපා දමා වැඩි කලක් යන්නට මත්තෙන් එවන් වාර්තා පළවෙමින් තිබුණා. මේ අතර එක් පසෙකින් ඉම්රාන් ඛාන් ආණ්ඩුවට මහත් හිසරදයක් වීමට ද ක්‍රියා කළ අතර අනෙක් පසින් ආණ්ඩුව ද ඔහුව පාලනය කිරීමට විවිධ පියවරයන් ගන්නා බව පෙනෙන්නට වුණා.
පාකිස්ථානයේ අද පවතින අර්බුදකාරී ආර්ථික තත්ත්වයට ඉම්රාන් ද ඍජුව වගකිව යුතු යි. ඔහුගේ පාලන සමය තුළ පාකිස්ථානයේ ණය බර අන් කිසිදාකට වඩා වේගයෙන් ඉහළ ගිය බව වත්මන් ආණ්ඩුව විසින් ඉදිරිපත් කරන චෝදනාවක් වන අතර එහි සත්‍යයක් පවතින බවත් කිව යුතු යි.
කෙසේ වෙතත් දැන් එරට බර කර ගහන්නට සිදුව ඇත්තේ ශබාස් ෂරීෆ් ප්‍රමුඛ ආණ්ඩුවටයි. මේ අතර ඉම්රාන් ඛාන් වඩාත් ක්‍රියාකාරී සහ සාර්ථක වන්නේ විපක්ෂයේ නායකයකු ලෙස බව නැවත පෙන්වා දෙමින් සිටිනවා. ඔහු විසින් සිදුකරන ආවේගශීලී කතාවලදී විශේෂයෙන්ම වත්මන් පාලනය නිර්දය ලෙස විවේචනය කරන අතර යුධ හමුදාව ද විවේචනයට ලක් වනවා.
ඉම්රාන් සිය දේශපාලනය ශක්තිමත් කිරීම සඳහා ප්‍රබල කරුණු දෙකක් යොදාගන්නවා. එකක් නම් ආගම යි. මධ්‍යස්ථ මතධාරියකු ලෙස දේශපාලනය ආරම් භ කළ ද ඔහු බලයට පත්වූයේ ද ආගමික අන්තවාදය දෙස ගමන් කරමිනුයි. ඔහුගේ පාලන සමය තුළ ද ඔහු නිරන්තරයෙන්ම ඉස්ලාමීය කණ්ඩායම් සතුටු කරන ප්‍රතිපත්තිවල නිරත වුණා.
ගුරුවරයකුගේ ඝාතනය අරභයා මතුවූ ආන්දෝලනාත්මක තත්ත්වය හමුවේ ප්‍රංශය සමග ආරවුලක පැටලීම එයට පැහැදිලි උදාහරණයක් වුණා. රට තුළ ද අන්තවාදී සංවිධානවලට හිතුමනාපෙට කටයුතු කළ හැකි පසුබිමක් ඔහු විසින් නිර්මාණය කළා. ශ්‍රී ලාංකික කලමණාකරුවකු ඝාතනය කිරීම පිටිපස සිටි බව කියන තෙහෙරීක් ඊ ලබ්බේක් පාකිස්ථාන් වැනි සංවිධානවලට ඔහු නිදහසේ කටයුතු කිරීමට ඉඩ දුන්නා.
මෙසේ ඉස්ලාමයේ ආරක්ෂකයකු මෙන් පෙනී සිටින ගමන් ම ඔහු අලුත් ආණ්ඩුව ඇමරිකානු හිතවාදී ආණ්ඩුවක් ලෙස පෙන්වාදෙමින් ජනතාව අතර වන අප්‍රසාදය එදෙසට යොමු කිරීමේ උත්සාහයක නිරත වනවා. මේ අනුව අනාගත මැතිවරණයකදී තම ඡන්ද පදනම ගොඩනගාගැනීම ඔහු විසින් මේ වනවිට ද සිදු කරමින් සිටිනවා.
පවතින තත්ත්වය යටතේ නව මැතිවරණයක් කඩිනමින් පැවැත්වීම ආණ්ඩුවට වාසිදායක වන්නේ නැහැ. ඉම්රාන් දිගින් දිගටම මැතිවරණයක් ඉල්ලා සිටින්නේ ද ඒ බව දන්නා නිසයි. එමෙන්ම පවතින ආණ්ඩුව කුමන්ත්‍රණයකින් බලයට පත්වූ බව පවසමින් ඊට ජන මතයක් නොමැති බව ද ඔහු තර්ක කරනවා.
මේ බව යම් තරමකට හෝ සනාථ කෙරෙන සිදුවීමක් සති කිහිපයකට පෙර පන්ජාබ් ප්‍රාන්තයේ දී සිදිවුණා. ඉම්රාන්ගේ පක්ෂයෙන් ඉවත්ව ගිය පන්ජාබ් ප්‍රාන්ත මන්ත්‍රීන් 20 දෙනකුගේ ආසන සඳහා අතුරු මැතිවරණ පවත්වන ලද අතර ඉන් 15 කදී ඔහුගේ අපේක්ෂකයන් ජය ගත්තා. ඒ සමගම එම ප්‍රාන්ත සභාවේ බලය නැවතත් ඉම්රාන්ගේ පාකිස්ථාන් තෙහෙරීක් ඊ ඉන්සාෆ් පක්ෂය වෙත ලැබුණා.
ඉම්රාන් වෙතින් එල්ල වන අභියෝගයේ බරපතලකම දන්නා නිසාත්, එය විසඳාගැනීම සඳහා මැතිවරණයකට යොමුවීම අවදානම් වැඩි නිසාත් ආණ්ඩුව වෙනත් ආකාරවලින් ඔහුව පාලනය කරන්නට උත්සාහ කරනවා.
ඔහුගේ ආධාරකරුවන් අත්අඩංගුවට ගැනීම, ඔහුගේ කතා යූ ටියුබ් ඔස්සේ සජීවී ලෙස විකාශය තහනම් කිරීම, ඔහු විසින් අතුරු මැතිවරණයකට ඉදිරිපත් කළ නාමයෝජනා ප්‍රතික් ෂේප කිරීම ආදිය ඊට උදාහරණ වනවා. නමුත් රටේ පවතින ගැටළු විසඳීමකින් තොරව මේ එක ක්‍රමයකින්වත් ඉම්රාන් පාලනය කිරීම පහසු වේ යයි සිතිය නොහැකියි.
ශබාෂ් ෂරීෆ් ආණ්ඩුව එක් අතකින් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා මාර්ගයක් සොයන අතර අනෙක් අතින් දේශපාලන අස්ථාවරත්වය සමනය කිරීම සඳහා ද ක්‍රමයක් සොයමින් සිටිනවා. මේ වනවිට ද ඔවුනට ගැලවීමට ඇති එකම මග ලෙස පෙනෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලයි. පාකිස්ථානයේ සම්ප්‍රදායික මිතුරන් වන සෞදි අරාබිය, චීනය ආදී රටවල් මේ අවස්ථාවේ මෙම අර්බුදයට අතගැසීමෙන් හැකිතාක් වැළකී සිටින බවයි පෙනෙන්නේ. මේ අනුව පාකිස්ථානය තවදුරටත් අර්බුදය වෙත ගමන් කිරීමේ අවදානම ඉතා ඉහළ වන බවක් පෙනී යනවා.